පළකල දිනය : Tue, Aug 30th, 2016

බිම් බෝම්බ සොයන ලෝකයේ හොඳම සුනඛයා ලංකාවේ

International Award For Sri Lanka Army’s Mine Detection Dog (3)‘බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ’ අරමුණක් නැතිව එහෙ මෙහෙ දුවන ගංගොඩැල්ලේ බල්ලන් ගැන එහෙම කිව්වත් රාජකාරි ගමන් ගිහිල්ලා සම්මාන දිනපු බල්ලෙක් ගැන අපූරු ප්‍රවෘත්තියක් පසුගිය දිනවල අහන්න ලැබුණා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හඳුනා ගැනීමේ අංශයේ ‘ඇල්වින්’ සුනඛයා සහ ඔහු හසුරුවන ලාන්ස් කෝප්‍රල් නවරත්න ඇතුළු කණ්ඩායම බිම්බෝම්බ සෙවීම පිළිබඳව ඇමෙරිකාව මූලස්ථානය කොටගෙන ලොව පුරා ක්‍රියාත්මක වන මාර්ෂල් ලිගර්සි ආයතනය මඟින් පවත්වනු ලබන 2016 වසරේ හොඳම බිම්බෝම්බ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ කණ්ඩායම ලෙස තෝරාගෙන ඇත.

ලබන ඔක්තෝම්බර් මස 26 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් හිදී මෙම සම්මාන උලෙළ පැවැත්වෙන අතර එම සම්මානය ලබා ගැනීමට ඇල්වින් සහ නවරත්න ඇතුළු කණ්ඩායම ඊට සහභාගිවීමට නියමිතය.

තම විශිෂ්ට රාජකාරිය වෙනුවෙන් සම්මාන ලැබීමට නියමිත සුනඛයා වන්නේ ‘ඇල්වින්’. ඛෙල්ජියම් මෙනෙයිස් වර්ගයට අයත් ය. ‘ඇල්වින්’ ශ්‍රී ලංකා යුද හමුදාවට ලැඛෙන්නේ මාර්ෂල් ලිසර්ස් ආයතනයෙන්. 2011 වසරේදී. ‘ඇල්වින්’ගේ හසුරුවන්නා ලෙස ඇල්වින් බාර දෙනු ලබන්නේ 7 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව කටයුතු කරන ලාන්ස් කෝප්‍රල් ජී. එන්. ඩබ්ලිව්. එන්. නවරත්නටය.

අද වන විට ඇල්වින් සහ නවරත්න අතර ඇත්තේ නොබි‍ඬෙන බැඳීමකි.

ඇල්වින් හමුවන විට උගෙ වයස අවුරුද්දයි මාස දෙකක් විතර ඇති. දැන් ඇල්වින්ගේ වයස අවුරුදු 7යි. යුද සුනඛයින් සඳහා වූ ලෝක පුහුණු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සුනඛ පුහුණු උපදේශකවරයකු යටතේ මාස තුනක් ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පාසලේදී අප පුහුණුව ලැබුවා.

ඒ පුහුණුවෙන් පසුව තමයි ඇල්වින් බිම්බෝම්බ හා බිම් වෙඩි හඳුනා ගැනීමට හුරු වුණේ. මේ වන විට ඇල්වින් උතුරු නැ‍ගෙනහිර ප්‍රදේශයේ වර්ග මීටර් 73340 ක බිම් ප්‍රදේශයක ආර්පීජී 20, අත්බෝම්බ 48ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 137ක් පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය 24, ඩෙටනේටර් 18ක් පතොරොම් 243ක් සහ යුද්ධයේදී ඉතිරි වූ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිඛෙනවා. ඇල්වින්ගේ හසුරුවන්නා වන ලාන්ස් කෝප්‍රල් නවරත්න පවසන්නේ ඇල්වින්ගේ හපන්කම් ගැනය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය සතුව සුනඛයන් එකොළොස් දෙනෙකු සිටින අතර ඒ අතරින් විශේෂිතයා වන්නේ ”ඇල්වින්”ය.

ඇල්වින් දවස පටන් ගන්නේ උදෑසන හයටය. ඇල්වින්ගේ දින චරියාව පිළිබඳව හොඳටම දන්නේ ලාන්ස් කෝප්‍රල් නවරත්නය.

සාමාන්‍යයෙන් බිම්බෝම්බ හොයන්න යනවානම් අපි පිටත්වන්නේ උදේ හයට. ඒ ගමන යන්නේ වාහනයක. එතකොට ඇල්වින් දන්නවා අපි ඒ යන්නේ රාජකාරියට කියලා. රාජකාරියට යන අවස්ථාවේදී ඇල්වින් ඉන්නේ සතුටෙන්.

