පළකල දිනය : Sun, Aug 21st, 2016

ඩිල්රුවන්ගේ ක්‍රිකට් දිවිය ගැන ඔහුගේ මව මාධ්යට කියන නොකි කතාව

Mother Speaks About Dilruwan Pereraඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ දක්ෂතා කැපී පෙනිණි. ඒ අතරින් ඩිල්රුවන් පෙරේරා ‘නිහඬ වීරයෙක්’ සේ තුන්ඉරියව් සුපිරි දස්කම් පාමින් දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා ද විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් ලැබු ක්‍රීඩකයා ද වෙමින් වාර්තාවක් තැබු ඩිල්රුවන් තම 11 වැනි ටෙස්ට් තරගයේදී එම දස්කම පෙන්වීමට සමත් විය. මීට පෙර අජන්ත මෙන්ඩිස් ටෙස්ට් තරග 12කදී එම වාර්තාව තබා තිබිණි.

පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පා තැබු ඩිල්රුවන්ගේ තතු විමසීමට අප ඔහුගේ මව සහ බිරිය හමුවීය. එහිදී ඩිල්රුවන්ගේ ක්‍රිකට් දිවිය ගැන ඔහුගේ මව වන ඉන්දිරා ප්‍රනාන්දු මහත්මිය අපට අදහස් ප්‍රකාශ කළේ සතුට සහ දුක ද මුසු වූ හැඟීමකින් යුතුවය.

“මට පුතාගේ දක්ෂතා ගැන හරි සතුටුයි. මම බලාගෙන සිටියේ පුතා කවදාහරි මේ තැනට එනකල්. මොකද මගේ මහත්තයගේ එකම සිහිනය වෙලා තිබුණේ පුතාව හොඳ ක්‍රිකටර් කෙනෙක් කිරීම. පුතා තාත්තගේ සිහිනය සැබෑ කළා. මට පුතාව ටීවී එකෙන් දකිනකොට දරාගන්න බැරි සතුටක් වගේම දුකක් ඇති වෙනවා. ම‍‍ගේ මහත්තයා අද සිටියනම් කොයිතරම් සතුටු වෙනවද පුතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා දැකලා” දිගු සුසුමක් හෙළමින් එසේ කියන ඉන්දිරා මහත්මිය ඩිල්රුවන්ගේ පියා වන සුනිල් පෙරේරා මහතා පුතා වෙනුවෙන් කළ කැපකිරීම් ද අපට ආවර්ජනය කළේ ඩිල්රුවන්ගේ පියාගේ අකල් වියෝවේ අවාසනාවන්ත සිදුවීම ද සිහිපත් කරමිනි. ‍‍‍‍‍‍‍‍

“පුතා ක්‍රිකටර් කෙනෙක් කරන්න ලොකුම වුවමනාව තිබුණේ මගේ මහත්තයට. එයා පුතාව අරන් පුහුණුවීම්වලට ගෙනියනවා. එක්කගෙන එනවා. වෙලාවකට ගමේ මිනිස්සු අහනවා ඩිල්රුවන්ගේ පුහුණුකරු තාත්තද කියලා. ඒ තරමටම එයාට ක්‍රිකට් පිස්සුවක් තිබුණේ. ඒත් ඩිල්රුවන්ගේ තාත්තා 1999 අගෝස්තු 8 වැනිදා අවාසනාවන්ත ලෙස අප අතහැර ගියා. ඒක සිදුවුණෙත්, පුතාලා ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කරලා එය සැමරීමට මොරටුවේ හෝටලයක තිබුණු පාටි එකකදී. එය අවාසනාවන්ත අකල් මරණයක්. ඒත් පුතාගේ දක්ෂතා දිහා ඩිල්රුවන්ගේ පියාණන් කොහේ හෝ සිට බලා හිඳිමින් පුතාට ආශිර්වාද කරන බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා” යැයි පවසන්නේ කඳුළු පිරුණු දෑසිනි.

යසංගා නමින් නැඟණියක් ද දිල්රුවන්ට සිටි. කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන ඩිල්රුවන්ගේ මව තම පුතු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ආ අයුරු ද අප සමඟ පැවසුවේ මෙසේය.

