පළකල දිනය : Sun, Sep 11th, 2016

චියර් කරන්න ගිහින් පොලීසියෙන් බැණුම් අහලා ගුටිකාලා තියෙනවා

newsශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තරගයක් අතරතුර කැමරා කාචවලට නිතර හසුවන චරිතයකි, පර්සි අන්කල්. සැම විටම සිංහ කොඩියත් අතැතිව සිටින ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීමේ ‘කලාවක්’ ලොවට බිහිකළ ප්‍රමුඛයා හැටියට හැඳින්විය හැකිය. පසුගිය ජූලි 30 වැනිදා 80 වැනි වියට පා තැබු වලිමුනි ඩෙනම් පර්සි ජිම්සන් මෙන්ඩිස් අබේසේකර මහතා ලොකු පොඩි කා අතරත් ප්‍රචලිත ‘පර්සි අන්කල්’ ලෙසිනි.

පර්සි අන්කල් ආ ගමන්මඟ ගැන මොකද හිතෙන්නෙ?

“හරිම ආඩම්බරයි. මගේ තාත්තට ඕන වෙලා තිබුණේ මාව නීතිඥයෙක් කරන්න. ඒත් මට තිබුණ ක්‍රිකට් පිස්සුව නිසා ඒක කරගන්න බැරිවුණා. ඒත් අද මං ලෝකෙම දන්න චරිතයක් වුණා ක්‍රිකට් නිසා.”

ඔබගේ පසුබිම ගැන තොරතුරු ටිකක් කියන්න?

“මගේ අම්මයි තාත්තයි මුල් ගුරුවරු. මට හිටියා සුසිල්, පද්මිණි, සිරිල් සහ ශ්‍රිමති කියලා සහෝදර සහෝදරියෝ හතරදෙනෙක්. අද ඔවුන් සියලු දෙනාම ජීවතුන් අතර නැහැ. සුසිල් අයියා මුලින් ලේක්හවුස් ආයතනයේ සෝදුපත් කියවන්නෙක් ලෙසත් කටයුතු කළා. අක්කලා දෙන්න ඉංග්‍රීසි ගුරුවරු. අපේ පවුල ගුරු පවුලක්. අම්මගෙයි තාත්තගෙයි ලොකුම උනන්දුව තිබුණේ අපිව අධ්‍යාපනයෙන් ඉහළට ඔසවා තබන්න. මගේ බිරිය මීට අවුරුදු 6කට කලින් නැතිවුණා. මට ඉන්නවා දුවකුයි පුතකුයි. අද මං සීයා කෙනෙක්.”

අධ්‍යාපන පසුබිම කොහොම ද?

“මගේ ගම බළපිටිය. මං හතර ශ්‍රේණිය වෙනකල් ගාල්ල රිච්මන්ඩ් ගියේ. ඉන් පසුව ඇලෝෂියස් ගියා. ඇලෝෂියස් යන කාලේ නිවාසාන්තර ක්‍රිකට් තරගවලදී අපි අනිවාර්යයෙන්ම කොඩියත් රැගෙන චියර් කරන්න යා යුතුයි. ඒවායින් තමයි මට කොඩියක් අතැතිව දිරිගැන්වීමේ ආභාසය ලැබුණේ. උසස් පෙළට ලන්ඩන් උසස් පෙළ කළේ ආර්ථික විද්‍යාව පැත්තෙන් ‍බොරැල්ලේ ඇක්වයිනාස් එකෙන්. ඇක්වයිනාස් මගේ සමකාලීනයෝ වුණේ හිටපු ක්‍රීඩා ඇමැති ටිරෝන් ප්‍රනාන්දු, සොලිස්ටර් ජනරාල් සුනිල් සිල්වා, වාසුදේව නානායක්කාර, කුමාර් පොන්නම්බලම්, කනිෂ්ඨ සමකාලීනයෝ ගාමිණි දිසානායක, ජෝන් අමරතුංග වගේ අය. උසස් පෙළ කරන කාලේ තමයි මට දිරිගැන්වීමේ පිස්සුව හැදුණේ.”

කොහොමද මේ ක්‍රිකට් පිස්සුව හැදුණේ ඔබට?

