පළකල දිනය : Wed, Jul 20th, 2016

ඔපරේෂන් එක අවුල් ගිහින් අම්මගේ අත නෑති වුන හෑටි

gossipnewsඅංගොඩ උණ රෝහලට ඇතුළත් කර සිටියදී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඇගේ අතක් අහිමි වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ‍පොලිසිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන වෙනම පරීක්ෂණ දෙකක් පවත්වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ මෙය තවමත් ඥාති පාර්ශ්වයෙන් එල්ල වූ චෝදනාවක් බැවින් ජුව චෝදනාවක් එල්ල කළ නොහැකි බවය. කිසියම් අතපසුවීමක් සිදුව ඇත්නම් අදාළ පරීක්ෂණ ප්‍රතිඵල අනුව පියවර ගන්නා බවද ඔහු පැවසීය.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ ඩෙංගු උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛ රෝහල බවට පත්ව ඇති අංගොඩ උණ රෝහල තුළ වෛද්‍ය ප්‍රතිකාර උපරිම ආකාරයෙන් කරන බවය. කෙසේ වුවද අදාළ සිදුවීම පිළිබඳව ‍පොලිසියේ පරීක්ෂණ අනුව අධිකරණයට වාර්තා කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන්ද විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

පෞද්ගලික රෝහල්වලද මෙවැනි සිදුවීම් කොතෙක් වාර්තා වුවද අදාළ රෝහ‍ලේ නමින් කිසි විටෙක වාර්තා පළ නොවන බවද වෛද්‍ය විජේවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද අවශ්‍ය විධිමත් පියවර ගෙන ඇති බව පෙන්වා දුන් රෝහල් අධ්‍යක්ෂවරයා එම පරීක්ෂණ අවසන් වන තෙක් ඊට ප්‍රචාරයක් ලබාදීමෙන් රෝහල සම්බන්ධයෙන් රෝගීන් තුළ අනියත බියක් ඇතිවිය හැකි බවද සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාව සති දෙකක් වැනි කාලයක් තුළ ලැබෙනු ඇතැයිද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

ශල්‍යකර්මයකින් අතක් ඉවත් කර ඇති ප්‍රේමවතී මහත්මිය සෙලියුලයිටීස් යන සෙල ඉදිමීමට ලක්වන ආසාදන රෝගී තත්ත්වය හේතුවෙන් උණ සහිතව රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේ පදිංචි එල්. ඩී. ප්‍රේමවතී මහත්මිය (73) පසුගිය 03 වැනිදා රාත්‍රියේ අංගොඩ උණ රෝහලට ඇතුළත් කර ඇත්තේ උණ වැලඳීම හේතුවෙනි.

ඉන්පසු සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රේමවතී මහත්මියගේ වැඩිමහල් දියණිය වන ලලිතා පෙරේරා මහත්මිය අපට පැවසුවේ මේ ආකාරයටය.

