පළකල දිනය : Mon, Apr 25th, 2016

හෙළි නොකළ ප්‍රේමය පිළිබදව නිරෝෂා කියන කතාව

Nirosha Virajini Speaks About Her Love Storyනිරෝෂාගේ හිතේ හෙළි නොකළ ප්‍රේමයක් හටගත් අවස්ථාවක් නැද්ද?

මගෙ ජීවිතයේත් ඒ විදියේ අත්දැකීමක් තියෙනවා.

ගොඩක් වේලාවට අපේ හිත්වල කුළුඳු‍ලේම පෙම් හැඟුම් ඇතිවන්නේ යෞවනයට එළඹෙන අවධියේදී. ඒවා බොහෝමයක්ම හෙළි නොකළ ප්‍රේමයන් මම මේ කියන ප්‍රේමය නම් මගෙ හිතේ හට ගත්තේ වයස 23දී විතර. ඒ මම ගායනයට යොමු වූ මුල් කාලය.

එයා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

ඔවු.

එයත් ගායකයෙක්ද?

එයා ගායකයෙක් හෝ සංගීතඥයෙක් හෝ ගී පද රචකයෙක් නමෛයි.

හැබැයි සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධයි. සෘජුව නමෛයි වක්‍රව.

කොහොමද ඔහුව හමුවුණේ?

හා හා පුරා හමු වූ දවස නම් මතක නැහැ. ඒත් සංගීත කටයුතු කරන අතරෙදි තමයි
අපි මුණගැසුනේ. ඊට පස්සේ ඒ තුළින් නිතර හමුවුණා.

ඊට පස්සේ?

ඊට පස්සේ මිත්‍රත්වයක් ඇති වුණා. අපේ ගෙදර යන එන මගේ දුක සැප හොයා බලන හොඳ මිත්‍රයෙක් බවට පත්වුණා.

ඊට පස්සේ ඒ මිත්‍රත්වය ප්‍රේමයකට හැරුණා.

අදටත් මම ක්‍ෂේත්‍රයේ හැමෝම එක්ක වැඩ කරනවා. ඒත් මගෙ සමීපතම මිතුරු මිතුරියන් ඉන්නේ අතේ ඇඟිලිවලටත් අඩුවෙන්. මම සාමාන්‍යයෙන් කෙනෙක්ව මගෙ සමීප මිත්‍රයෙක් කරගන්නේ නැහැ. එහෙම වෙන්නේ සුවිශේෂී නම් විතරයි. මෙයත් ඒ විදියට මට සුවිශේෂ සමීප මිතුර මිතුරියන් අතර කෙනෙක්. ඒ විදියට ඉද්දි තමයි මගෙ හිතේ එයා ගැන පෙම් හැඟීමක් ඇති වුණේ.

ඔහු ගැන ප්‍රේමයක් ඇතිවන්නට හේතුව ඔහුගේ බාහිර පෙනුමද අභ්‍යන්තරයද?

ජීවිතේ කවමදාවත් මම බාහිර පෙනුමට ආදරේ කරල නැහැ. ඒ වගේම දුටු පමණින් ඇතිවන ආදර හැඟුම් මගේ ජීවිතයේ නැහැ. මම කෙනෙකුට ආදරේ කරන්නේ එයාගේ අභ්‍යන්තරයට.

මෙයාගෙ අභ්‍යන්තරය තුළ නිරෝෂා දුටු විශේෂතා මොනවාද?

හරි බුද්ධිමත්. හරිම පුළුල් විදියට ජීවිතේ දකින කෙනෙක්. ‍පොත පත කියවන්න උසස් කලා නිර්මාණ රස විඳින්න කැමතියි. ඒ වගේම මගෙ අඩුපාඩුවක් වුණත් මගෙ හිත නොරිදෙන විදියට පෙන්නලා දීමේ පුදුමාකාර හැකියාවක් තිබුණා. එයා නිසා මගෙ ජීවිතයටත් යම් යම් දේ එකතු වුණා.

මොනවාද ඒ?

පුංචි කාලෙ ඉඳන් මම ‍පොත පත කියවන්න වැඩි උනන්දුවක් තිබුණ කෙනෙක් ‍නෙවෙයි. මට කියැවීමේ රුචිය ඇති කළේ ඔහු. අදටත් ඒ පුරුද්ද මගෙ ජීවිතයට ලොකු ආලෝකයක් වෙලා තියෙනවා. ඒ වගේම උසස් කලා නිර්මාණ සම්භාව්‍ය සංගීතය රස විඳින්න එයා මට හුරු කළා.

නිරෝෂා තමන්ගෙ ආදරය ඔහුට ප්‍රකාශ කරන්න හෝ අඟවන්න උනන්දු වුණේ නැද්ද?
නැහැ. අදටත් ඔහු ඉඳහිට මට හමුවනවා. දැන් ඔහු දෙදරු පියෙක්. එදා තරම් ඇසුරක් නැතත් දුටු අවස්ථාවල අපි සුහදව කතා කරනවා. ඒත් මම එයාට ආදරේ කළා කියල එයා තවමත් දන්නේ නැහැ.

එයාගෙ හිතේ නිරෝෂා ගැන ආදරයක් තිබුණාද?

එයා එහෙම දෙයක් අඟවලාවත් නැහැ. මම හිතන්නේ එයාගේ හිතේ එහෙම දෙයක් තිබුණෙ නැහැ.

බැරි වෙලාවත් ඔහු නිරෝෂාට ආදරේ ප්‍රකාශ කළා නම්
මම ඒ ආදරය ප්‍රතික්‍ෂේප කරනවා.

ඇයි ඒ?

මම ටිකක් උස කෙනෙක් එයා මට වඩා බොහොම ‍පොඩියි. ඒ වගේම හරිම නිවුණු තැන්පත් මෘදු කෙනෙක්. මම ඒකෙ අනිත් පැත්ත. ඔහු මට වඩා අවුරුදු 13ක් විතර වැඩිමල් ඉත්න්… ඔහුට ප්‍රේම කළාට ඔහු මට කොහෙත්ම ගැළපෙන්නේ නැති බව මම දන්නවා. ඒ හින්දා තමයි මගෙ ප්‍රේමය අඟවන්න ගියෙත් නැත්තේ. ඔහු මට ආදරේ ප්‍රකාශ කළා නම් මම ඒ ආදරය ප්‍රතික්‍ෂේප කරනවා.

අදටත් ඒ මිතුරු ඇසුර පවතිනවා නම් ඔහුගෙ විවාහයටත් නිරෝෂා යන්න ඇති. ‍පෝරුව මත මනාලිය සමග ඔහු සිටින මොහොතේ මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

ප්‍රේමය බිඳවැටිලා ඉන්න කාලෙක තමයි ඔහු මට හමුවුණේ. ඔහු නැවතත් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තු අවස්ථාවේ මට ඒ ගැන පැවසුවා. ඒ වෙලාවේ පුංචි දුකක් ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒත් ඊට පස්සේ මගෙ හිත හැදුණා. ඊට අවුරුදු දෙකකට පස්සේ තමයි ඔහු විවාහ වුණේ. මමත් ඒ මංගල උත්සවයට සහභාගි වුණා. ඒ වෙද්දි මගෙ හිත හැදිලා. ඒ හින්දා ඒ උත්සවය මගෙ මිතුරෙකුගෙ මංගල උත්සවයක් විතරයි කියන හැඟීමෙන් තමයි මම ඊට සහභාගි වුණේ.

ආරියවංශ කුලතිලක
මුලාශ්‍ර -ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button