පළකල දිනය : Sat, Aug 27th, 2016

අපේ අලුත්ම වෑඩ්ඩා ධනංජය සිල්වාගේ ජිවිතයේ ශක්තිය උන අම්මා කියන කතාව

Dhananjaya de Silva mother speaksශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ටතම ජයග්‍රාහී සටහනක් තබමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව 3-0ක් ලෙස තරගාවලි ජයක් ලැබීමට මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හැකිවිණි. එම ඓතිහාසික තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් ධනංජය සිල්වා ලකුණු 325ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පිතිහරඹයෙන් තමාගේ තරම මැනැවින් ලොවට පෙන්වීය.

අන්තර්ජාතික තලයට කෝඩුකාරයකු වුවත් ඉතාම පරිණත ක්‍රීඩකයකුගේ සේයා පෙන්වූ ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කාලයක් තිස්සේ අඩුවක්ව පැවැති නොම්මර හත පිතිකරණ ස්ථානයට තමා නියම විශ්වාසවන්තයකු බව පෙන්වීය.

ධනංජය සිල්වාගේ ක්‍රිකට් ආගමනයේ තතු විමසීමට රත්මලාන දුම්රිය පොළට නුදුරු ශ්‍රී ඥානේන්ද්‍ර පාරේ රේල් පාරත් මහමුහුදත් අතරමැද ජනාකීර්ණ පෙදෙසේ පිහිටි ධනංජයගේ නිවස සොයා පසුගිය දිනෙක අප ගියෙමු. එහිදී ධනංජයගේ තොරතුරු පවසන්නට මුලින් ඉදිරිපත් වූයේ ඔහුගේ පියා වන දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකයකු වශයෙන් සේවයෙහි නියුතුව දැනට විශ්‍රාම සුව විඳින රංජන් සිල්වා මහතාය.

“අපි වගේ පවුල් පසුබිමක කෙනෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට තේරීම ගැන උපරීම සතුටක් තියෙන්නෙ. මොකද අපි මහ ලොකු සල්ලිකාර මිනිස්සු නෙවේ. ධනංජය මගේ දෙවැනි පුතා. එයා හරියට දුක් වින්දා ඔය තැනට එන්න. ජීවිතේ මුහුණ දීපු නොයෙක් ප්‍රශ්න නිසා පාසල් කිහිපයකටම යෑමටත් ධනංජයට සිදුවුණා. අපි පවුලක් ලෙස මුහුණදීපු ලොකුම ඛේදවාචකය තමයි සුනාමිය. සුනාමිය නිසා අපේ පවුල විසිරුණා. ඇත්තෙන්ම මම ධනංජයගේ තාත්තා වුවත් ඔහු වෙනුවෙන් ලොකුම කැපකිරීම් කළේ මගේ බිරිඳ. ඇයට තමයි මටත් වඩා මෙහි සතුට තියෙන්නෙ” ඔහු එසේ පැවසුවේ නිහතමානීවය. අනතුරුව රන්ජන් මහතා සතුටු සිනාවෙන් මුව සරසාගෙන සිටින ධනංජයගේ මව වන ශ්‍රියාලතා හෙට්ටිආරච්චි මහත්මියගේ අවධානයට අපව යොමු කළේය.

“අම්මෝ මට පුතා ගැන කියන්න වචන නෑ. (එසේ කියන ගමන් ඇය සතුට වැඩිකමට දෙඅත් ඔළුවට තබාගනී.) මම පුතා ඔය තැනට එනකල් කාලයක් තිස්සේ බලා සිටියා. පුතා පොඩි කාලේ ඉඳලා මගේ හිතේ තිබුණු බලාපොරොත්තුව තමයි අද පුතා ඉටුකරගෙන තියෙන්නෙ” ඇගේ දෙනෙත් සතුටු කඳුළෙන් පිරී තිබේ.

ධනංජය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ අයුරු සහ ක්‍රමයෙන් ඉදිරියට පැමිණි ගමන ද ශ්‍රියාලතා මහත්මිය අපට පැවසූවේ සැබැවින්ම මෙය ඔවුනගේ සිහින සැබෑ වීමක් ලෙසිනි.

