පළකල දිනය : Mon, Jun 20th, 2016

නූල් පොටකින් මහියංගණය ඝාතනයේ සැකකරු කොටු වුණු හැටි

Young School Girl killed at Mahiyanganaදැරියගේ පාසල් බෑගයේ කෑම පෙට්‌ටිය ඔතා තිබූ ලේන්සුවෙන් ඇයගේ කට බැඳ අතවර කළ බවත් සිහිසුන් වූ දැරිය අසල වූ දිය පහරකට ගෙන ගොස්‌ දැමූ බවත් මහියංගනය රිදීමාලියද්ද මොනාර ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන ගොස්‌ අතවර කර ඝාතනය කළ බව කියන සැකකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ පවසා ඇත.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ එච්. එම්. මල්කි සඳමාලි ප්‍රේමසිරි නමැති කුඩාලූ‍ණුක කනිෂ්ඨ විද්‍යාලයේ 04 ශේණියේ ඉගෙනුම ලබමින් සිටි නව හැවිරිදි දැරියකි.

දැරිය මොරාන යල්වෙල මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටින අතර පසුගිය 17 වැනිදා පාසල නිමවී නිවසට පාගමනින් පැමිණෙමින් සිටියදී සැකකරු විසින් දැරිය පැහැරගෙන අතවර කර ඇති බව අනාවරණය වී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

පාසල නිම වී කිලෝමීටර් 3 ක්‌ පමණ ඇය පාගමනින් නිවසට පැමිණෙන බවත් 17 වැනිදා සවස්‌ වනතෙක්‌ නිවසට නොපැමිණි බවටත් ඇයගේ දෙමාපියන් මහියංගනය පොලිසියට පැමිණිලි කර ඇත.

අනතුරුව අතුරුදන් දැරිය සොයා ගම්වාසීන් සිදු කළ පරීක්‍ෂාවේදී ඇයගේ සිරුර එදින සවස 4 .30 ට පමණ හමුවී ඇත. දැරිය සෙවීමට අත්අඩංගුවට ගත් සැකකරු ද සහාය වී ඇත.

දැරිය සොයා ගම්වාසීන් කළ පරීක්‍ෂාවේදී ඇයගේ පාසල් බෑගය තිබූ ස්‌ථානය ද මුලින්ම ගම්වාසීන්ට පෙන්වා දී ඇත්තේ මොහු විසින් බව ද එම නිලධාරියා කීය.

සිද්ධියට සැකපිට පෙරේදා (18 දා) සවස මොරාන දික්‌වැල්ලේ පදිංචි දැරියගේ ඥතියකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දැරියගේ පාසල් බෑගයේ කෑම පෙට්‌ටියේ ලේන්සුවෙන් ඇයගේ කට බැඳ අතවර කළ බවට සැකකරු පාපොච්චාරණය කළ බව ද එම නිලධාරියා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු මීට වසර 15 කට පමණ පෙර ද අතවර සිද්ධියකට වරදකරු වී සිර දඩුවම් ලබා පැමිණි අයකු බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් මහියංගනය මහෙස්‌ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය එදින රාත්‍රියේම මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකරන ලද අතර මළසිරුර තිබූ ස්‌ථානයට ළඟාවීමට අසීරු වුවද එදින රාත්‍රි 11.00 ට පමණ කඹයක්‌ ආධාරයෙන් බෑවුමට බැස මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකරන ලදී.

අනතුරුව මරණ පරීක්‍ෂණය සඳහා දැරියගේ දේහය මහියංගන මූලික රෝහල වෙත යොමුකරන ලදී. පෙරේදා උදැසන මහියංගන මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඡේ. සමරවීර මහතා විසින් මරණ පරීක්‍ෂණය සිදු කළ අතර වෛද්‍යවරයා විසින් එහිදී විවෘත තීන්දුවක්‌ ලබාදෙමින් සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමට තීරණය කරන ලදී.

වෙනදා වෙලාවට මල්කි දැරිය පාසල නිමවී නිවසට නොපැමිණිම නිසා ගම්වාසීන් සමඟ දෙමාපියන් ඇය පැමිණෙන මොරාන කුඩාලූ‍ණුක මාර්ගය පරීක්‍ෂා කර තිබේ. මාර්ගයේ එක්‌ ස්‌ථානයක කැලෑව දෙසට සැක කටයුතු බයිසිකල් රෝද පාරක්‌ තිබූ අතර ඒ දෙසට ගහ කොළ තැලී පොඩි වී තිබීම හේතුවෙන් සැක සිතී කැලෑව පිරික්‌සීමේදී මොරාන, පනුල්ල ප්‍රදේශයේ ඉමකඳුරේ තිබී ඇයගේ නිසල දේහය ගම්වාසීන් විසින් සොයාගෙන ඇත. මෙම ප්‍රදේශය නිවාස නොමැති පාළු ප්‍රදේශයකි.

ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ප්‍රදේශයේ ඉහළ ගොස්‌ ඇති කසිප්පු, ගංජා හා සූදු කෙළි හේතුවෙන් මෙවැනි අපරාධ සිදුවන බවත් ඒවා මර්දනය නොකළහොත් මීට වැඩි අපරාධ රැසක්‌ සිදුවිය හැකි බවත්ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button