“අවුරුදු 10 ඉඳන් මගේ විනෝදාංශය තමයි ක්‍රිකටර්සලගේ පින්තූර එකතු කිරීම. 1948 ලංකාවට නිදහස ලැබුණු අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවත් සමඟ තරගයක් තිබ්බා. ඩොනල්ඩ් බ්‍රැඩ්මනුත් සෙල්ලම් කළා ඒ තරගයට. ඉතින් මට හරිම ආසයි බ්‍රැඩ්මන්ව දකින්න. අයියලා මාව එක්කගෙන ගියා ඒ තරගය බලන්න.

1958 ඇක්වයිනාස් එකේ උසස් පෙළ විභාගය දවසේ ඒ කාලේ සුප්‍රසිද්ධ ගෝපාලන් කුසලාන මැච් එකක් ගියා ලංකාවයි තමිල්නාඩු කණ්ඩායමයි අතරේ සරා ග්‍රවුන්ඩ් එකේ. මගේ යාළුවෙක් හිටියා ජයතිලක කියලා. එදා මිනිහා පොකට් රේඩියෝ එකක් ගෙනල්ලා විභාගය අතරතුරත් මැච් එක අහනවා. ඒ කාලේ අපේ සනත් ජයසූරිය වගේ වේගවත් පිතිකරුවෙක් තමයි සී. අයි. ගුණසේකර කියන්නෙ. ජයතිලක මට කියනවා ‘මචං පර්සි සී. අයි. සෙන්චරිය දැම්මා’ ලන්ච් වෙනකොට සී. අයි. සියයක් ගහලා, හිතාගන්න පුළුවන්නේ සී. අයි. ගේ පිතිහරඹයේ තරම. හවස පේපර් එකට ඉන්නෙ නැතිව අපි දෙන්නා ගියා මැච් එක බලන්න. මේක තාත්තට ආරංචි වුණා. තාත්තගෙන් හොඳවයින් කම්මුල් පාරක් ලැබුණා. ‘උඹව නීතිඥයෙක් කරන එක හරියන වැඩක් නෙවෙයි’ කියලා තාත්තා මාව 1961 දී AMW (AMW එකෙන් ACL කේබල් පසුව වෙන්විය.) එකට දැම්මා. අපේ ඥාතියෙක් තමයි AMW අයිති සර් සිරිල් ද සොයිසා මහතා. ඔහු තමයි කළුතර බෝධිය එහෙම හැදුවේ. මගේ යාළුවා ජයතිලක පස්සෙ නීතිඥයෙක් වුණා. එදා පටන්ගත්තු ගමන මම තවම යනවා. මේ ගෙවෙන්නේ 58 වැනි අවුරුද්ද. මුල් කාලේ සිදුවුණු යම් යම් සිද්ධි හරහා මාව ජනප්‍රිය වුණා.”

කොහොමද ඒ ජනප්‍රියත්වය ඇතිවුණේ?

“මුල් කාලේ චියර් කරන්න ගිහින් පොලීසියෙන් බැණුම් අහලා, ගුටි කාලා තියෙනවා ඕනැතරම්. ඒ කාලේ පර්සි කියලා මාව ප්‍රසිද්ධ නැහැ. 1972 දී 19න් පහළ තරගාවලියක් තිබුණා ඕස්ට්‍රේලියාවත් සමඟ. දුලිප්, රෝයි, අජිත් සිල්වා වැනි පසුව ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ එදා ඒ තරගයට සෙල්ලම් කළා. ටෙස්ට් තරග තුනක් තිබුණා. අපේ අය මුල් තරග දෙක හොඳට කළා. ඕස්ට්‍රේලියන් කාරයෝ අපේ අයට ‘කළුවෝ, අඟුටුමිට්ටෝ’ කියලා අපහාස කරලා. මං දැක්කා ඒවා පතතරවලින්. මට හරිම කේන්තියි.

