පළකල දිනය : Fri, Apr 29th, 2016

ආදරය කරපු කෙනාවම බැන්දා මං හරි සතුටින්

gossipnewsවිසි වසරකට ආසන්න කාලයක් රංගන ශිල්පිනියක් ලෙස දීර්ඝ ගමනක් ගිය ඇය ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනී නයනා කුමාරි. රිවිර පුවත්පත සමග කළ අපුරු කතා බහ හිටි ගොසිප් තරු හුටපට තුලින් අපි ඔබට ගෙන එනවා…

මේ දවස්වල කලා කටයුතු මොන වගේද?

මේ දිනවල නාට්‍ය කිහිපයක් එක්කම වැඩ කරපු නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ආදරේ ගින්දරක්, කාසිවත්ත වගේ නාට්‍ය වගේම සුධර්මා නෙත්තිකුමාරගේ ටෙලි නාට්‍යයක් එක්කත්, සුදත් රෝහණගේ ටෙලි නාට්‍යයකත් වැඩකටයුතු කරගෙන යනවා.

නයනා ආපු කාලෙත් එක්ක අද පවතින කලාව ගැන මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?

අපි කලාවට ආවේ රංගනය ඉගෙනගෙන වේදිකාව හරහා. ඒ ලැබුණු පන්නරයත් එක්කයි පුංචි තිරයට ආවේ. අද පවතින විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටේ මේ හැමදේම විවෘත වෙලා. අද හැම මාධ්‍යයකම නාළිකා ගොඩක් තියෙනවා. මේ හැම දේකටම අද ගොඩක් පිරිස අවශ්‍යවෙලා තියෙන නිසා ප්‍රමිතියක් හෝ සුදුසුකම් සොයා බැලීමක් වෙන්නේ නැහැ. මම හිතන්නේ තමන් කරන දේ අවබෝධයක් එක්ක කරනවා නම් ගොඩක් වැදගත් වෙනවා.

කලාවේ අද පවතින මේ තත්ත්වයට ඔබ හිතන විදියට මොනවගේ ක්‍රියාමාර්ගයක් ද අවශ්‍ය?

අද ප්‍රවීණයෝ පවා හැමෝම කලාව පිරිහිලා කියනවා. මම දකින්නේ නළු නිළියන් විතරක් ‍නෙවෙයි හැම කෙනෙක්ම මේකට වගකිව යුතුයි. මුලින්ම දකින සහාය අධ්‍යක්ෂවරයා පහුවෙනිදාට දකින්නේ අධ්‍යක්ෂවරයා විදියට. මේ වගේ හැම පැත්තකම එකවගේ. අද ටෙලි නාට්‍යවල හොඳ කතා තේමාවන් නැහැ. එකම තේමාව හැම නාට්‍යයකම එක දිගට ගෙනියනවා. දැන් නිවේදන ක්‍ෂේත්‍රයත් ඒ වගේ. මම දකින විදියට මේකට ප්‍රධාන හේතුව දැනුම අඩු එකයි. ඒකට එකිනෙකාට බැණවදින එක ‍නෙවෙයි ප්‍රවීණයන් විදියට විසඳුමක් දෙන එකයි වැදගත් වෙන්නේ. කලාව ඇතුළට එන්න අධ්‍යාපන සුදුසුකම්, පවුල් පසුබිම බලපාන්නේ නැති නිසා හරි ‍ලේසියි.
ඒත් ඒ හැම කෙනෙක්ටම කලාවේ නවතින්න බැහැ. කලාවේ රැඳී සිටින්න නම් දැනුම, හැකියාව, පෙනුම ගොඩක් වැදගත්.

ඔබ අර ජනප්‍රිය තරු වැඩසටහනින් අතරමැදදි ඉවත්වන්න තීරණය කළේ ඇයි?

ගොඩක් වැඩ අධික නිසා කාර්යබහුල වුණා. ඒකේ පුහුණුවීම්වලට දින කිහිපයක් ගතකළ යුතු වුණා. මගේ වැඩත් එක්ක ඒ දේවල්වලට කාලය මදි වුණා. ඒ නිසා දිගටම යන්න බැරි බව තේරුණ නිසා ඉවත්වෙන්න හිතුවා.

ඒ වැඩසටහන ඔබට අලුත් අත්දැකීමක් වුණාද?

ඇත්තටම ඒකෙන් අලුත් අත්දැකීමක් නම් ලැබුණේ නැහැ. අපේ ජනප්‍රියත්වය එතැනට එකතු කිරීමක් වුණේ. අපි දෙයක් කරන්න ඕනේ අපිටත් ඒකෙන් යම් දෙයක් ලැබෙනවා නම් විතරයි. අපිට මේ වගේ දේවල් කරලා ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මොකද අපි ජනප්‍රියයි. අපේ හැකියාව තවත් වැඩිදියුණු කරගන්න ඕනතරම් දේවල් තියෙනවා. ඒක ජීවිතේට එක සිදුවීමක් විතරයි.

ඉවත්වෙද්දී ඔබට ඒකට විරුද්ධව බලපෑමක් ඇති වුණේ නැද්ද?

