පළකල දිනය : Sun, Aug 7th, 2016

රටම කතාකරපු කුසල් ගැන නොදන්න කතාව මෙන්න

Gossip Story about Kusal Mendisලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමටම තමාගේ තරම මැනැවින් විදහා පෑ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මෙතෙක් සෙවූ නියම ‘තුරුම්පුව’ක් බව පෙන්වූයේ පල්ලෙකැලේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිල ඓතිහාසික ජයග්‍රහණයක් කරා රැගෙන යමිනි. මොරටුව වෙල්ස් කුමර විදුහලෙන් ජාතික කණ්ඩායමට එක්වූ 21 හැවිරිදි මේ හුරුබුහුටි යෞවනයාගේ වතගොත සොයා පාණදුර, ගොරකානේ, පිහිටි ඔහුගේ නි‍ෙවසට පසුගිය දිනෙක අප ගොඩ වූයෙමු. ඒ යන විට පාරේ පාපැදියක් පැද පැද සිටි පුංචි කොලු ගැටයකුගෙන් අප පාර විමසූ විට කොලු පැටියා අපව ගෙදරටම රැගෙන ගියේය. ඒ අන් කවරකුවත් නොව කුසල්ගේ පුංචි මල්ලියාය.

අපව සාදරයෙන් පිළිගත් කුසල්ගේ පියා, මව ඇතුළු පිරිස ඔහු ගැන කතා කරන්නට වූයේ උතුරා යන සතුටකින් යුතුවය. කුසල් මෙන්ඩිස් නමැති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය දිග්විජය කරන්නට සැරැසෙන ක්‍රීඩකයා ගොඩනඟන්නට අපමණ කැපකිරීම් කළ ඔහුගේ පියා වන දිනේෂ් මෙන්ඩිස් මහතා මෙසේ අපට අදහස් දක්වන්නට එක්විය.

“ඇත්තෙන්ම පුතා ගැන කියන්න වචන නැති තරම් සතුටක් අපට තියෙන්නෙ. එදා සීය ගහපු දවසේ අපි ක්‍රීඩාගාරයේ සිටියා. ලකුණු 95 දී මම හිතුවේ එකේ ඒවා පහක් ගහයි කියලා. ඒත් එක්වරම 101ක් වුණ වෙලාවේ මට අදහාගන්න බැරි සතුටක් ආවේ” යැයි ඔහු පවසන්නේ ඒ සතුට දැනුදු මුවඟ රඳවාගෙනය.

මෙරට බිහි කළ සුපිරි පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා ද 1985 වසරේදී පාකිස්තානයේ ෆයිසලබාද්හිදී තම ප්‍රථම ටෙස්ට් ශතකය ලබාගත්තේ ඉම්රාන් ඛාන්ගේ පන්දුවකට හුක් පහරකින් සංග්‍රහ කොට ලකුණු හයක් ලබා ගනිමිනි‍‍. ඒ ගැනත් සිහිපත් කරමින් අප දිනේෂ් සමඟ කුසල්ගේ ක්‍රිකට් ආරම්භය ගැන කතා කරන්නට විය.

“මම ක්‍රිකට්වලට පුදුම ආසයි. අවුරුදු 17න් පහළ දක්වා මමත් වේල්ස් කුමාර විදුහලේ ක්‍රීඩා කළා. කුසල්ව මම අවුරුදු 3 ඉඳන් ග්‍රවුන්ඩ් එකට අරන් ගිහින් පුහුණු කළා. ඊට පස්සේ අවුරුදු 7 දී විතර මොරටුව ස්ටේඩියම් එකේ අපෝන්සු සර් ගාවට රැගෙන ගියා.

එතෙන්දි කුසල් පෙන්නපු දක්ෂතා නිසා අවුරුදු 9 දී රත්තනපිටියේ ෆින්ගාරා ඇකඩමියට අවුරුදු 5ක ශිෂ්‍යත්වයක් ලැබුණා. එතන තමයි මම හිතන්නෙ කුසල්ගේ ක්‍රිකට් දිවියේ මුල් කාලයේ හැරවුම් ලක්ෂ්‍යය. එහේදී හේමන්ත දේවප්‍රිය, නවිඩ් නවාස්, උපුල් චන්දන වගේ ඉතා හොඳ පුහුණුකරුවන්ගේ ගුරුහරුකම් කුසල්ට ලැබුණා. හේමන්ත දේවප්‍රිය මහත්මයා සෑහෙන කැපවීමක් කුසල් වෙනුවෙන් කළා.

