පළකල දිනය : Sat, Jul 30th, 2016

අම්බලන්ගොඩ අභිරහස් සිසු මරණ වල ඈතුල් කතාව

ambalangoda-train-accident-cctvඒ ගෙවී යමින් තිබුණේ සෙනසුරාදාවයි. ඉර හැරුණු දහව‍ලේ පටන්ම කාටත් “අනේ අ‍පොයි” කියැවුණු පුවතක් අම්බලන්ගොඩින් ඇසුණේය. “කොල්ලෙක් කෙල්ලෙක්ව කෝච්චියට තල්ලු කරලාලු’ පුවතට තටු ලැබුණේ එහෙමය. දුම්රියට හසුවුණා යැයි කී ‘කෙල්ලගේ’ අයියා කෙනකු පුන පුනාම කී කතාවක් නිසා ‘නොදුටු කොල්ලා’ට මහා අපරාධකාරයකුගේ ‍ලේබලය ඇලවී තිබුණේ ය. කෙල්ල නිමේෂාය. කොල්ලා සංකල්පය.

“මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා” අයියා ලොකු විශ්වාසයකින් මෙන් කී ඒ කතාව කාටත් විශ්වාස කරන්නටම සිදු වූයේ ය.

නිමේෂාගේ ජීවිතයේ අවසන් තත්පරය ගැන දැනවුන් ගාල්ල – රඹුක්කන දුම්රියේ රියැදුරුගේ නමින් අම්බලන්ගොඩ ‍පොලිස් ‍පොතේ ලියැවුණු කතාව නොවන්නට අදටත් සංකල්ප වැරදිකාරයෙකි.

“මහනුවර ඉඳලා මාතර යන කෝච්චිය පිටත් වුණාට පස්සේ තමයි අපි අම්බලන්ගොඩින් ආවේ. හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේ නැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන් දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙත් ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.”

‍පොලිස් ‍පොතේ ලියැවුණු ඒ කතාව තහවුරු කරනා රූප පෙළක් අසල නිවසක සී.සී.ටී.වී. කැමරාවක සටහන් වීද තිබුණේය. නිමේෂා දුම්රිය මාර්ගය අසලින් ඉදිරියට දිව යන සැටි සී.සී.ටී.වී. කැමරාවේ හඳුනාගත හැකි ලෙස පෙළගැස්වී තිබුණෙන් නිමේෂාගේ අයියාට තමන්ගේ කතාව වෙනස් කරන්නට සිදු විය.

“මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි හිටපු පැත්තට ඇවිදගෙන ගියා. එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා. නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට.”

නිමේෂාගේ අයියා ඇත්ත කීවද ඒ කී කතාද දුම්රිය රියැදුරු කියා ඇති දේ හා බැලූ විට අසම්පූර්ණ කතාවකි. නිමේෂා දුම්රියට හසු වූ බව ගෙදරට නම් කියා ඇත්තේ අයියාය. නිමේෂාගේ තාත්තා ඒ බව කියන්නේ ය.

“ඔය පුතා ඉන්නෙ රඹුක්කන. එයා ඔය ගෙදර ආවේ මාස තුනකට විතර පස්සේ. පුතා කෝච්චියේ එද්දී නංගිව දැකලා තමයි හොයාගෙන ගිහින් තියෙන්නේ. මේ දුව අපේ දරුවන්ගේ බාලයා. අයියලා තුන්දෙනකුයි, අක්කා කෙනෙකුයි ඉන්නේ. අයියලා තුන්දෙනාටම බයයි. හැබැයි හැමෝම ආදරෙත් මෙයාට තමයි. අයියව දැක්කම බයට දරුවා දුවන්න ඇති. අපි දන්නෙත් පුතා කියන කතාවනේ. පුතාම තමයි මට කිව්වේ ‘තාත්තේ නංගිව කෝච්චියට අහුවුණා’ කියලා. මම මුලින්ම විශ්වාස කළේ නැහැ. මම කිව්වෙම බොරු කියන්න එපා’කියලා. පස්සේ පුතා කිව්වා බොරු නමෛයි, තාත්තේ බළපිටියේ ස්ටේෂන් එකට ඉක්මනට එන්න කිව්වා. මමත් අසනීප ගානේ ඉන්නේ. මම ඉක්මනට ත්‍රීවීල් එකක් කතා කරගෙන ගියා.”

