පළකල දිනය : Wed, Aug 3rd, 2016

දුශ්යන්ත් වීරමන්ගේ හෙළි නොකළ ආදර කතාව

Hidden gossip story about Dushyanth Weeramanදුශ්යන්ත් ටත් ඇතිනේ හෙළි නොකළ ආදර කතාවක්.” ඒ කතාව දැනගන්න දුශ්‍යන්ත්ගේ රසික හිතවතුන් කැමති ඇති….

එතකොට මට වයස අවුරුදු 13ක් 14ක් විතර ඇති. ඉගෙන ගත්තේ රාජකීය විදුහ‍ලේ පුංචි කා‍ලේ ස්කූල් වෑන් එකේ ගියාට ටිකක් ලොකු වුණාට පස්සේ මම බස් එකේ යන්න පුරුදු වුනා. එතකොට මට ශිරාෂ් කියලයි අසුන් කියලයි යාළුවෝ දෙන්නෙක් හිටිය. අපිට ඒ දවස්වල බස් හෝල්ට් මාරු කර කර බස් එකට නගින පුරුද්දක් තිබුණා. ඔය විදියට යද්දී එක්තරා බස් නැවතුමකදී තමයි මම මුලින්ම ඇයව දැක්කේ. ඇගේ පාසල තිබුණේ ඒ බස් නැවතුම අසල. පාසල ඇරිලා එයාගේ ස්කූල් වෑන් එක එනකල් එයා ඉන්නේ බස් නැවතුම ළඟ. මට ඇය ගැන ආදරයක් ඇති වුණේ හා හා පුරා ඇයව දැකපු වෙලාවේ.

ඇයි ඒ?

මම හිතන්නේ ඒ වෙද්දී ඒ ළමයට මගෙ වයස ඇති. එහෙම නැත්නම් මට වඩා අවුරුද්දක් විතර බාල ඇති. එයාට හරිම සුන්දර පෙනුමක් තියෙනවා. ගොඩක් සුදුයි. එයා “බොබ් කට්” එකට කොණ්ඩේ කපල තිබුණේ ඒ හින්දා බලනකොට කොණ්ඩේ අතරින් තමයි බලන්නේ ඒ බැල්ම හරිම ආකර්ෂණීයයි. ඇත්තම කියනවා නම් ඒ ළමයගෙ මූණ තරම් ලස්සන මූණක් තියෙන නිළියක්වත් මම දැකල නැහැ.

ඊට පස්සේ?

මම යාළුවෝ දෙන්නත් එක්ක හැමදාම ඒ බස් හෝල්ට් එකට ගියා. ඒ ළමයා එක්ක තවත් ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා. අපි යාළුවෝ තුන්දෙනා ඒ ළමයින්ට ඇහෙන්නෙම අපිටම විහිළු කරගන්නවා. ඒ විහිළුවලට එයාලත් හිනාවෙනවා. ගෙදර ආවම මම කණ්ණාඩිය ළඟට ගිහින් එයාට කථා කරන හැටි පුරුදු වෙනවා. ඒත් කවමදාවත් එයාට කතා කරන්න ශක්තියක් මට තිබුණෙ නැහැ.

ඒ ආදරයට මොකද වුණේ?

එක දවසක් පුරුදු විදියට අපි ඉස්කෝලෙ ඇරිලා බස් හෝල්ට් එකට ගියා. එදා ශිරාස් හිටියේ නැති හින්දා මම අසුන් එක්ක ගියේ. අපි හෝල්ට් එකේ විහිළු කර කර හිටියා. ඔය වෙලාවේ අපේ විහිළු දුර දිග ගිහින් අසුන් දුවල යද්දී අසුන්ගේ ඔළුව බස් හෝල්ට් එකේ වැදුනා. බස් හෝල්ට් එකේ හැමෝම හිනාවුණා. අර ගෑනු ළමයි ටිකත් හිනාවුණා. ඒ ඇතිවුණ ලැජ්ජාවට අසුන් ආයෙම ඒ හෝල්ට් එකට යන්න බැහැ කිව්වා. ශිරාසුත් යන්න කැමති වුණෙ නැහැ. තනියම එතැනට යන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණෙ නැහැ. මමත් නතර වුණා. ඊළඟ අවුරුද්දේ අසුන් පවුල් පිටින් ලංකාව අතෑරලා ගියා. ශිරාස්ගෙයි මගෙයි ක්ලාස් මාරු වුණා. මට වෙන යාළුවෝ ටිකක් එකතු වුණා. මම ඒ අයත් එක්ක ආයෙම අර හෝල්ට් එකට ගියා. හැබැයි අර ගෑනු ළමයා හිටියේ නැහැ. ඊට පස්සේ කවමදාවත් මම එයාව දැක්කෙ නැහැ. අදටත් මම එයාගෙ නමවත් දන්නෙ නැහැ.

කොටින්ම කියනවනම් එයා කොහේ ගියාද? එයාට මොනව වුණාද කියලා අදටත් මම දන්නෙ නැහැ.

ආරියවංශ කුලතිලක
මුලාශ්‍ර – ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button