ඒ වගේම මගේ මල්ලි දිල්රුක් මෙන්ඩිස්, ඔහුත් ඒ කාලයේ ෆින්ගාරා එකේ ක්‍රිකට් පුහුණුකරුවෙක්. වර්තමානයේ සනත් ජයසූරිය ඇකඩමියේ පුහුණුකරුවෙක් ලෙස ඔහු කටයුතු කරනවා. මල්ලි තමයි අදටත් කුසල්ගේ අඩුපාඩු පෙන්වලා, ‘පුතා මෙහෙම කරන්න, බැට් එක මෙහෙම අල්ලන්න, මේ විදිහට පාද ගේන්න’ වගේ උපදෙස් හැම වෙලේම දෙන්නෙ. අවුරුදු 8 දී වගේ කුඩා කාලයේදීම වේල්ස් කුමර 13න් පහළ කණ්ඩායමට එකතු වෙන්නට හැකිවුණා ඔහුගේ තිබුණ ඉහළ දක්ෂතා නිසා. එතෙන්දි සුරංග විජේනායක සර් සහ සුමිත් සර් කුසල් වෙනුවෙන් ලොකු දෙයක් කළා.”

අප ඊළඟට විමසුවේ පුතාගේ පාසල් කාලයේ මතක හිටින ඉනිමක් ගැනයි.

“අවුරුදු 10දී මහරගම ජනාධිපති විදුහලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 103 කවදාවත් මට අමතක වෙන්නේ නෑ. ඉනිමට 4 ඒවා 16 යි 6 ඒවා 1 යි. එය තමයි ඔහුගේ මුල්ම ශතකය. මට අද වගේ මතකයි” කියන ඔහු ආරම්භයෙන් පසු කුසල් ක්‍රමයෙන් ඉදිරියට ආ අයුරු ද පැවැසීය. “ඉන් පස්සේ අවුරුදු 13 දී අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායමට තේරුණා. සාමාන්‍යයෙන් අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායමට අවුරුදු 2ක් විතර බාල අය ගන්නේ නෑ.

ඒක කුසල්ගේ දක්ෂතාවට ඒ කාලෙදි ලැබුණු නියම ඇගැයීමක්. ඒ මැලේසියන් ටුවර් එකේදී කුසල් ගියේ අතිරේක කඩුලු රකින්නා ලෙසින්. නමුත් ගියපු කඩුලු රකින්නා මුල් තරග දෙකේ ෆේල් වුණ නිසා ඉතිරි තරග ක්‍රීඩා කළේ කුසල්. එහිදී 50, 60 වගේ ලකුණු ගහලා අවසන් තරගයේ ලකුණු 96ක් ලබා තරගාවලියේ වීරයත් 17න් පහළ ජාතික පිලේ උපනායකයා වුණා.

19න් පහළ නායකයා ලෙස ද ලෝක වාර්තාවකුත් තිබ්බා. ඒ එක තරග වාරයකදී නායකයා ලෙස තරගාවලි 5ක් නියෝජනය. ඒ තමයි ඔස්ට්‍රේලියා, ඉන්දියා, බංග්ලාදේශ, ඒෂියන් කප්, වර්ල්ඩ් කප්. ඊට පෙර ඒ වාර්තාව තියලා තිබුණේ සුපිරි ක්‍රීඩක ජැක් කලිස් තරගාවලි හතරක් නියෝජනය කරමින්.

එසේ නිහඬව සාර්ථක ගමනක පැමිණි කුසල්ගේ අවසන් පිම්ම වූ ජාතික කණ්ඩායමට ප්‍රවිෂ්ට වීම ගැන දිනේෂ් පවසන්නේ මෙලෙසිනි. “කුසල් ආ ගමන අනුව ඒ කාලෙදිම මම හිතුවා අවුරුදු 23 දී වගේ ජාතික පිලට ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. ඒත් මෙතරම් ඉක්මනට ලැබුණු අවස්ථාව ගැන ඉතින් කියා නිම කරන්න බැරි සතුටක් තමයි තියෙන්නෙ” යැයි පවසන දිනේෂ් ලැබුණු අවස්ථාවට ඉටුකළ සාධාරණය ගැන ද නිහතමානී ආඩම්බරයක් තිබෙන බව කීය.

