පළකල දිනය : Tue, Jun 28th, 2016

බෝතල් කටුවකට කැපී ඇතැයි රෝහල්ගත කල දැරියට නයකු දෂ්ට කරලා

Child Hospitalized After Being Bitten By Cobraනාගයකු දෂ්ට කර සිටි සිය දැරියගේ පාදය බෝතල් කැබැල්ලකට කැපී ඇතැයි සිතා දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ දිවි බේරා ගැනීම සඳහා නාගයා දෂ්ඨ කළ වම් පාදයේ මාපට ඇඟිල්ලෙන් කොටසක් කපා ඉවත් කිරීමට සිදු වූ බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මොරගොල්ලාගම ගෝනලාගම ලිපිනයේ පදිංචි සිව් හැවිරිදි ඒ. එම්. ශෂි‚ විනෝද්‍යා රාජපක්ෂ නමැති දැරියකි.

ඉකුත් 18 දා ඇය තම නිවසේ මිදු‍ලේ සෙල්ලම් කරමින් සිටින විට නිවසට කෑ ගසා ගෙන පැමිණිමත් සමගම කකුලෙන් ‍ලේ ගලනවා දුටු නිවැසියන් බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි සිතා වත්තේ තිබූ ඖෂධීය පැළෑටියක කොළ වර්ග තලා ‍ලේ ගැලීම නතර කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් ඇය වේදනාවෙන් පසුවන නිසා පසුව නිකවැව රෝහලට ඇතුළත් කර ඇත්තේ ද බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි පවසමිනි.

නමුත් වෛද්‍ය රසික ගුණවර්ධන මහතා දැරියට සර්පයකු දෂ්ට කර ඇති බව නිගමනය කොට රෝහ‍ලේ ගිලන් රථයෙන් ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට පියවර ගත්තේය.

ඒ අතරතුර නිවැසියන් දරුවා සෙල්ලම් කළ ප්‍රදේශය පරීක්ෂා කොට එහි තුඹසක සිටි නාගයකු දැක නාගය මරා යළි රෝහල කරා පැමිණ ඇත. නාගයකු දෂ්ට කර ඇති බව දැනගත් වෛද්‍යවරයා ගිලන් රථයෙන් රැගෙන යන රෝගියාගේ තත්ත්වය විමසන විට ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසීමත් සමගම ගමන් මග වෙනස් කොට ඇය මහව දිසා රෝහලට ඇතුළත් කරන ලෙස හෙතෙම ඔවුනට උපදෙස් දී තිබේ.

එකී උපදෙස්වලට අනුව ඇය මහව දිසා රෝහලට ඇතුළත් කිරීමත් සමගම එහි වෛද්‍ය කපිල රත්නායක මහතා නාග විෂට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබා දෙමින් තවත් හෙදියන් දෙදෙනකුද රැගෙන දැරිය කැටුව එම ගිලන් රථයෙන්ම යළි කුරුණෑගල රෝහල බලා පිටත්ව ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරියක ගෙනෙනා බව ඔවුන් විසින් එම රෝහලට ද දැණුම් දී තිබුණි.

ඒ අනුව වහා දැරිය එම රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගයා දෂ්ට කර ඇති මාපට ඇඟිල්‍ලේ සෙල අප්‍රාණිකව තිබූ ප්‍රදේශයට ප්‍රතිකාර කිරීමේ අපහසුව නිසා ඇයගේ දිවි බේරා ගැනීම උදෙසා නිය‍පොත්ත ප්‍රදේශයෙන් කොටසක් කපා ඉවත් කිරීමට සිදු වී යැයි එම රෝහ‍ලේ සේවකයෝ පැවසූහ.

දින හයක් තිස්සේ එහි ප්‍රතිකාර ලැබූ දැරිය මේ වන විට තම නිවසට පැමිණ සිටින අතර මාපට ඇඟිල්‍ලේ කොටසක් කපා හෝ දැරිය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් බවත්, නිකවැව හා මහව රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේත්, කුරුණෑගල දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම ඉතා අගය කරන බවත් ඒ වෙනුවෙන් ඒ සියල්ලන්ටම අනේක වාරයක් ස්තූතිය පිරිනමන බවත් දැරියගේ මව වන රේණුකා කෝරළේගම මහත්මිය පැවසූවාය.

සිදත් කැ‍ලේගම – ‍පොල්පිතිගම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button