ජූලි 03 වැනිදා රෑ 8.00ට විතර අම්මට හොඳටම උණ තිබුණු නිසා අංගොඩ උණ රෝහලට ඇතුළත් කළා. අම්මගේ කකුලෙ ‍පොඩි තුවාලයක් තිබුණා. වාට්ටුව භාර දොස්තර මහත්තයා බලලා කිව්වෙ ඒ තුවාලයෙන් විෂබිජයක් ගිහින් ඒකට තමයි උණ අරන් තියෙන්නේ කියලා. පස්සෙ බෙහෙතක් විදින්න නියම කළා. ඒ වෙලාවෙ මේ දවස්වල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බලබල තමයි ඒ ගොල්ල හිටියෙ. අම්මගෙ අතට කටුවක් ගෙනත් ගැහුවා. ඒත් ඒක ගැහුවම හරි ගියෙ නෑ. ‍ලේත් එන්න ගත්තා. පස්සෙ ඒ කටුව නැමුණා. පස්සේ තව කටුවක් ගෙනත් ගැහුවා. අම්මා ඒ වෙලාවෙ වේදනාවෙන් කෑගහුවා. මිසී කිව්වා අපිට යන්න කියලා. පහුවදා උදේ අම්ම බලන්න එනකොට අතට ගහපු කටුව එහෙමම තිබුණා. අම්මා වේදනාවෙන් හිටියෙ. උණ බැහැලා තිබුණෙත් නෑ. කටුව ගහලා තිබුණු අම්මගෙ අතේ මහපට ඇඟිල්ල කළු වෙලා තිබුණා. අම්මට ඒ අත උස්සන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ.
පස්සේ මම ගිහින් මිසී කෙනෙකුට කිව්වා. ඇඟට යටවෙලා වෙන්න ඇති. බෙහෙත් දෙන්න ආවම බලන්නම් කිව්වා. දවල් 12.00ට බලන්න එනකොටත් එහෙමමයි. කටුව ගලවලා තිබුණෙත් නෑ. අම්මගෙ අත නිකම්ම කඩා වැටෙනවා.
මම ආයෙත් මිසීලට ගිහින් කිව්වා. ඒ පාර කිව්වා වම් පැත්තෙ කකුල සීතල වෙලාද කියලා බලන්න කියලා.

මම හවස බලන්න ආවා. එතකොට අම්මගෙ වම් අත සීතලයි. අත සම්පූර්ණයෙන්ම කළුවෙලා. මට ඇඬුණා. එහා පැත්තෙ ඇඳේ හිටපු කෙනා කිව්වා මේ ලෙඩා තියන්න එපා. බලෙන් හරි ටිකට් කපාගෙන යන්න කියලා. අපි ආයෙත් මිසීට ගිහින් කිව්වා. එයා ගණන් ගත්තේ නෑ. පස්සෙ දොස්තර නෝනා බලලා මිසීට කිව්වා කට්ට ගලවන්න කියලා. මිසී ගණන් ගත්තේ නෑ. පස්සේ ලොකු නංගි රෑ අම්ම ළඟ නවත්තලා අපි ආවා.

ඥාතීන් පවසන ආකාරයට එදින රාත්‍රීයේ ප්‍රේමවතී මහත්මිය පසුවී ඇත්තේ දැඩි වේදනාවෙනි. ඇගේ උණ තත්ත්වයද එලෙසම තිබි ඇත.

රෝගී කාන්තාව වේදනාවෙන් කෑගසන විට 5 වැනිදා අලුයම හෙදියක විසින් ඇගේ අතේ ගසා තිබූ කැනියුලාව ඉවත් කර තිබේ. තෙවැනි දිනය උදාවන විට ප්‍රේමවතී මහත්මියගේ වම් අත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය තත්ත්වයක තිබියදී පවා වෛද්‍යවරයකුගේ අවධානයට ලක් නොවූ බවට ඥාතීහු චෝදනා කරති.
තුන්වැනි දින රාත්‍රියේ ප්‍රේමවතීගේ දියණියන් රෝහල තුළින්ම කෙනෙකුට මුදල් ගෙවා රෝගියා අසල නතර කර පැමිණ ඇත්තේ දහසක් ගැටලු මැදය.
ඔවුන් එම රෝහ‍ලේම දන්නා හඳුනන හෙදියකට සිය දුක්ගැනවිල්ල පවසා ඇත්තේ මවගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වන බැවිනි.