නිමේෂා පවු‍ලේ කාගේත් සුරතලිය වූ “සුදු නෝනා”ය. ඈ පත‍පොතේ වැඩවලටද හපනියකි. මෙවර සාමාන්‍ය පෙළ දිනන්නට අහස තරම් උස් වූ බලා‍පොරොත්තු ද ඇගේ සිතේ තිබි ඇත. ඒ බලා‍පොරොත්තු ගැන කාටත් වඩා හොඳින් දන්නේ අම්මාය.

“ගෙදර හිටියේ මමයි, සුදු නෝනයි, තාත්තයි විතරයි. තාත්තාට රස්සාවක් කරන්න අමාරු නිසා මම නගර සභාවේ වැඩට යනවා. මේ පාර විභාගෙ ගැන සුදු නෝනා ලොකු බලා‍පොරොත්තු තියාගෙන හිටියේ. රෑ දොළහ එක වෙනකල් පාඩම් කළා “ඒ” නවයක් ගන්නවාමයි කිව්වා. දොස්තර කෙනෙක් වෙනවා කිව්වා. හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් හිටපු දරුවා. තාත්තාවයි, මාවයි බලා ගත්තේ එයා. ඔය කියන දවසේ උදේ 7.30 ට විතර ගෙදරින් ගියේ පන්ති යනවා කියලයි. හැබැයි පන්ති තිබිලා නැහැ. පන්ති නැති බව සිකුරාදාම එයා දැනගෙනත් ඉඳලා තියෙනවා. එයාට පිරිමි ළමෙයක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා අපිට හිතාගන්නවත් බැහැ. දරුවාගේ පුංචි වෙනසක්වත් අපි දැක්කේ නැහැ. ඔය සම්බන්ධෙ මැතකදී ඇති වුණු එකක් වෙන්නම ඕන.”

නිමේෂාගේ අම්මා කී කතාවට තවත් දේ එකතු කරමින් නිමේෂාගේ අක්කා කතා කළා ය.

“නංගිට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා නම් අම්මට තාත්තට තිබුණු ආදරේ අඩුවක් තියෙන්න ඕනනේ. එහෙම දෙයක් අපට දැනිලා නැහැ. මේක ඊයේ පෙරේදා පටන් ගන්න ඇත්තේ. නංගි නැති වුණාට පස්සේ මම එයාගේ ‍පොත් බලද්දී එක ‍පොතක “සංකල්ප’ කියලා ලියලා තිබුණා. ගෙදරටම තියෙන තාත්තාගේ ෆෝන් එකේ “එස්’ කියලා අංකෙකුත් සේව් කරලා තිබුණා. අපි මේ දේවල් හොයා ගත්තේ නංගි නැති වුණාට පස්සේ.”

නිමේෂාගේත්, සංකල්පගේත් ආදර කතාව එතැකින් නිමා වන්නට තිබුණත් නිමේෂාගේ සමු ගැන්මෙන් දින දෙකකට පසුව සඳුදා සවස ලැබුණු ආරංචිය මේ කතාව දිග්ගැස්සුවේය.

“කෝච්චියට හැපිලා මැරුණු ළමයා එක්ක යාළුවෙලා හිටපු පිරිමි ළමයා ළිඳක මැරිලා ඉන්නවා” කතාව පැතිරුණේ එහෙමය. සංකල්ප හමු වී තිබුණේ ඔහුගේ කොබෙයිතුඩුව නිවසට යන පාරේ නාන ළිඳකිනි.