“පුතා ක්‍රිකට්වලට යොමු වුණේ ඉබේටමයි‍. පුංචි කාලේ අපේ මේ ගේ ඉස්සරහ රේල් පාර අයිනේ අයියලා මල්ලිලා ගමේ යාළුවෝ ටෙනිස් බෝල ක්‍රිකට් ගහනවා. පුතා මුලින් පාසල් ගියේ ගල්කිස්සේ ධර්මෝදය විද්‍යාලයට. ඉන් පස්සේ පුතා හම්බන්තොටට ගියා අපේ ඥාතියකුගෙ ගෙදර ඉඳන් පාසල් යෑමට. එහිදී දෙබරවැව ජාතික පාසලට ඇතුළත් වුණා. එතන තමයි පුතාගේ පාසල් ක්‍රිකට් ආරම්භය. පස්සෙ නැවතත් පුතාව රත්මලානට ආවා. ඒ ඇවිල්ලා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලට ගියා. එහෙම ටික කාලයක් ඉඳලා නැවතත් දෙබරවැව පාසලට ගියා. ඔය අතර කාලෙදි සුනාමි ඛේදවාචකයත් ඇතිවුණා. සුනාමියට පස්සෙ අපිත් දෙබරවැවට ගියා පදිංචියට. ධනංජයගේ තාත්තා රස්සාව නිසා මෙහේ නතර වුණා. පස්සෙ 2009 අවුරුද්දෙදි වගේ නැවතත් රත්මලානට ආවා. ඒත් පුතා ආවේ නැහැ. අපේ මුල් ගම්බිම් රත්මලානේ වුවත් ධනංජයගේ ක්‍රිකට් දිවිය ආලෝකවත් වූයේ දෙබරවැව ජාතික පාසල නිසා බව පැහැදිලිය.”

“දෙබරවැව පාසලේ ක්‍රිකට් පුහුණුකරු නිල්කමල් සර් හමුවීම තමයි පුතාගේ ක්‍රිකට් ජීවිතේ තීරණාත්මක අවස්ථාව ලෙස මමනම් දකින්නෙ. එතුමා ධනංජය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළා. කාලයක් එතුමාගේ ගෙදර පුතාව නතර කරගෙනත් සිටියා. නිල්කමල් මහතා ධනංජයගේ දස්කම් සහ ඔහු ක්‍රිකට්වලින් කොතෙක් දුර ගමනක් යන්නේ ද වග මනාව වටහා ගත් කෙනෙක්” ශ්‍රියාලතා මහත්මිය පවසන්නීය.

“නිල්කමල් සර්ට මාරුවීමක් ලැබුණා ගාල්ල රිච්මන්ඩ් විදුහලට. ඒ මාරුවීමත් සමඟ සර් ධනංජයත් රිච්මන්ඩ් විදුහලට රැගෙන ගියා. රිච්මන්ඩ් විද්‍යාලයේදී පුතාගේ දක්ෂතා ඉදිරියට ආවා. ඔය අතරෙදි පුතාගේ දස්කම් ගැන දැනගත් කොළඹ මහානාම විදුහලෙනුත් ඇරියුමක් ලැබිලා පුතා ටික කළක් මහානාම විදුහලත් නියෝජනය කළා. පස්සෙ නැවතත් රිච්මන්ඩ් විදුහලට ගියා.” ඒ අනුව ධනංජයගේ පාසල් සමයේ ක්‍රිකට් දස්කම් විස්කම් කෙතරම් ද යන වග ඔහුට පාසල්වලින් තිබූ ඉල්ලුම අනුව පෙනී යයි.

ධනංජය පුතුගේ ක්‍රිකට් දිවියේ සාර්ථක ගමනට ශ්‍රියාලතා මහත්මිය කළ කැපකිරීම් ගැන ද අපට කීවාය.

“පාසල් සමයේ පුතාගේ ක්‍රිකට් තරගයක් කොතැන තිබුණත් මමයි මහත්තයයි යනවා මැච් එක බලන්න. මාතර, ගාල්ල ඕනම තැනක යනවා රත්මලානේ ඉඳලා. හැබැයි අපි යන්නෙනම් නිකන් නොවේ. බත් පාර්සල් බැඳගෙන, රසකැවිලි හදාගෙන, කේක් ආදි නොයෙක් කෑම ජාති මුළු ටීම් එකටම අරගෙනයි අපි දෙන්න යන්නෙ. ඒ ගමන්වල සතුට තවමත් අපිට මතක් වෙනවා. ඒ වගේමයි පුතා ක්‍රිකට් පටන්ගත්තු කාලෙ ඉඳලා මට පුදුම ආශාවක් තියෙන්නෙ පුතා ගැන පත්තරවල, සඟරාවල යන ලිපි කපලා එකතු කරන්න.” එසේ කියන ගමන් ඇය අපට ධනංජයගේ පාසල් සමයේ සිට වර්තමානය දක්වාම එකතු කර තිබෙන ‘පේපර් කටින්’ විශාල ප්‍රමාණයක් පෙන්වීය.