එම නිහතමානී ආඩම්බරයට තවත් හේතුවකි ඔහු කළ කැපකිරීම්. “මම වඩු කර්මාන්තේ නියැළෙන්නේ. ඉතින් කුසල් පාසල් ක්‍රීඩා කරන කාලේ මම වැඩ කරන්නෙ වරුවයි. ඉතුරු වරුම එයත් අරන් ග්‍රවුන්ඩ් එකට ගිහින් බෝල දානවා, ඔහු බැට් කරනවා. මට තියෙනවා පොඩි යතුරුපැදියක්. ඒකෙන් තමයි පුහුණුවීම්වලට එක්කන් යන්නේ, අරන් එන්නේ. ඉතින් සමහරදාට හොඳටම තෙමිලා ගෙදර එන්නේ.”

ඒ කැපකිරීම්වල ප්‍රතිඵල වර්තමානයේ භුක්ති විඳින දිනේෂ්ගෙන් මිදී කුසල්ගේ මව වන ශිවන්ති කුමාරි මහත්මිය දෙසට හැරෙන ගමන් අප ඇයගෙන් “කොහොමද පුතා අද ඉන්න තැන ගැන සතුටුදැයි” මුලින් විමසීය.

“ඇත්තටම මට අද වගේ මතකයි, පුතා ඉපදිච්ච දවසේ ඉස්පිරිතාලෙදි මගේ අම්මගේ අතට මම පුතා දුන්නේ, ‘අම්මේ අනාගතයේ හොඳ ක්‍රිකටර් කෙනෙක් මේ’ කියලා. මොකද මම දැනගෙන හිටියා මගේ මහත්තයට ලොකු ආසාවක් තිබුණා පුතා ක්‍රිකටර් කෙනෙක් කරන්න. පුතයි, තාත්තයි කළ කැපකිරීම්වල ප්‍රතිඵල තමයි අද අප පවුලක් වශයෙන් එකට භුක්ති විඳින්නෙ. පුතා පොඩි කාලේ ඉඳන් බෝල බැට්වලට හරිම ආසයි. චූටි කාලේ කොණ්ඩෙ කපන්න ගියාම අඬන එකමයි වැඩේ. හැබැයි ටෙනිස් බෝලයක් ගෙනත් දුන්න ගමන් ඇඬිල්ල කොහෙන් යනවද දන්නෙ නෑ. පුතා ලකුණු සීය ගහපු වෙලාවේ මට ඇ‍ඬෙන්න තරම් සතුටක් ආවා.”

කුසල් අධ්‍යාපනයට දැක්වූ උනන්දුව ගැනත් ඇයගෙන් විමසුවෙමු.

“එය‍ාගේ අධ්‍යාපනය පැත්ත වෙනුවෙන් පාසලට යෑම් ඒම් සියල්ල කළේ මම. ටීචර්ලගෙන් සර්ලගෙන් නොසෑහෙන්න මම බැණුම් අහලා ඇති. ටීචර්ලා ඉතින් ඉස්කෝලෙට ගියාම කියනවා, ‘මෙයා පන්තියෙ නෑ, විභාගවලට නෑ, ඉන්නෙ ග්‍රවුන්ඩ් එකේමයි’. ඉතින් දොස් ගොඩයි.

ඒවා කියන්නේ පුතාගේ හොඳට බව අපි දැනන් සිටියා. සාමාන්‍ය පෙළ තිබුණේ දෙසැම්බර් 12 වැනිදා දවසක. දෙසැම්බර් 10, 11 දෙදින තරගයකට ක්‍රීඩා කරලා ලකුණු 100කුත් ගහලා ආවේ. (මවට බාධා කරමින් එසේ කියන්නෙ ‍දිනේෂ්ය) සාමාන්‍යයෙන් කුසල්ට හැමදාම ගණන්වලට ලකුණු 18යි 20යි වගේ ලැබෙන්නෙ. සාමාන්‍ය පෙළට මාස දෙකක් තියෙද්දී විෂය නිර්දේශ කොහොමහරි කවර් කළා. එතෙන්දි පුතාගේ පන්තියේ යාළුවො සෑහෙන්න උදවු කළා. අන්තිමේදී ගණන්වලට ‘බී’ එකක් සමඟ සාමාන්‍ය පෙළ හොඳට පාස්වුණා.”

නිවසේ ගෘහිණියක් ලෙසින් කටයුතු කරන ඇය පුත්‍රයාගේ රසගුණ ගැන ද හොඳින් දනී. “පුතා ආසම ගෙදරින් කෑම කන්න තමයි. ඒකත් කරවල තෙල් දාලා, පොල් සම්බල් සමඟ බත් කන්න හරි ආසයි. කන්කුන් තෙල් දාල කන්නත් සෑහෙන ප්‍රියයි.” කිසිම විටෙක කඩා පනින චරිතයක් නොවන බව කියන ඇය, “කුසල් හොඳට කියන දේ අහන ළමයෙක්. ඒ වගේම තමයි කාටවත් බණිනවට කැමැති නෑ. අපි මැච් බලල ඇවිල්ලා කරන සමහර විවේචනවලදී අපට කියනවා, ‘අම්මේ හැමෝම එක වගේ නෑනේ.

