පළකල දිනය : Mon, Jun 20th, 2016

දශක දෙකක් හැදූ ලෝකයේ දිගම උමං දුම්රිය මාර්ගය

world's longest train tunnel (5)ස්විට්සර්ලන්තයේ ගොඨාර්ඩ් උමඟ ඇතුළේ නම් හූ කියල ඉවර කරන්න බෑ මොකද එය ලෝකයේ දිගම හා ගැඹුරුම උමං දුම්රිය මාර්ගය වන නිසා. ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටිය යටින් දිවෙන මෙම උමං මාර්ගයේ දුම්රිය මඟෙහි දිග කිලෝමීටර් 57ක්. පසුගිය පළමු වැනිදා විවෘත කරන ලද මෙහි සම්පූර්ණයෙන් වැඩ නිමවන්නේ දෙසැම්බර් මස වන බව සඳහන් වනවා.

එක ළඟ පිහිටි උමං දෙකකින් සමන්විත ගොඨාර්ඩ් උමං මාර්ගය එහි සේවා මාර්ග හා ගත් කල සියලුම උමං වල මුළු දිග කිලෝමීටර් 151.84ක් වනවා. ඇල්ප්ස් කඳු වැටිය හරහා ඉදිකර තිබෙන පළමු උමං මාර්ගය නම් මෙය නොවන නමුත් මෙම උමං මාර්ගය ඇල්ප්ස් හරහා ඉදිකරන ලද පැතලි හා පහළින්ම ගමන් කරන උමං මඟ වනවා. මෙසේ කඳුවැටියේ පාමුලින්ම/පහළින්ම ගමන් කරන නිසා මෙය Gotthard Base Tunnel ලෙස නම් කර තිබෙනවා. ස්විට්සර්ලන්තයේ අර්ස්ට්ෆෙල්ඩ් (Erstfeld) සිට සෙඩ්‍රන් (Sedrun) පසු කරමින් බෝඩියෝ (Bodio) දක්වා ගමන් කරන මෙම දුම්රිය මාර්ගය හා සමාන තවත් උමං දුම්රිය මඟක් බර්න් (Bern) සිට වලයිස් (Valais) දක්වා ඉදිවෙමින් පවතින අතර වසර 2020 දී එය විවෘත කිරීමට නියමිතයි.

මෙම ගොඨාර්ඩ් උමං මාර්ගය සෑදීමේ අරමුණ වන්නේ ඇල්පයින් බාධකය හරහා ඇති ප්‍රවාහන ධාරිතාවය වැඩි කිරීමයි. විශේෂයෙන්ම දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම මෙහි මූලික අභිප්‍රායයි. මෙයට හේතුව වන්නේ ඇල්ප්ස් බාධකය හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල ට්‍රක් රථ මඟින් සිදුවන මාරාන්තික රිය අනතුරු හා දිනෙන් දින ඉහළ යන භාණ්ඩ ප්‍රමාණය ට්‍රක් රථ මගින් ප්‍රවාහන කිරීමේදී ඇතිවෙන පරිසර දූෂණයයි. දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහනය ට්‍රක් රථවලින් කරනවාට වඩා පහසු වීම හා ඉක්මන් වීම නිසා මෙමඟින් ට්‍රක් රථ ප්‍රමාණය අඩු කළ හැකි බව විද්වතුන්ගේ මතයයි.

මෙම උමඟේ කැණීම් කටයුතු නිම කිරීමට ගතවී ඇති කාලය වසර 20 ක්.වර්ෂ 1992 දී ස්විස් ඡන්දදායකයන් 64% කගේ ඡන්දයෙන් සම්මත වී ඇති මෙම AlpTransit ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී ඇත්තේ 1996 වසරේදීය. නැගෙනහිර උමඟේ කැනීම් කටයුතු වසර 2010 ඔක්තෝබර් 15 දින නිම කළ ඇති අතර මේ සඳහා උත්සවයක් පවා පවත්වා ඇත. බටහිර උමඟේ වැඩ කටයුතු නිමා කර තිබෙන්නේ වසර 2011 මාර්තු මස 23 වන දිනයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල ස්විස් ෆ්රෑන්ක් බිලියන 9.8ක් වුවත් ව්‍යාපෘතිය අවසාන වනවිට ඒ සඳහා බිලියන 12කට අධික මුදලක් වැයවී තිබේ. අවාසනාවන්ත ලෙස මෙම ව්‍යාපෘතියේ සේවය කළ සේවකයන් 9 දෙනකුගේ ජීවිත හානි වාර්තා වී ඇත.

