පළකල දිනය : Fri, May 20th, 2016

අම්මයි බිරියයි දරුවො තුන්දෙනයි නැතිවුණා මම මේ ලෝකේ තනි වුණා

Sad Story of Aranayaka Landslideනායයෑමෙන් මගේ අම්මයි දරු පවුලෙ පස් දෙනෙක්ම නැති වුණා. මේ වෙනකොට මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. පුතාගේ මිනිය හම්බවුණාට පස්සේ ඒ කටයුතු මට තනිවම කරගන්න සිද්ධ වුණා.

මේ වෙනකම් කිසිම කෙනෙක් මගෙන් මේ ගැන ඇහුවේ බැලූ‍වෙත් නෑ. වෙන එකක් තියා මට වතුර ටිකක්වත් ලැබුණෙත් නෑ.

අරණායක එළිඟිපිටිය රාමසර කන්ද නායයෑම නිසා සිය පවුලේ සාමාජිකයන් සියලූ‍ දෙනාම අහිමි වීම නිසා මෙලොව තනි වී සිටින එම පවුලේ ගෘහමූලිකයා වන එම්.පී. සරත් කුමාර (38) නමැති තිදරු පියා මෙතෙක් සොයාගත් සිය වැඩිමහල් පුතුගේ මෘත දේහය ඉදිරියේ හඩා වැලපෙමින් සිටි අතරවාරයේ එසේ පැවැසීය.

මේ අවාසනාවන්ත සිද්ධියෙන් ඔහුගේ මව වන එන්සිනා (72), බිරිය වන පුෂ්පා කරුණාරත්න (32), වැඩිමල් පුතු සාරංග පුෂ්පික (15), කවිඳු සිතුමිණ (10) සහ හිමාෂි නිල්නෙතු (2 1/2) යන නෑසියෝ ජීවිතයෙන් සමුගෙන සිටිති.

උන් හිටිතැන් අහිමි වූ සරත් කුමාර මහතා සිය පුතුගේ දේහය හත්ගම්පොළ මහ විදුහල් ශාලාවේ කොනක තබාගෙන හඩා වැලපෙමින් තවදුරටත් මෙසේ පැවැසීය.

මේ සිද්ධිය වෙන වෙලාවේ මම හිටියේ මාවනැල්ල රෝහලේ නතර වී සිටි යාළුවකුට ඇප උපස්ථාන කරමින්. එහෙම ඉන්නකොට සවස මට මේ ගැන ආරංචි වුණා. ඊට පස්සේ මම දන්න කියන කිහිප දෙනකුටම කතා කළත් ඔවුන්ගේ දුරකතන ක්‍රියා විරහිත වී තිබුණා. පස්සේ මාමා කෙනෙක් මට කතා කරලා මේ ගැන කීවා. සවස 6ට විතර ආපසු ආවා.

ඒ වෙලාවේ යෑමට අපහසු නිසා රෑ 12ට විතර ඒ පැත්තට මම ආපසු ගියා. ඒ යනකොට මගේ ගෙදර සම්පූර්ණයෙන්ම පස්වලින් වැහිලා තිබුණා. ඒ වෙලාවේ අපේ පවුලේ පුතාගේ මිනිය විතරක් සොයා ගත්තා. අනිත් ඒවාත් සොයා ගන්න පුළුවන්කම තිබුණා. එහෙත් නාය එයි කියලා කට්ටිය බය කරපු නිසා මම ඒ අදහස අත්හැර ගත්තා. මේ වෙනකොට මොකුත් ඉතුරු වෙලා නෑ. මම මේ ලෝකේ තනි වුණා.

මම පුතාගේ මිනිය තියාගෙන ඊයේ ඉඳලා මෙතැන ඉන්නවා. එහෙත් මේ වෙනකම් මට කිසිම ආධාරයක් ලැබුණේ නෑ. පොලිසියෙන් ඇවිත් අහලා ගියා. ඊට පස්සේ අඩු ගාණේ මට වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් ආවේ නෑ. මේ ගැන මම කනගාටු වෙනවා˜‍ යැයිද සරත් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.

  • 3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button