පළකල දිනය : Thu, May 19th, 2016

පළමු වරට ඇමරිකාවේ ශිශ්න බද්ධයක්

First penis operation ඇමරිකාවේ රෝහලක් තුළ පළමු වරට සාර්ථකව සිදු කරන ලද පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව වෛද්‍යවරු පවසති.පිළිකාවක් හේතුවෙන් හැට හතර හැවිරිදි තෝමස් මැනින්ගේ ශිශ්නය කපා ඉවත් කරන ලදී.

ඉන් තෙවසරකට පසු අවයව පරිත්‍යාගයක් හරහා ඔහුට ශිශ්නයක් බද්ධ කර ගැනීම සඳහා අවස්ථාව උදා විය.ඒ ආකාරයේ පරීක්ෂණාත්මක ශල්‍යකර්මයකට භාජනය කරන ලද ලොව තෙවැනි පුද්ගලයා ලෙස ඔහුයි.ඉදිරි මාස කීපය ඇතුළත ඔහුට සාමාන්‍ය පරිදි මුත්‍රා කිරීමට හැකියාව ලැබෙනු ඇති බව පවසන වෛද්‍යවරුඔහුගේ ලිංගික ක්‍රියාකාරිත්වය ප්‍රකෘති තත්වයට පත් වනු ඇති බවත් කියා සිටිති.

මැසචුසෙට්ස් මහ රෝහලේ සිදු කරන ලද ශල්‍යකර්මය සඳහා ගත වී ඇති කාලය පැය පහළොවක්.ඒ සඳහා විවිධ ක්ෂේත්‍රවලට අයත් පනහකට අධික විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක සහාය ලැබී ඇත.

හමුදා ක්‍රියාන්විතයේ යෙදී සිටියදී ලිංගෙන්ද්‍රයට හානි සිදු වූ සොල්දාදුවන්ට තම සැත්කමේ සාර්ථකත්වය නව බලාපොරොත්තුවක් රැගෙන එනු ඇති බව සැත්කමට භාජනය වූ තෝමස් මැනින් පැවසීය.’මම අවුරුදු ගණනාවක් පුරා දැන හඳුන ගෙන සිටි ඇතැම් අයට මගේ පුරුෂ ලිංගය කපා ඉවත් කලා කියල කියපුවම ඔවුන්ගේ මුහුණුවල ඉරියව් පුදුම විදියට වෙනස් වුණා. ඔවුන් තැති ගැනුණා. සොල්දාදුවන්ගේ කකුල් අහිමි කරන බෝම්බ දණහිස ළඟින් නතර වෙන්නේ නැහැ. දණහිසෙන් උඩ සිදු වන තුවාල මිනිසුන්ට දකින්න ලැබෙන්නේ නැහැ.’ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පළමු වරට සාර්ථකව සිදු කරනු ලැබුවේ දකුණු අප්‍රිකාවයි.ඒ දෙදහස් පහළොව වසරේදී.සුන්නත් කිරීමෙන් අනතුරුව ඇති වූ ආබාධිත තත්වයක් හේතුවෙන් පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කරන ලද එම පුද්ගලයා දාව පසුව දරුවකු බිහි විය.

දෙදහස් හය වසරේදී චීන ජාතික පුද්ගලයකුට පුරුෂ ලිංග බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කරනු ලැබිණ.ශල්‍යකර්මය සිදු කොට සති දෙකකට පසු නැවත එය ඉවත් කිරීමට ඔහු තීරණය කොට තිබුණේ තමා සහ තම බිරිඳ ‘බරපතළ මානසික ගැටලුවකට’ මුහුණ දී සිටින බව පවසමිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button