“පුතාව මුලින්ම අවුරුදු 9 දී වගේ ප්‍රේමදාස සිල්වා සර් (ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ පියා) ළඟට තමයි ක්‍රිකට් පුහුණුවට ගියේ. ඊට පස්සේ පාණදුර ශ්‍රී සුමංගල විදුහලේ අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට සියලුම වයස් කණ්ඩායම්වල ක්‍රීඩා කළා. නායකත්වය දැරුවා. පාසලේදී සිසිර හඳුන්නෙත්ති සර් පුතා වෙනුවෙන් ලොකු සේවයක් කළා. 2000 වසරේදී 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් තේරුණා. ඊට පස්සෙ මටත් තේරුණා පුතා ක්‍රිකට්වලින් ලොකු ගමනක් යයි කියලා. ඒ විතරක් නෙමෙයි ඩිල්රුවන් ක්‍රිකට්වලට අමතරව පාසල් සමයේදී බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ද ඉහළ දක්ෂතා පෙන්වමින් පාසල් ජයග්‍රහණ ද ලබා ගත්තා.”

ඩිල්රුවන් ක්‍රීඩාවට අමතරව අධ්‍යාපනය පැත්තෙන් ද දක්ෂයෙක් බව ඇය පවසන්නීය. “පුංචි කාලේ හරිම දක්ෂයි ඉගෙන ගන්න. ඒත් ලොකු වෙන කොට ක්‍රිකට් නිසාම අධ්‍යාපනයට තිබ්බ උනන්දු අඩු වුණා. ඒත් සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා” යැයි කියන ඉන්දිරා මහත්මිය ඩිල්රුවන් පුංචි සන්දියේ සිටම කිසිදු කරදරයක් නොමැති නිහඬ චරිතයක් බව ද මතක් කළේය. ඩිල්රුවන්ගේ පියාණන්ගේ වියෝවෙන් පසුව මෙතරම් ගමනක් ඒම සඳහා ඉන්දිරා මහත්මියට තම සහෝදරිය සහ ඇගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සැමගෙන් ලැබුණු සහාය ද අපට සිහිපත් කළේය.

අප ඉන්දිරා මහත්මියගෙන් මිදී දඟකාර කොලු පැටියෙක් ද තුරුලු කරන් සිටින ඩිල්රුවන්ගේ බිරිය රංගි ප්‍රසාදිගෙන් විමසුවේ ‘කොහොමද මහත්තයා ගැන සතුටු ද?’ කියාය.

“එයා ගැන මට ගොඩක් සතුටුයි. ඩිල්රුවන් එයාගේ හැකියාවන් ඉතා විශිෂ්ට ලෙස පෙන්නුවා. ඩිල්රුවන්ට ඕනැ වෙලා තිබුණේ කෙසේ හෝ ටෙස්ට් ටීම් එකට එන්න. ඒ ඉලක්කය ඩිල්රුවන් ජයගත්තා. ඒ වගේම තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා පෙන්නුවා” යැයි කියන ගමන් රංගි අපට තවත් රහසක් ද හෙළි කළාය.

“ඩිල්රුවන් 2013 කණ්ඩායමට ඇවිල්ලා සාජාවලදී පාකිස්ථානයට එරෙහිව ලකුණු 95ක් ගැහුවා. ඒක රෙකෝඩ් එකක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පළමු ටෙස්ට් තරගයේදී ලංකාවෙන් පිටතදී ගහපු වැඩිම ලකුණු ඒක. ඉතින් ඒ වාර්තාව තියෙන කොට මගේ මේ පුංචි පැටියා (ඇය පුංචි සුරතලා තදින් තුරුලු කර ගනී.) ලැබෙන්න හිටියේ. ඒ වගේම ඩිල්රුවන් අඩුම ටෙස්ට් තරග ප්‍රමාණයකින් ලබාගත් කඩුලු වාර්තාව තියනකොට මට තවත් බබෙක් ලැබෙන්න ඉන්නවා. මම විශ්වාස කරන්නෙ මේ වාර්තා දෙකම තියන්න ලැබුණේ අපේ පැටවුන්ගේ වාසනාව නිසා කියලා.”

අපට ඩිල්රුවන්ගේ වයස 2 1/2ක් පමණ වයසැති ඩිහෙන් පුංචි පැටියාගේ සුරතල් වැඩවලින් දෑස් අහකට ගැනීමට සිතෙන්නෙ නැත. එතරමටම ඔහු දඟකාර සුරතලෙකි. අප පුංචි පැටියගෙන් තාත්ති ගැන විමසූ විට, තාත්ති බෝල්, තාත්ති බැට්, ආදි වචන මුමුණමින් ඩිල්රුවන්ගේ ‘ඇක්ෂන්’ පුංචි පැටියා අපට පෙන්වයි.