නැහැ. එහෙම දෙයක් වුණේ නැහැ. ඕන අයට එන්න පුළුවන් වගේම යන්නත් පුළුවන්.
කොහොමද ඔබේ රූපලාවණ්‍ය වැඩකටයුතු?

මම මේ ක්‍ෂේත්‍රයේ දැන් වසර 10ක් වෙනවා. මම මේ වැඩවලට උපරිම දායකත්වය ලබා දෙනවා. වෘත්තීය පළපුරුදු අයත් සමග ගනුදෙනු කරන්න වගේම හොඳ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබෙනවා.

අද රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය මේ රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයට එනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

නළු නිළියන් තමන්ගේ තරුණකම රැකගන්න ගෙදර ඉන්න කාන්තාවන්ට වඩා රූපය ගැන හිතනවා. මේ ක්‍ෂේත්‍ර දෙකම එකට සම්බන්ධයි. රූපලාවණ්‍ය කියන්නේ හොඳ විදියට අධ්‍යයනය කරලා ක්‍ෂේත්‍රයට එකතු කරගත යුතු දෙයක්. මම ඒ නිසා මේකේ වැරැද්දක් දකින්නේ නැහැ.

රූපලාවණ්‍ය 100 වැදගත් වෙන්නේ රංගන ශිල්පීන්ටයි. මොකද ඔවුන් තමන්ගේ රූපය වෙනුවෙන් ලොකු වියදමක් කරනවා. ඒ නිසා රංගන ශිල්පීන් රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයට යන එක ගැන මම අඩුපාඩුවක් දකින්නේ නැහැ. මමත් දන්න කියන රංගන ශිල්පීන්ට උදව් කරනවා. ඒක අඩු තක්සේරුවෙන් දකින්න හොඳ නැහැ. කැමරා ශිල්පියෙක්, ස්ටුඩියෝ එකක් පටන් ගන්නවා වගේ දෙයක් මේක. කලාවේ නමක් තියෙන කෙනෙක් සැලෝන් එකක් කරන එක සුබ පතන්න ඕන දෙයක්.

කටකතා නිර්මාණය වෙන එක ගැන ඔබ මොකද හිතන්නේ?

ඒ ගැන හොයන්න ඇත්තටම වේලාවක් නැහැ. කටකතාවලින් මම පසුබැහැලා නැහැ. කටකතාවලින් අපි වැටෙන්නේ නැහැ. අපි අපේ ගමන යනවා. කටකතා හදන අයට දෙවියන්ගෙම පිහිටයි. අපි අපේ පාඩුවේ බොහොම හොඳින් ජීවත් වෙනවා.

කලා ක්‍ෂේත්‍රයේ වසර 25ක් පමණ ඔබ ආපු මේ ගමන ගැන මොකද හිතන්නේ?

මම අවුරුදු 14 තරම් ‍පොඩි වයසේ දී ආවේ. කලා ක්‍ෂේත්‍රය ඇතුළේ දී හොඳ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණා. ජනප්‍රියම නිළිය, හොඳම නිළිය ඇතුළු හැම සම්මානයක්ම ලබාගත්තා.

පෞද්ගලික ජීවිතේ ආදරය කරලා එයාවම බැඳලා හොඳ පුතෙක් ලබන්න පුළුවන් වුණා. ව්‍යාපාරය පැත්තෙනුත් 500 තෘප්තියක් තියෙනවා. මේ හැම දේකටම සතුටුයි. ගිය ආත්මේ කරපු දේවල්වලට සම්බන්ධයි කියලා මට හිතෙන්නේ.

පවු‍ලේ තොරතුරු ගැනත් මතක් කළොත්?

මගේ පුතාට අවුරුදු 10යි. රාජකීය විදුහ‍ලේ ඉගෙන ගන්නවා. එයා ඉගෙනීම පැත්තෙන් හොඳ මට්ටමක ඉන්නවා. මමයි මහත්තයයි ඒ හැමදේම ගැන සතුටුයි. කලා කටයුතු වගේම ගෙදර වැඩත් සරලව අවබෝධයෙන් කරගෙන යනවා.
ඉදිරි සැලසුම් මොන වගේද?

මම අවුරුදු 16න් පස්සේ වේදිකාවට සම්බන්ධ වුණා. මාරු හොරු නමින් මැයි 27 වැනිදා ලයනල් වෙන්ඩ්ට් එකේ දී වේදිකාගත වෙනවා. ලොකු ආශාවන්, බලා‍පොරොත්තු නැහැ. මම රංගන ශිල්පිනියක්, ගැහැනියක් විදියට යන්න ඕන ගමන ගිහින් තියෙන්නේ. ඒ නිසා ලොකු ආශාවන් නැහැ. මගේ පුතාට හොඳ අධ්‍යාපනයක් දීලා කාටවත් කරදරයක් නැතිව මටත් කාගෙන්වත් කරදරයක් නැතිව ඉන්න කැමැතියි.

අනුෂිකා ගුණරත්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button