“සෙනසුරාදා උදේ 7.45 ට විතර පුතා ගෙදරින් පිටත් වුණේ යාළුවෙක් හම්බවෙලා නමේ බස් එකේ ගෙදර එනවා කියලා. හැමදාම කියන වෙලාවට ගෙදර එන නිසා මම මුකුත් කිව්වේ නැහැ. හැබැයි එදා වෙනදාට වඩා හැඩට ඇඳපැලඳගෙන හිටපු නිසා මම ඇහුවා ‘යාළුවෙක් හම්බ වෙන්න ඔච්චර හොඳට ඇඳගෙන යන්නේ මොකටද කියලා. ඒකටත් හිනාවෙල ගියා. පුතා කියපු වෙලාවට ගෙදර ආවේ නැති නිසා මම කෝල් කළා. ෆෝන් එක වැඩ කරේ නැහැ. පස්සේ දවල් වෙද්දී තමයි අපි දැන ගත්තේ වෙච්ච දේවල්. පුතා ගැහැනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැති නිසා මම මුලින් විශ්වාස කළෙත් නැහැ. පස්සේ එක එක්කෙනා කෝල් කරද්දී තමයි හරියටම දැන ගත්තේ අපේ පුතා කියලා. එදා දවසෙම ගෙදර ආවේ නැහැ. අපි හිතුවේ වෙච්ච දේට හිතේ අමාරුවට යාළුවකුගේ ගෙදර ගිහින් ඇති කියලා.”

“එහෙම කියලා නිකං හිටියෙත් නැහැ. දන්න දන්න හැම තැනම හෙව්වා. මීටියාගොඩ ‍පොලිසියටත් ගියා. මුලින් ‍පොලිසියෙන් පැමිණිල්ල ලියා ගත්තෙත් නැහැ. ‘හිතේ අමාරුවට බිලා කොහෝ හරි යන්න ඇති. හොයලා බලන්න” කියලා ‍පොලිසියෙන් කිව්වා. අපි පුළුවන් තරම් හෙව්වා. අන්තිමේදී බැරිම තැන කේන්දරේ බලන්නත් ගියා. මම නම් ඒවා විශ්වාස කරන්නෑ. කේන්දරේ බලලා කිව්වේ පුතාට අපලයි කියලා විතරයි. ඉරිදා දවසෙමත් හෙව්වා. පුතා අහංගම හෝටල් පුහුණුවකට යන්න පටන්ගෙන තිබුණේ සතියක විතර ඉඳලා. ඒ පන්ති ඉවර වෙන වෙලාවට අහංගමවත් ගිහින් බලන්න ඕන කියලා හිතුණ අපි සඳුදා අහංගමත් ගියා ආරංචියක් හම්බ වුණේ නැහැ.”

“අහංගම ගිහිල්ලා හවස ගෙදර එද්දී ඔය ගෑනු ළමයාගේ නෑදෑ පිරිමි ළමයි තුන් දෙනෙක් මට බයිසික‍ලේක එනවා ඉස්සරහට හම්බ වුණා. ඒ කට්ටිය මගේ දිහා බලලා අමුතු විදියට හිනා වුණා. මම ගෙදර ගිහින් ආයෙත් පන්සලට යන්න ආවා. එතකොටත් ඒ තුන්දෙනා හම්බ වුණා. ඒ වෙලාවෙත් මගේ දිහා බල බලා හිනා වෙවී ගියා.”

සංකල්ප සොයා නොගිය තැනක් නැතැයි කියැවුණු මුත් අවසන සංකල්ප ගැන අවසන් ආරංචිය ලැබෙන්නේ නිවස අසලින්මය. “පුංචි ළමයෙක් ඔය ළිඳ ළඟින් යද්දී කබරු දෙන්නෙක් දැකලා ළිඳට එබිලා බලද්දී තමයි සංකල්පව දැකලා තියෙන්නේ.” ගම්මු එසේ කියන්නේ සඳුදා හවස්වරුවේ කරුවල වැටෙද්දී ලැබුණු ආරංචිය ගැනයි.

