පියාට වකුගඩුවක් දන්දී ගෙදර යන්න ගිය ප්ලැන්කට්ගේ ඔබ නොදත් කතාව

Liam Plunkettශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී අයර්ලන්තය සමග පැවති තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව එංගලන්තය සමග නොටිංහැම්හිදී පැවැති මුල්ම එක්දින තරගයේදී මුලින්ම තම ඉනිම නිමකළේ එංගලන්තයට 287ක අසීරු ඉලක්කයක් ලබාදෙමින්. තරගය පැවැති විදිහට බොහෝ දෙනා බලා‍පොරොත්තු වුණේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි කියලා. ඒක වඩාත් තහවුරු වුණේ ශ්‍රී ලංකාව යැවූ අන්තිම පන්දුවේදී ලකුණු 7ක් ලබාගැනීමට සිදුවීමෙනුයි. ඒත් අවසන් පන්දුවේදී ලකුණු 6ක් ලබාගත්තොත් තරගය සමවෙනවා. ඇත්තටම කිසිවකු අපේක්ෂා නොකළ අන්දමින් සිදුවුණෙත් එයයි. පන්දුවට පහර දුන් නමුත් පන්දුයවන්නකු ලෙස වඩාත් ප්‍රකට ලියම් ප්ලන්කට් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්කරමින් තරගය සමකළේ අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනුයි.

ලියම් උපත ලබා ඇත්තේ 1985 අප්‍රේල් 6 වෙනි දිනයි. ඒ යෝක්ෂයර් ප්‍රාන්තයේ මිඩ්ල්ස්බරෝ නගරයේදී. දැනට 31 වන වියේ පසුවන අඩි 6 අඟල් 3ක් උසැති ලියම්ගේ මිතුරන් ඔහුව අමතන්නෙ ‘පඩ්සි’ යන සුරතල් නාමයෙන්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශ වූයේ 2005 වසරේදී. එංගලන්තය පකිස්තානය අතර පැවැති තරග අතරතුර සයිමන් ජෝන්ස් ආබාධයට ලක්වීමේ හේතුවෙන් ලියම්ව කැඳවනු ලැබුවා.

මීට වසර දෙකකට පමණ පෙර ලියම් ගත් තීරණයක් ක්‍රියාත්මක වූයේ නම් ඇතැම්විට එංගලන්ත පිලට ලියම්ගේ මේ දස්කම් අහිමිවන්නට ඉඩ තිබුණා.

ලියම්ගෙ පියා ඇලන් ඒ දිනවල දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිටියා. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. මේ සඳහා ඇලන්ගෙ සොයුරු සොයුරියන්ගේ වකුගඩුද ප්‍රතික්‍ෂේප කෙරුණේ ඔහුගේ රෝගී තත්ත්වය ඔවුන්ගේ වකුගඩුවලින්ද පිළිබිඹු වූ හින්දයි. වෛද්‍යවරු වැඩිදුරටත් පැවසූ අන්දමට ඇලන්ට බද්ධ කිරීම සඳහා වඩාත් සුදුසු වූයේ ලියම් ගේ වකුගඩුවයි.

මේ කාලයේ එංගලන්ත පි‍ලේ ස්ථානය අහිමිව සිටි ලියම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තම පියා වෙනුවෙන් වකුගඩුවක් දන්දීමට දැඩි ලෙස උත්සාහ කළා. ඒත් එම තීරණයට ඇලන් විරුද්ධ වූයේ ලියම් තමාට වඩා එංගලන්තයට ආදරය කළ යුතු බව පවසමිනුයි. ඒ වගේම නැවත කෙදිනක හෝ ලියම්ට එංගලන්ත කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බව ඇලන් දැඩි ලෙස විශ්වාස කළා. සැබැවින්ම මේ වනවිට ඒ විශ්වාසය තහවුරු වී තිබෙනවා.

ගැමුණු රත්නායක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button