එවිට එම හෙදිය පවසා ඇත්තේ ඔයා දැන්මම යන්න. අම්මගේ අත මැරිලා තියෙන්නේ යනුවෙනි. කළ යුතු දේ සිතා ගත නොහැකිව ලලිතා පෙරේරා මහත්මිය සිය නැගණියන්ට දන්වා රෝහල බලා එදින රාත්‍රියේම පිටත්ව ගොස් ඇත. මගදී ඔවුන්ට ලැබුණු තවත් ආරංචියකින් දැනගන්නට ලැබි ඇත්තේ ප්‍රේමවතී මහත්මිය කොළඹ ජාතික රෝහලට ගෙන යන්නට සූදානම් වන බවයි. ලලිතා පෙරේරා ඇතුළු ඥාතීන් වාට්ටුවට යන විටත් ප්‍රේමවතී මහත්මිය ඇඳෙහි නොවූවාය. පසුව ඔවුන් පිරිසක් කොළඹ ජාතික රෝහ‍ලේ හදිසි අංශයට පිටත් කර රෝගියා පිළිබඳව තොරතුරු විමසා ඇත. එවිට දැනුම් දී ඇත්තේ පරීක්ෂණයක් සඳහා රෝගියා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය බවයි. එහිදී ලලිතා මහත්මිය ඇතුළු ඥාතීන් සිය වේදනාව පහකර ගත්තේ එහි සිටින හෙද කාර්ය මණ්ඩලයට දෝෂාරෝපනය කිරීමෙනි.

පසුව ඇය කොළඹ ජාතික රෝහලට රැගෙන විත් එහි65 වාට්ටුව වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ලලිතා පෙරේරා මහත්මිය එහිදී ඇතිවූ තත්ත්වය අපට මෙසේ පැහැදිලි කළාය.
මහ රෝහ‍ලේදී කිව්වා අම්මගෙ අත මැරිලා. දැන් ගොඩගන්න බෑ කියලා. ජූලි 11 වෙනිදා අම්මගෙ වැළමිට කිට්ටුවට අතේ කොටසක් ඉවත් කළා. අපි හිතුවා එයාට අතක් දාල හරි දෙන්න පුළුවන්නෙ කියලා. අයෙ 16 වෙනිදා උදේ සුදු ඇඳුම් ගේන්න කිව්වා. මම ඇහුවා ඇයි කියලා. අයෙ ඔපරේෂන් එකක් තියෙනවා කියලා අරන් ගියා. එයා එළියට එනකොට අත සම්පූර්ණයෙන් ඉවත් කරලා. ඊට පස්සෙ අම්මා දැන් 48 වාට්ටුවට මාරු කළා. ඇයගේ තත්ත්වය තවමත් අවදානම්. දැන් පපුවෙ ‍ලේ කැටියක් ඇවිල්ල කියලා කියනවා. ගලනා‍ලේ ළඟින් කටු 3ක් ගහලා ‍ලේ ඉවත් කරන්න.

මේ ගැන අපි උණ රෝහ‍ලේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළා. ඔහු කිව්වා අපිට වෙන වෙනම ලිඛිතව සිදුවුණ දේ ලියලා දෙන්න. පරීක්ෂණයක් කරනවා කියලා. අපි ලිඛිතව දුන්නා. පසුගිය 15 වැනිදා උදේ 9.00ට පරීක්ෂණයකට එන්න කියලා අපිට ලිපියක් ලැබුණා. ඒක ලැබෙන කොට එදා දහවල් 12.30 විතර ඇති. අපි කෝල් කරලා ඒ බව දැනුම් දුන්නා. අපිට දැනගන්න ලැබුණා සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමිනුත් මේ ගැන පරීක්ෂණයක් තියෙනවා කියලා.

අපි කියන්නේ රජයේ රෝහලකට කෙනෙක් යන්නෙ අසරණ වෙලා. එතන තත්ත්වය මේ වගේ නම් කවුද ඒ ජීවිතවලට වන්දි ගෙවන්නෙ? මගේ අම්මාට සිද්ධ වුණ වරද ආයෙ හරිගස්සන්න බෑ. ඒත් තව කෙනෙකුට මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියන්න හොඳ නෑ යැයි ලලිතා පෙරේරා මහත්මිය පැවසුවාය.

හර්ෂණී වීරරත්න අශෝක වීරසිංහ
මුලාශ්‍ර වාර්තාව – රිවිර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button