උදේ හයේ ඉඳලා නවය දහය විතර වෙනතුරු අපි වැඩ කරනවා. ඒ බිම්වලට ගියාම ඇල්වින් හරි ප්‍රබෝධයකින් ඉන්නේ. මොනවාහරි හොයා ගත්තම ඇල්වින් වල්ගෙ වනනවා. බිම වාඩිවෙලා මගෙ දිහා බලනවා. පුදුම සතුටක් පළ කරනවා.

ඒ ඉරියව්වලින්ම මම දැනගන්නවා ඇල්වින්ට මොනවාහරි හමුවෙලා කියලා. උදේ දහය වන විට රාජකාරිය ඉවරයි. දහයට විතර ඇල්වින්ට බිත්තරත් එක්ක කිරි බොන්න දෙනවා. හැන්දෑවේ තුනට තමයි කෑම වේල දෙන්නෙ.

රාජකාරියට නොයන දවස්වලට උදේම ඇල්වින්ව ශරීර සුවතාවට එක්කරගෙන යනවා. ඇල්වින් ශරීර සුවතා කරනවට වඩා කැමැති බෝම්බ හොයන්න යන්න. මම නිවාඩු ගියාම ඇල්වින්ව රාජකාරියට යවන්නේ නැහැ. අනෙක් අය තමයි ඇල්වින්ට කෑම දෙන්නෙ. ගමේ යන දවසට මටත් දුකයි ඇල්වින් දාලා යන්න.

මම යනවා කියලා දැනුණම ඇල්වින් දුක හිතෙන විදිහට මා දිහා බලාගෙන ඉන්නවා. මම ගමේ ගිහිල්ලා ආවාම ඉස්සෙල්ලම එන්නේ ඇල්වින්ව බලන්න. මාව දැක්කම ඇල්වින් මගේ ඇඟට පැනලා එයාගේ සතුට පළ කරනවා. ඇල්වින් ළඟ ඉන්නකොට කාටවත් මගෙ ඇඟට අත තියන්නවත් දෙන්නේ නැහැ. නවරත්න පවසන්නේ ඇල්වින් හා තමන් අතර ඇති නොබි‍ඬෙන බැඳීම ගැනය.

ඇල්වින් හා ලාන්ස් කෝප්‍රල් නවරත්න දැනට සිටින්නේ වවුනියාව පුඔය කඳවුරේය. කුරුණෑගල ගල්ගමුවේ ආර්ටිකුලම් හි උපන් නවරත්න මූලික අධ්‍යාපනය ලැබුවේ යූ. බී. වන්නිනායක පාසලෙන්ය. පාසල් අධ්‍යාපනයෙන් පසු 2003 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු නවරත්න යුද සමයේදී උතුරු නැ‍ගෙනහිර බොහෝ ප්‍රදේශවල සේවය කළේය.

ඇල්වින්ට ප්‍රථම 2012 වසරේදී කයිරෝ ස්පාටකස් හා එම සුනඛයා හසුරුවන්නා වූ ඉංජිනේරු සෙබළ ඩී. කේ. එස්. රෝහණ ඇතුළු කණ්ඩායම ද මේ සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය යුද හමුදා මානුෂිකවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය ආරම්භ කරන්නේ 2002 වසරේදී. මෙය ආරම්භ වන්නේ ඇමෙරිකාවේ රොසතෝ ආයතනයේ තාක්ෂ‚ක පුහුණුව ලබාදීම හේතුකොටගෙන. 2003 වසරේ සිට යුද හමුදා ඉංජිනේරු බළකාය බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරිවල නියැළෙනවා.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන අතරේ යුද හමුදා ඉංජිනේරු බළකාය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරනු ලබනවා යැයි ශ්‍රී ලංකා යුද හමුදා මානුෂිකවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ප්‍රධානියා වන යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න මහතා පවසන්නේය.

යුද හමුදා මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදනයකට අනුව ගෙවී ගිය වසර පහක කාලය තුළ උතුරු නැ‍ගෙනහිර ප්‍රදේශවල පවුල් හාරසිය පහළොවක අවතැන් වූ සාමාජිකයන් 1945 දෙනකු ඔවුන් සතු නිත්‍ය ප්‍රදේශවල පදිංචි කරවීමට කටයුතු යොදා ඇත්තේය. බිම්බෝම්බ ඉවත් කිරීම යනු ඉතා සූක්ෂ්ම කටයුත්තකි. ඒ කටයුත්තේදී ඇල්වින්ගෙන් ලැඛෙන සහාය අපමණය.

ඉදින් ඔක්තෝබර් මාසයේ දිනෙක ”ඇල්වින්” ඇතුළු කණ්ඩායම ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇත. ඒ රටට, ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි ගෞරවය කීර්තිය රැගෙන ඒමටය.International Award For Sri Lanka Army’s Mine Detection Dog (1) International Award For Sri Lanka Army’s Mine Detection Dog (2) International Award For Sri Lanka Army’s Mine Detection Dog (4)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button