මෙම දුම්රිය උමං මාර්ගය අනෙක් ඒවාට වඩා සුවිශේෂී වන්නේ මෙය ලොව දිගම උමං දුම්රිය මාර්ගය වීම හා ඇල්ප්ස් හෝ එවැනි ප්‍රධාන කඳු පන්තියක් හරහා තිරස් අතට දිවෙන ප්‍රථම මාර්ගය වීමත් නිසාය. මෙම තිරස් මාර්ගයේ උපරිම උස ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර 549ක් එනම් අඩි 1801 වනවා. මෙය තමයි ලෝකයේ වඩාත්ම ගැඹුරෙහි ගමන් කරන දුම්රිය මාර්ගය. එසේ වන්නේ ඇල්පස් කඳු වැටියේ උස නිසා කඳු වැටිය යටින් ගමන් කරන විට දුම්රිය මාර්ගයේ සිට කඳු මුදුන් වෙත ඇති උස නිසායි. දළ වශයෙන් මෙහි උපරිම ගැඹුර ඇති ස්ථානය මීටර 2300ක් (අඩි 7500ක්) වන අතර මේ නිසා මෙය ලෝකයේ ඇති ගැඹුරු පතලක් ලෙස පවා සැලකිය හැකියි.

කෘත්‍රිමව වාතාශ්‍රය සපයා නැති විටදී කන්ද ඇතුළත එනම් උමඟ තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සඳහන් වනවා. යුරෝපයේ, විශේෂයෙන්ම ස්විට්සර්ලන්තයේ කාලගුණික හා දේශගුණික තත්ත්වයන් සඳහා මෙම ඇල්ප්ස් කඳු වැටිය විශාල ලෙස දායක වනවා. කඳු වැටිය දෙපස ඇති එකිනෙකට වෙනස් වූ කාලගුණ තත්වයන් නිසා සෑම විටම උමගේ දකුණු අන්තයේ උෂ්ණත්වය උතුරු අන්තයට වඩා සෙල්සියස් අංශක කිහිපයක් වැඩි වන අතර සමහර දින වලදී මෙය සෙල්සියස් අංශක 10ක් දක්වා පවා වැඩිවන බව සඳහන් වේ.

2016 මැයි මස 31 වැනි දින එනම් උමං මාර්ගය විවෘත කිරීමට පෙර දින උමඟ ඉදිකිරීම අතරතුර මියගිය 9 දෙනා සිහිකරමින් විශේෂ උත්සවයක් පවත්වා ඇත. මෙම නම දෙනා අතරින් 4 දෙනකු ජර්මානු ජාතිකයන් වන අතර 3 දෙනකු ඉතාලි ජාතිකයන් හා දෙදෙනකු දකුණු අප්‍රිකානු හා ඕස්ට්‍රියානු වේ. උතුරු අන්තයේ අර්ස්ට්ෆෙල්ඩ් හී පවත්වා ඇති මෙම අවස්ථාවක් සඳහා කතෝලික පූජකවරයකු, යුදෙව් පූජකවරයකු, ක්‍රිස්තියානි පූජකවරයකු හා මුස්ලිම් පූජකවරයකු සහභාගි වී ඇත. මොවුන්ගේ නම් ඇතුළත් ලෝකඩ ඵලකයක් හා පතල් කරුවන්ගේ සාන්තුවරයා වන ශාන්ත බාර්බරා ගේ පිළිරුවක් උමඟ තුළ සිහිවටනයක් සේ තබා ඇත්තේ මියගිය 9 දෙනා මෙන්ම මෙම විශාල භාරදූර කර්තව්‍යය සාර්ථකව නිමකිරීමට දායක වූ සියලුම සේවකයන්ට ගෞරවය පුද කිරීමටයි.

මුලාශ්‍ර – සිළුමිණworld's longest train tunnel (1) world's longest train tunnel (2) world's longest train tunnel (4)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button