තුන්වැනි ටෙස්ට් එක සරාවල තිබුණේ. එදා අපේ නායකයා අසිත ජයවීර. ඔහු ලකුණු පනහක් ගහපු වෙලාවේ මම ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඔහුට සුබ පතලා සුද්දන්ට හොඳටම බැන්නා. ‘උඹල පරදේසක්කාරයො. උඹලා කොහොමද අපේ අයට අපහාස කරන්නෙ. මේවට ප්‍රතිඋත්තර දෙන්න බැරිනම් අපෙන් වැඩක් නැහැ’ කියලා. මම විනාඩි දෙක තුනක් පිටිය මැද හිටියා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි හරිම සෙනඟ මැච් බලන්න. ගස් උඩත් ඉන්නවා. මට සියලු දෙනාගෙන්ම ඔල්වරසන්. පස්සේ මාව අරන් ගිහින් බොරැල්ලේ පොලිස් කූඩුවේ දැම්මා. රෑ 11 ට විතර තමයි එළියට දැම්මේ. මාව එළියට දානකොට සෙනඟ 500ක් විතර පොලීසිය ළඟ. පස්සෙ දවසේ ලේක්හවුස් ඊවිනින් ඔබ්සර්වර් ‍පත්තරෙත් විස්තරේ ගියා.

ඔබතුමාත් හොඳ ක්‍රීඩකයෙක් කියලා ආරංචියි…

“ආ ඔව්, මම තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. වමත් පිතිකරු, දකුණත් පාදඟ පන්දු යවන්නෙක්. කදුරු බෝල, ටෙනිස් බෝල සිට ලෙදර් බෝල් දක්වා සෙල්ලම් කළා. මම ඇලෝෂියස් එකේ ඒ කාලේ තිබුණ දෙවැනි පෙළ ටීම් එකටත් සෙල්ලම් කළා. ඇක්වයිනාස් කණ්ඩායම නියෝජනය කරමින් ‘ඩේලි නිවුස්’ කුසලානෙට ඩිවිසන් ත්‍රී සෙල්ලම් කළා. AMW පළමුවැනි නායකයා මම. 1968 G ඩිවිසන් තරගාවලිය දිනුවේ ඔබලාගේ ලේක්හවුස් කණ්ඩායම පරාද කරලා.”

ඔබත් සමඟ සමීපව ඇසුරු කළ සුපිරි ක්‍රීඩකයන් කවුද?

“බටහිර කොදෙව් සෝබර්ස් මගේ හොඳ හිතවතෙක්. මොකද එයා මට වඩා වැඩිමල් දවස් දෙකයි. ඒ වගේම නවසීලන්තය බිහිකළ සුපිරි පිතිකරු මාටින් ක්‍රෝ මගේ චියරින්වලට, ඉංග්‍රීසි භාෂා දැනුමට ඉතාම ආස කළ කෙනෙක්. එස්එස්සී ක්‍රීඩාංගණයේ තිබුණු තුන්කොන් තරගාවලියකදී ඔහු තරගයේ වීරයා වූ අවස්ථාවකදී ලැබුණු කුසලානය සහ මුදලින් රුපියල් ලක්ෂයක පමණ චෙක්පත රැගෙන මා ගාවට ඇවිත් ‘පර්සි මේක උඹ ගනිං’ කියලා දුන්නා. මම ගත්තෙ නෑ, ‘නෑ නෑ උඹ ගනිං’ කිව්වා. පස්සෙ මම කුසලානය විතරක් ගත්තා. ඒකත් මම සංචාරය නිම කරලා ඔවුන් යන්න ලෑස්ති වන විට නවාතැන් ගත්ත හෝටලයට ගිහිල්ලා දීලා ආවා. ඒ වගේ දේවල් මට ඔහු පසුවත් දුන්නා. ජාවෙඩ් මියන්ඩාඩ්වත් මා සමඟ ඉතාම කුළුපගයි. ඒ වගේම ලෝකේ සිටිය සියලු ක්‍රීඩකයන් වගේම වර්තමාන ක්‍රීඩකයොත් මා සමඟ ඉතාම හිතවත්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා මට හරිම ආදරෙයි.

එදා ගාල්ලෙ මැච් එක දින්නට පස්සෙ ටී ෂර්ට් දීලා ‘වී ඕල් ලව් යූ හැපී බර්ත්ඩේ පර්සි අන්කල්’ කියලා ඔක්කෝමලා කෑගහලා විෂ් කළා. පල්ලෙකැලේදී ක්‍රිකට් තරගාවලියකුත් සංවිධානය කළා මගේ උපන්දිනේට.”

ඉදිරි අනාගතේ කොහොම ද පර්සි අන්කල් ක්‍රීඩාංගණයට එනව ද?

