පළකල දිනය : Wed, Aug 31st, 2016

ශ්‍රී ලංකා පිලේ සංයුතිය ගැලපීම දෙලොවක්‌ අතර ?

hitgossipඔස්‌ටේ්‍රලියාවට එරෙහිව එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහි බලාපොරොත්තුව තවදුරටත් තබා ගැනීමට අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයේ ජය ශ්‍රී ලංකාවට අත්‍යඅවශයම සාධකයක්‌ බවට පත්ව තිබේ. මේ වන විට තරගාවලිය 2-1 ක්‌ ලෙස පෙරමුණ ගෙන සිටින ඔස්‌ටේ්‍රලියානුවන් අද තරගය ජය ගනිමින් තරගාවලියේ ජය සන්තකයට තබා ගැනීමේ අදහසින් තරග වැදීම ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පිලට මහත් හිසරදයක්‌ බවට පත්ව තිබේ.

ජයග්‍රහණය අතට ගැනීමට ශ්‍රී ලංකාව සැරසී සිටියද අවසන් සංයුතිය කවුරුන්ද යන්න ඊයේ පුහුණු සැසිය අවසන් වනතුරුත් කණ්‌ඩායමේ සියලු දෙනාම පසුවූයේ දෙගඩියාවකිනි. ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා සහ 18 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු යන සිව්දෙනාම සූදානමින් සිටියද ඉන් කුමන සුසංයෝගය ඉදිරිපත් කරනවාද යන තීරණය පාවෙමින් තිබුණි.

තිලකරත්න ඩිල්ෂාන් සමුගැනීමෙන් පසුව හිස්‌වන ආරම්භක පිතිකරු ස්‌ථානයට කවුරුන් නම් කරන්නේද යන්න ශ්‍රී ලංකා නායකයා සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ හවස්‌ වනතුරු දෙලොවක්‌ අතර අතරමංව සිටියේය. එහි අවසන් තීරණය ගැනීම සඳහා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ සෙසු තේරීම් කමිටු සාමාජිකයන් සමග විශේෂ සාකච්ඡාවක්‌ ඊයේ සවස්‌යාමයේදී පවත්වන්නට නියමිතව තිබුණි.

”ආරම්භක පිතිකරුවන් ලෙස කවුරු ක්‍රීඩා කරයිද කියල කියන්න බැහැ. තේරීම් කමිටු සභාපතිවරයා සමඟ සාකච්ඡා කරල තමයි අවසන් තීරණය ගන්නෙ. කොහොම වුණත් අවසන් එකොළොස්‌ දෙනා කවුද කියලත් තීරණය කරන්නෙ තේරීම් කමිටු සභාපතිවරයා සමග කතා කිරීමෙන් පසුවයි” යනුවෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා පැවසීය.

කෙසේ වෙතත් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වෙද්දී යොමු වන පීඩනයට මැතිව්ස්‌ගේ පිල ධනාත්මක සූදානමකින් පසුවන බව පවසයි. ”අපි හැමෝම හොඳ ධනවාදී මානසිකත්වයකින් ඉන්නවා. ජයග්‍රහණය කරන්න පුලුවන් මානසිකත්වයකින් තමයි සියලු දෙනාටම තියෙන්නෙ. මට තේරීම් කමිටුව දීල තියෙන 16 දෙනා ගැනම සියයට සියයක්‌ තෘප්තිමත්.”

ඩිල්ෂාන්ගෙන් හිස්‌ වූ 16 දෙනාගේ ස්‌ථානය සඳහා නිරෝෂන් දික්‌වැල්ල පළමුව කැඳවීමට තීරණය කර තිබුණද අනතුරුව සචිත් පතිරණව සංචිතයට එක්‌ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. ඒ අනූව පතිරණ ඊයේ පුහුණු දැළ තුළ පිතිකරණ සඳහා පන්දු යෑවීමේ පුහුණුවීම්වල නිරත වුවද ඔහුට අද තරගයේ ස්‌ථානයක්‌ හිමිවීමද වැට උඩ තත්ත්වයක්‌ බවට පත්ව තිබේ.

”සචිත් පතිරණටත් අවස්‌ථාවක්‌ තියෙනවා. ඒ වගේම ඇන්ජලෝ පෙරේරාටත් අවස්‌ථාවක්‌ තියෙනවා. කොහොම වුණත් කවුද ගහන්නෙ කියල තවම තීරණය කරල නැහැ” යෑයි ශ්‍රී ලංකා නායකයා පැවසීය. ඒ අනූව අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්‌කම් දෙකක්‌ හෝ තුනක්‌ සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහිදී එකොළොස්‌ දෙනා අතරට පැමිණීමට ඇන්ජලෝ පෙරේරා, සචිත් පතිරණ සහ අවිශ්ක ප්‍රනාන්දුට වැඩි අවස්‌ථාවක්‌ ඇති බව ඉගි පළ විය.

ඇන්ජලෝ පෙරේරා ඊයේ විනාඩි 45 කට ආසන්න කාලයක්‌ පුහුණු දැල තුළ පිතිකරණ පුහුණුවීම්වල නිරත විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණු දැල තුළ කරන ව්‍යායාමය තේරීම් කමිටු සාමාජිකයන් වන රොමේෂ් කලුවිතාරණ, රංජිත් මධුරසිංහ සහ එරික්‌ උපශාන්ත බලා සිටිමින් එහි ගුණදොස්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට පැවසීමට ඔවුන් සූදානමින් සිටියහ.

මිචෙල් ස්‌ටාක්‌ගේ හී සැරයක්‌ බඳු වේග පන්දුවෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් ව්‍යායාමයක නිරත වන්න සිදුව තිබේ. ඒ වෙනුවෙන් ග්‍රැහැම් ෆේඩ්ගේ උපාය මාර්ගය වූයේ එක එක පිතිකරුවන්ව ගෙන පන්දුව රඳවන උපකරණයකින් පිතිකරුට පන්දුව දමා ගැසීමයි. එහිදී චන්දිමාල්, මැතිව්ස්‌, තිසර, මෙන්ඩිස්‌ සහ කුසල්ට වැඩි පන්දු සංඛ්‍යාවක්‌ විසි කිරීමට ෆේඩ් කටයුතු කළේය.

පළමු තරගය පැවති තණතීරුව අද තරගයට සුදානම් කර තිබුණි. එම තණතීරුවේ කාශ්ටක බවක්‌ දක්‌නට තිබුණද එහි තත්ත්වය පිළිබඳව නිවැරදි වැටහීමක්‌ ගැනීමට කණ්‌ඩායම් දෙකම අද උදෑසන වන තෙක්‌ බලා සිටින බව නායකයන් දෙපළම පවසා සිටියේ හොඳම සංයුති දෙක සටනට යෙදවීමට ඕනෑ තරම් කල්වේලා තිබෙන බැවිනි.

  • 1.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button