ඒ අයත් තවම ඉගෙන ගන්නවනේ’ කියලා ඒවට හරස් කපනවා. ඒ වගේම තව කෙනෙක් කපාගෙන ඉදිරියට යන්න ඔහු කිසි විටෙක කැමැති නෑ. අවුරුදු 11 දී පුතාගේ දක්ෂතා නිසා ආනන්දෙට යන්න අවස්ථාව ලැබුණා. අපිත් ඉතින් සියල්ල සූදානම් කළා. ඒත් එයා කැමැති වුණේ නෑ ඒ අවස්ථාවට. එතකොට එයා විකට් කීපර් වශයෙන් කණ්ඩායමට ක්‍රීඩා කළේ.

එයාගේ යාළුවෙක් තමයි ආනන්දෙත් විකට් කීපර්. ‘අම්මේ මම ගියොත් ඔහුට ඒ ස්ථානය අහිමි වෙනවානේ. අම්ම කැමැති ද මගේ තැන වෙන පාසලකින් කෙනෙක් ඇවිල්ලා ගන්නවට’ කියලා මගෙන් ඇහැව්වා. එවැනි සිදුවීමක් අවුරුදු 23න් පහළ ක්‍රීඩා සමාජ තරගවාරයකදීත් සිදුවුණා.

එතෙන්දිත් කැමැති වුණේ නෑ යාළුවෙක් කපාගෙන ක්‍රීඩා සමාජය මාරු කරන්න.” මෙතරම් යහළුවන් වෙනුවෙන් කැපකිරීම් කරන කුසල්ට ඉතාම හොඳ යහළු යෙහෙළියන් පිරිසක් ද සිටින වග පවසන මව-පියා, ඒ අතර විශේෂිත යෙහෙළියක් ද සිටින වග අපට කීය.

කොහොමද ගමෙන් ලැබෙන ප්‍රතිචාර ගැන විමසූ විට දිනේෂ් කීවේ, “අපේ ගම රාවතාවත්ත පළමු පටුමග. ගොරකානට ඇවිල්ලා තවම අවුරුදු එකහමාරයි. ගමේ අය කුසල් හරිම ආදරෙයි. අපිට ආරංචි වුණා කුසල් 50 ගහද්දි, 100 ගහද්දි, 150 ගහද්දි රතිඤ්ඤා වැල් පිටින් පිපිරුණු බව. ඉතින් අපිට හරිම සතුටක් තියෙන්නේ ඒ ප්‍රතිචාර ගැනත්.

කුසල්ගේ තනියට දිල්කි නංගිත්, ඔමේෂ් මල්ලිත් සිටින අතර මල්ලි, අයියා ජාතික කණ්ඩායමට තේරීම ගැන ඉහවහා ගිය සතුටකින් පෙළේ. ඒත් අයියා සමඟ අඩව් ඇල්ලීමට කුසල් ගෙදර නැතිවීම ගැනත් පුංචි දුකකින් පසුවන බවක් මල්ලිගේ කතාවලින් අපට හැ‍ඟේ. ඔමේෂ් ද වේල්ස් කුමර 13න් පහළ කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වග දිනේෂ් අපට කීවේය.

කුසල්ගේ නිවසින් නික්මීමට පෙර ‘ඔබ්සර්වර් බාටා ක්‍රීඩකයා’ ලෙස 2013 වසරේදී කුසල් මෙන්ඩිස් ලබාගත් යෝධ කුසලානය අපට පසෙකින් පෙනේ. එහි පහස ලැබූ ක්‍රීඩකයන් කී දෙනෙක් නම් ලොව නමගිය ක්‍රීඩකයන් වී ඇද්ද? මෑත කාලයේ ජාතික පිලට එක්වූ සමහර ක්‍රීඩකයන්ට අත්වූ ඉරණම්වලට ලක් නොවී රටත් දිනවා ඔබත් දිනා රටේ නමගිය ක්‍රීඩකයෙක් වීමට හැකියාව, ශක්තිය කුසල්ට ලැබේවා.

මුලාශ්‍ර – සිළුමිණ පුවත්පත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button