“කවුරුත් විශ්වාස කරන්නෙ නෑ මට අවුරුදු 80ක් කියලා. මම චියර් කරනකොට සියලුම ක්‍රීඩාගාරවල ඇවිදිනවා. දෙවියන් බුදුන් සරණින් මම හොඳින් ඉන්නවා. මට දැන් චියර් කරන්න වෙලාවක් නෑ මේ සෙල්ෆි පිස්සුවෙන්. අතට පයට කටට සවිශක්තිය තියනකල් මම ක්‍රීඩාංගණයට යනවා. මොකද ක්‍රීඩා සමාජ තරග සමඟ තරග 1000ක් විතර නරඹලා මම ලබාගත්ත දැනුම කාටවත් නෑ. මේකට ක්‍රිකට් ගැන දැනුමක් තියෙන්නෙ ඕන. මම ලෝකේ ක්‍රිකට් ක්‍රීඩා කරන සිම්බාබ්වේ හැර සියලු රටවල සංචාරය කළා මේ ක්‍රිකට් නිසා. ක්‍රිකට් කියන්නෙ මගේ ජීවිතේ.”

ශ්‍රී ලංකා ක්‍රිකට්වල එදයි අදයි තියෙන වෙනස කොහොම ද?

“එදාට වඩා වර්තමානයේ ලොකු වෙනසක් තියෙනවා. මම හිතන්නෙ සනත්, අරවින්ද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොඳ දෙයක් කළා වගේම දැනුත් කරනවා. ළාබාල ක්‍රීඩකයන් සොයාගෙන හොඳ ගමනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙනියන්න එයාලා ලොකු දෙයක් කරනවා. අපේ නරඹන්නන් හරි හොඳයි. පාකිස්තාන් ඉන්දියන් වගේ නෙවෙයි. සෑම විටම කණ්ඩායමත් එක්ක ඉන්නවා. ඒකට දිරිගන්වන ප්‍රධාන කෙනෙක් හැටියට මම ‍අපේ ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා. බලන්න එදා පල්ලෙකැලේදී අපේ කණ්ඩායම 117 ට අවුට් වුණා. එදා මැච් එක ඕස්ට්‍රේලියන්ස්ලා දිනලා සිටියේ. අපේ ප්‍රේක්ෂකයනුත් කිව්වා, දවස් දෙකෙන් නැත්නම් තුනෙන් ඉවරයි කියලා. මං කිව්වා මේ මැච් එක යනවා දවස් පහම. මගේ අත්දැකීමේ හැටියට. මං ප්‍රාර්ථනා කරනවා පස්වැනි දවස වුණ මගේ උපන් දිනේ දවසට අපේ අය මැච් එක දිනලා ක්‍රිකටර්ස්ලාට මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ජයග්‍රහණය කියලා. ඒක වුණා. මං ක්‍රිකටර්ස්ලාටත් කිව්වා. මේක දිනන්න කියලා.”

අවසාන වශයෙන් අන්කල් ක්‍රිකට් නැති දවස්වලට මොකද කරන්නෙ…

“මම දැන් පදිංචිය කළුතර උතුරේ අක්කගේ ගෙදර. ACL කේබල් සමාගමේ මහජන සම්බන්ධතා උපදේශක ලෙස කටයුතු කරනවා. මගේ සේවා කාලය දැන් වසර 54ක්. ඒ වගේම මම මේ අවස්ථාවේ කෘතවේදීව මතක් කළ යුතුයි ACL කේබල් සභාපති උපාලි මදනායක සහ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහත්වරු. ඔවුන්ගේ සහාය නිසා තමයි මම මෙතරම් ගමනක් ආවේ. එසේම ගාමිණි දිසානායක මහත්තයා මට උපරිම ශක්තියක් දුන්නා. ‘පර්සි උඹ නැතිව වැඩක් නැහැ. උඹ යන්න ඕන අනිවාර්යයෙන්ම ටීම් එකත් එක්ක හැමතැනම’ කියලා මාව චියර් කරන්න සෑම තැනකම යැව්වා. ශ්‍රී ලංකා ක්‍රිකට්වලිනුත් ලැබෙන සහාය ද අමතක කරන්න බෑ. ඒ හැමෝටම ස්තුතියි.” ලොව සුපතල අපේ දිරිගන්වන්නා පර්සි ඔබට දීර්ඝායුෂ පතන්නෙමු!

අමිල මලවිසූරිය
උපුටා ගෑනීම – රසඳුන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button