පළකල දිනය : Thu, Sep 1st, 2016

කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස එළියට ආවේ මෙහෙමයි

youths arrested over Bambalapitiya businessman’s murderබම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව‍ට ගෙන තිබේ.

දෙදරු පියෙක් වන 29 හැවිරිදි මේ ව්‍යාපාරිකයා කොතලාවල ඇවිනියු හි පිහිටි තම නිවස ඉදිරිපිටදී කිසියම් පිරිසක් පැහැරගෙන ගියේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේ. ඒ බව දැකපු ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කළා.

වහාම ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිසිය, කොළඹ අපරාධ කොට්ඨාශය හා එක්ව පොලිස් කණ්ඩායම් 11ක් යොදවා පරීක්ෂණ ආරම්භ කළා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණේ රුපියල් කෝටි 5ක කප්පමක් ලබා ගැනීමට මෙම පැහැර ගැනීම සිදුකළ බවයි.

පසුව එය කෝටි දෙකක් දක්වා අඩු කර මාවනැල්ල දුරකතන මධ්‍යස්ථානයකින් කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ඇමතුමක් ලබාගෙන තිබෙනවා. එක් අයෙකු කප්පම් මුදල ඉල්ලා ඇමතුම ලබාදෙන අතරේ ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා තමන් දෙසට එල්ලවී ඇති CCTV කැමරාව තම මිතුරාට පෙන්වන ආකාරයද CCTV කැමරාවේ සටහන් වෙලා තියෙනවා.

කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගත් සිද්ධියේ මහා මොළකරු ලෙස ක්‍රියාකර ඇත්තේ ඔහුගේ බැංකු කටයුතු පිළිබඳව කළමණාකාරවරයයි. 23 හැවිරිදි වියේ පසුවන ප්‍රධාන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාට අයත් අදීරිප්පු විදියේ රෙදි පිළි වෙළඳසැලට සුළු සේවකයෙක් වශයෙන් රැකියාවට පැමිණ තිබෙනවා.

කෙටි කලකදී ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනා ගන්නා ඔහු බැංකු කටයුතු පිළිබඳව කළමණාකාරවරයා දක්වා උසස්වීමක් ලබනවා. මෙම කළමණාකාර වරයා තම හාම්පුතා කප්පම් ලබාගැනීම සඳහා පැහැරගැනීමේ සිද්ධියට තවත් හත්දෙනෙකුගේ සහය ලබාගෙන ඇති බව මුලීක විමර්ශනවලදී අනාවරණය වුණා. ඒ අතරින් හයදෙනෙකුම ඔහු ළඟින් ඇසුරුකරන නාට්ටාමිවරුන්.

සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ඇතුළු තවත් වටිනා භාණ්ඩ තමන් පිළිස්සු බවයි. නිවස අසළින් පැහැරගත් ව්‍යාපාරිකයා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක බලහත්කාරයෙන් නන්වාගෙන යන අතරතුර ඔහුව මෙල්ල කිරීමට දැඩි ලෙස පහරදී තිබෙනවා. පසුව අත පය ගැට ගසා කටේ ප්ලාස්ටර් අලෙවූ බවද සඳහන් වෙනවා. එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේද ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයාගේ කළමනාකරුයි.

කෙසේ වෙතත් කප්පම් මුදල් ඉල්ලා ඔහු ලවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට ප්ලාස්ටර් ගැලවුව අවස්ථාවේ ඔහු මියගොස් සිටි බවයි පැවසෙන්නේ.

තවත් සාක්කියකින් පැවසෙන්නේ ව්‍යාපාරිකයාට පහරදීමේදී ඔහුගේ හිස ගලක වැදීමෙන් මෙම ඉරණම අත්ව ඇති බවයි.

කප්පම්කරුවන් මාවනැල්ල දුරකතන මධ්‍යස්ථානයකින් ව්‍යාපාරිකයාගේ පියාට ඇමතුම ලබාදෙන විටදී ඔහු මියගොස් සිටි බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ව්‍යාපාරිකයා මිය යාමෙන් කප්පම් සැලසුම ව්‍යර්ථ වූ බව දැනගත් කප්පම්කරුවන් ක්‍රියාත්මක වී ඇත්තේ කිසිඳු සැලසුමකින් තොරවයි.

ව්‍යාපාරිකයා පැහැරගත් මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන්කර ඇති අතර තවත් සැකකරුවන් තිදෙනෙක් රඹුක්කන දක්වා මඟී ප්‍රවාහන බස් රථයකින් පැමිණ තිබෙනවා. අනතුරුව මිය ගිය ව්‍යාපාරිකයාගේ සිරුර හෙම්මාතගම, රුකුලගම කැලෑ බද ප්‍රදේශයක බෑවුමකට දැමු සැකකරුවන් පලාගිය බවයි පැවසෙන්නේ.

කෝටිපති ව්‍යාපාරිකයා ඝාතන සිද්ධියේ සියලු තොරතුරු පොලිසියට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවේ සිටින දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් හය දෙනෙකු මේ වන විට පොලිස් බාරයේ පසුවෙනවා. ඒ අය අතර ප්‍රධාන සැකකරුවන කෝටිපති ව්‍යාපාරිකයාගේ කළමනාකරුද සිටිනවා. තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉදිරි පැය කිහිපය තුළදී පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අවුරුදු 22 හා 23ක තරුණයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button