“පුතාව හම්බ වෙද්දී ඇඳගෙන හිටියේ සෙනසුරාදා උදේ ඇඳපු ඇඳුමමයි, ඔරලෝසුව සාක්කුවේ තිබුණේ. සෙරෙප්පු දෙක ගලවලා පැත්තක තිබුණා. පුතා දිවි නහගත්තා කියලා තමයි ‍පොලිසියෙන් කියන්නේ. හැබැයි මට හිතට තියෙන සැකේ ඇයි මේ දරුවා අම්බලන්ගොඩ ඉඳලා ගෙදර ළඟටම ඇවිත් දිවි නහ ගත්තේ. පුතෙක් වුණාට තද හිතක් තිබුණු දරුවෙක් නම් නමෛයි. ඒත් පුතා මේ වගේ දෙයක් කර ගනීවි කියලා මට හිතාගන්න බැහැ.” සංකල්පගේ අම්මා කියන්නීය. ඈට පුතුගේ වියෝව දරා ගත නොහීය.

සංකල්පගේ ඉරණම ගැන ගම්මුද නොයෙක් කතා කියති. සංකල්ප හමු වූ ළිඳ ගැඹුරින් අඩි හයකට අඩු මිස වැඩි නැත. ගම්මු කියනා ලෙසට සංකල්පද උසින් අඩි පහකට වැඩිය. සංකල්ප සියදිවි නසා ගත්තායි නොපිළිගන්නේ සංකල්පගේ අම්මා ම පමණක් නොවේ. ගම්මුද ඒ බවත් පිළිගන්නේ නැත. සංකල්පගේ මරණය ගැන තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ද ඒ නිසයි.

සංකල්පත් නිමේෂාත් සැක සංකා, කටකතා බොහෝ ඉතිරි කර සමුගෙන ගොස්ය. සැබෑවටම සිදු වූ දේ දන්නේ ද ඔවුන්මය. සංකල්පත් නිමේෂාත් ඉතිරි කර ගියේ සැක සංකා, කටකතා පමණක්ම නොවේ. ප්‍රේමයෙන් හට ගන්නා විරහව දරා ගන්නට බැරි තැන ඇති එකම විසඳුම ජීවිතයට සමු දීම නොවේ යැයි යළි යළිත් සිහි කරවන්නේ දුක් ගැහැට විඳිමින් සංකල්පගේත්, නිමේෂාගේත් දිවි සැපවත් කරන්නට වෙහෙසුණු “දුප්පත් මව්පියන්”ගේ දුක් කඳුළුය. පෙම් සබඳතාවකට ප්‍රතිචාර දක්වද්දී එදත්, අදත් වරද්දවා ගන්නා වැඩිහිටියන්ටද සංකල්පත්, නිමේෂාත්, සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේය. “තරවටුව“ යොවුන් ප්‍රේමය දණ ගස්වන්නට තරම් වන්නේ නැත. හිතුවක්කාර යොවුන් ප්‍රේමය වටහා දිය යුත්තේ ආදරයෙනි. යාළුකමිනි. නිමේෂාගේ අයියා සැබෑවටම ඔවුන්ට කළ තරවටුව කෙතරම්දැයි, එය ඔවුන්ගේ යොවුන් සිත්වලට කෙසේ දැනුණාදැයි අපි නොදනිමු. එහෙත් අයියා ඉවසිලිවන්ත වූවා නම් ප්‍රේම අන්දරයක් ඛිෙදාන්තයක් නොවන්නට ඉඩ තිබුණා නොවේද?

මුලාශ්‍ර – රිවිර නෙලූෂා සිල්වා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button