පළකල දිනය : Mon, May 9th, 2016

බුධ සංක්රාන්තිය අද

downloadවසර 13 කට පසුව සිදුවන විරල බුධ සංක්‍රාන්තියක් නැරඹීමේ අවස්ථාව අද ශ්‍රී ලාංකිකයින් උදාව අැත.නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ මෙහිදී බුධ ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීමේ දුර්ලභ සංක්‍රාන්ති අවස්ථාව දැක බලා ගැනීමේ අවස්ථාව අද පස්වරුවේ ශ්‍රී ලාංකියින්ට හිමිවන බව ය.

සූර්යයාගේ මුහුණත හරහා ග්‍රහ වස්තුවක් ගමන් කිරීම, එසේ නොමැතිනම් සංක්‍රාන්තියක් සිදුවීම සාපේක්ෂව දුර්ලභ අවස්ථාවක් වන අතර පෘථිවියේ සිට බැලිය හැකි එකම සංක්‍රාන්තිය වන්නේ බුධ හා සිකුරු සංක්‍රාන්තී පමණක් බව ද නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එහි අභ්‍යවකාශ යෙදවුම් අංශය පැවසුවේ, වසර 13 කට පසු සිදුවන මෙම බුධ සංක්‍රාන්තිය මෙරට වේලාවෙන් පස්වරු 4.22 සිට සවස 6.16 පමණ වන තෙක් බටහිර ක්ෂිතිජය පැහැදිලිව ඇති ස්ථානයක සිට නිරීක්ෂණය කළ හැකි බව ය.

කෙසේ වෙතත් සූර්යයා මෙම සංක්‍රාන්තිය නිමවීමට ප්‍රථම බැස යන නිසා බුධ ග්‍රහයා සූර්යයාගේ මුහුණතින් සම්පූර්ණයෙන්ම ඉවත් වන තෙක් මෙම සංක්‍රාන්තිය දැකබලා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට නොහැකි බව ද නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ, බුධ සංක්‍රාන්තිය පියවි ඇසින් නිරීක්ෂණය කිරිම අනතුරු දායක බව ය.යළිත් මෙවැනි බුධ සංක්‍රාන්තියක් සිදුවන්නේ 2019 දී බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

මේ අතර මෙම දුර්ලභ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් සංවිධානය කරන විශේෂ වැඩමුළුවක් අද පස්වරු ට ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙයි.ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කළේ, වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් පැවැතිය හොත් මෙම අවස්ථාවට ඔබට ද සහභාගිවිය හැකි බව ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button