මේ අම්මා පුතුගේ ක්‍රිකට් සෙල්ලම හා කෙතරම් බද්ධ වී ඇද්ද යන්න පුතු පාසල් සමයේ සිට වර්තමානය දක්වාම ක්‍රීඩා කළ බැට්, බෝල, හැඳ පැලඳි ටී ෂර්ට්, කලිසම් සියල්ල එකතු කර සුරක්ෂිතව තබා තිබීමෙන් අපට හැඟී යයි. එසේම පාසල් සමයේදී පාවිච්චි කළ පිතිවල ඒ ඒ පිත්තෙන් එක් එක් පාසල්වලට එරෙහිව පුතු ලබාගත් ලකුණු අදාළ දින ද සමඟ පිත්තෙහි ලියා තිබේ. අම්මා කෙනෙක් පුතුගේ ක්‍රීඩාවට දැක්වූ කැපකිරීම් මොනතරම් ද යන්න මෙවැනි දෑවලින් මනාප පිළිබිඹු වේ.

එසේම මෙදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ධනංජය ශතකය ලබාගත් මොහොතේ චන්දිමාල් බදාගෙන කඳුළු සලන පින්තූරයක් ද ඇතුළු එම තරගයේ විවිධ අවස්ථා ඇතුළත් විශාල ප්‍රමාණයේ ඡායාරූප රැසක්ම ඇය රාමුකර සුරක්ෂිතව තබා තිබෙනු අපට පෙන්වීය.

“ලබන 6 වැනිදා ධනංජයගේ උපන් දිනේ. එදාට මම දෙන තෑගි තමයි මේවා. අපි නැතිදාක එයාලට මේවා වටින දේවල්” ශ්‍රියාලතා මහත්මිය අපට පවසන්නේ පුතුගේ සතුට තමාගේද සතුට බව ප්‍රකාශ කරමිනි.

ඊළඟට අප විමසුවේ ධනංජයගේ ගතිගුණ කෙසේ ද කියායි.

“හරිම නිශ්ශබ්ද චරිතයක්. හුඟාක් වෙලාවට තනිවම පැත්තකට වෙලා ඉන්න තමයි වැඩිපුර කැමැති. අපි එක්ක වුණත් එහෙමයි. මොනවාහරි ඇහුවොත් විතරයි උත්තර දෙන්නෙ.” යැයි පවසන ගමන් රහගුණ ගැනත් ඇය පවසන්නේ, “කෑමනම් ටිකක් තෝරනවා, සැරට, දැවිල්ලට තමයි වැඩිපුර ආස.”

ධනංජයගේ වැඩිමහල් සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ද පාසල් සමයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුවත් ඔහු මේ වන විට යතුරුපැදි ධාවකයෙකි. නිවුන් සොහොයුරා වන, මල්ලි ජනංග සිල්වාත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගොස් වර්තමානයේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.

ගමෙන් ලැබෙන ප්‍රතිචාර ගැන විමසූ විට පිළිතුරු දුන්නේ ධනංජයගේ පියා රන්ජන් මහතාය. “එදා පුතා ශතකය ගහපු වෙලාවේ අපි ඉන්න මේ ජනාකීර්ණ ප්‍රදේශයේ සියලු දෙනා රතිඤ්ඤා පුපුරවමින් තමයි ප්‍රීතිය පළ කළේ.” ඒ ගැන අපට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

අපේ කතාබහ අවසන් කරන්නට එකතු වුණේ කතානායකයා වන ධනංජයයි.

“මගේ පළමු තරගාවලියේදීම වාර්තාගත ජයග්‍රහණයක් ලබාගන්න හැකිවීම ගැන හරිම සතුටුයි. ඒ වගේම මගේ දක්ෂතා පෙන්වමින් ශතකයක්ද වාර්තා කරමින් කණ්ඩායමට උපරීම ශක්තිය ලබාදීමට හැකිවීම ගැනත් මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අම්මා මගේ මේ ගමනට ලොකු කැපකිරීමක් කළා. තාත්තා දෙන සල්ලිවලින් අම්මා අපේ සියලු අවශ්‍යතා ඉතාම හොඳින් ඉටුකළා. මට ක්‍රිකට්වලින් මෙවැනි ගමනක් ඒම සඳහා ලලිත් ඇතුලත්මුදලි විදුහලේ රවින්ද්‍ර වැලිගොඩ සර්, රිච්මන්ඩ් විදුහලේ ධම්මික සුදර්ශන සර් සහ විශේෂයෙන් දෙබරවැවදී මඟපෙන්වූ නිල්කමල් සර් හමු නොවන්නට ධනංජය සිල්වා කියන ක්‍රිකට් ක්‍රීඩකයා බිහි නොවන්නට ඉඩ තිබුණා.‍” ධනංජය අපට කීවේ ඉතාම නිහතමානීවය.

මුලාශ්‍ර – silumina

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button