“එයා දන්නවා තාත්ති ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා.” රංගි අපට කීවේය.

අපි නැවතත් රංගිගෙන් ඩිල්රුවන් නමැති ‘නිහඬ වීරයා’ හමුවූ අයුරු විමසුවෙමු.

“මගේ ගමත් පාණදුර ගොරකාන. 2006 වසරේ වගේ තමයි මට ඩිල්රුවන් හමු වුණේ. එතකොට මම පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මට ඩිල්රුවන් හමුවුණේ. අපි යාළුවෙලා ඉන්න කාලේ තමයි ඩිල්රුවන් මුලින්ම ජාතික කණ්ඩායමට තේරුණේ. ඒ 2007 අවුරුද්දේ. 2011 දි අපි විවාහ වුණා. මම ගොඩක් සතුටු වෙනවා ඩිල්රුවන් වගේ කෙනෙක් හමුවීම ගැන.”

අප ඇයගෙන් ඩිල්රුවන්ගේ ගතිගුණ ගැනත් විමසීය.

“එයා ගොඩක් නිහඬ චරිතයක්. වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි. ඒත් ආඩම්බරකාරයෙක්නම් නොවේ. එයාගේ අදහස් ප්‍රකාශ කරනවා හරිම අඩුයි. ටිකක් කේන්ති ගියාම හරිම භයානකයි. (ඇය සිනාසෙයි) ඒ වුණාට දිල්රුවන් හුඟක් තැන්වලදී ඉවසීම ප්‍රගුණ කරනවා. ගෙදර ඉන්න වෙලාවට මම එයාගෙන් වැඩ ගන්නෙ නෑ. මොකද එයා හුඟක් මහන්සි වෙලානේ ගෙදර එන්නෙ. ඒත් සමහර වෙලාවට ඇවිල්ලා මට උදවු කරනවා. කෑමවලදීනම් අනේ එයාගෙන් මට ලොකු කරදරයක් නැහැ. හැබැයි ඉතින් තෙල් කෑමනම් කන්න ආසම නෑ. මොකද එයාලට ආහාර රටාවකුත් තියෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. හුඟක් වෙලාවට ගමේ කෑමවලට තමයි ආස.”

අප නික්ම යෑමට ප්‍රථම අපේ කතානායකයා වන පුංචි පුතු සුරතල් කරමින් සිටින ඩිල්රුවන්ගෙන් අප විමසූවේ ‘වර්තමානයේ මොකද හිතෙන්නෙ’ කියාය.

“ඇත්තෙන්ම මට ගොඩක් සතුටුයි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායමකට එරෙහිව මගේ තුන්ඉරියව් දක්ෂතා පෙන්වන්න ලැබීම ගැන. ඒ වගේම ඉදිරියේදීත් මගේ තුන්ඉරියව් දක්ෂතා පෙන්වමින් කණ්ඩායමට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මට මගේ තාත්තගේ සිහිනය සැබෑ කරන්න හැකිවීම ගැනත් සතුටක් තියෙනවා. ඒ වගේම දුකයි මේ මොහොතේ ඔහු ජීවත්ව නොසිටීම ගැන” යැයි පවසන ගමන් අවසානයේ ප්‍රේමදාස සර්ගේ සිට සුනිල් සර් සහ මුතුමුදලිගේ පුෂ්පකුමාරගෙන් ලැබුණු ගුරුහරුකම් මතක් කරන ඩිල්රුවන් විශේෂයෙන් වර්තමානයේ දඟපන්දුවෙන් දක්ෂතා පෙන්වීමට පියල් විජේතුංගගෙන් ලැබෙන උපදෙස් ගැන අගය කොට කතා කළේය.

ශ්‍රී ලංකාව සහභාගිවූ 250 වැනි ටෙස්ට් තරගයේ වීරයා වෙමින් ඉදිරි ගමනක් යෑමට බලාපොරොත්තු වන ඩිල්රුවන් පෙරේරාගේ අනාගත ක්‍රිකට් දිවියට රසඳුන අප සුබ පතන්නෙමු.

අමිල මලවිසූරිය
මුලාශ්‍ර – silumina

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button