පළකල දිනය : Mon, Sep 12th, 2016

විෂ රසායන එන්නත් කරගෙන කොළඹ වෛද්‍ය සිසුවා (video)

body-of-a-medical-student-found-from-hostelකොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි පාරින්ද සෙනෙවිරත්න නමැති විසිපස් හැවිරිදි සිසුවා විෂ එන්නතක් ශරීර ගතකර ගනිමින් සිය නේවාසිකාගාරයේ සියදිවි හානි කරගෙන සිටියදී කුරුඳුවත්ත ‍පොලිසිය ඊයේ (11) සොයාගෙන ඇත.සියදිවි හානි කර ගැනීමට ප්‍රථමව එම සිසුවා පිටු හයකින් යුතු ලිපියක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබි ‍පොලිසිය විසින් සොයාගෙන ඇත.

තමා සියදිවි හානි කර ගන්නා බවත් තමාගේ මෘතශරීරය වෙරළ තීරයේ සිට කිලෝමීටර් 49ක් එපිටින් ඇති මහ මුහුදට ගෙනවිත් දමන ලෙසත් එහි ලියා තිබේ.
තවද තමාගේ මෘත ශරීරය කිසිවකුට නොපෙන්වන ලෙසත් එම වෛද්‍ය සිසුවා සිය ලිපිය මගින් අවධාරණය කර තිබූ බව ‍පොලිසිය සඳහන් කරයි.

ඊට අමතරව තමාගේ මෘත දේහය පෙන්වන්නේ නම් ඒ සඳහා ඔහුගේම මිතුරන් තිදෙනකුගේ නම් තුනක් ඔහු විසින් එම ලිපියෙහි සඳහන් කොට තිබේ.

බිබිල, වලකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිසානායක මුදියන්සේලාගේ පාරින්ද සෙනෙවිරත්න සිසුවා සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත්තේ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටය.

මහල් ගොඩනැගිල්ලක් වන එම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ තුන්වන මහ‍ලේ 96 වැනි කාමරයේ තනිවම මෙම සිසුවා වාසය කර ඇත.

එම කාමරයෙන් දුර්ගන්ධයක් පැමිණි හෙයින් නේවාසිකාගාරයේ සිටින අනෙකුත් වෛද්‍ය සිසුන් ඊයේ (11) පෙරවරුවේ එම කාමරයට ගොස් පාරින්ද සෙනෙවිරත්න සිසුවාට කතා කොට ඇත.

නමුත් ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොවූ හෙයින් වෛද්‍ය සිසුන් එක්ව එහි දොරගුළු කඩා දමා තිබේ.

එම අවස්ථාවේදී පාරින්ද සෙනෙවිරත්න සිසුවා බිම ඇද වැටී සිට ඇති අතර එම නිසා එම වෛද්‍ය සිසුන් මේ බව කුරුඳුවත්ත ‍පොලිසියට දන්වා තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත ‍පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

වෛද්‍ය සිසුවා නිදා ගන්නා ඇඳට ඉහළින් වහල ප්‍රදේශයේ වන්නට සේලයින් බෝතල් දහයක් එකට ගැට ගසා එම සේලයින් බෝතල් සේලයින් බට හරහා පහළට ඇති තවත් එක් සේලයින් බෝතලයකට එක් කොට තිබූ බවද ‍පොලිසිය කියයි.

ඉහළ පිහිටි සේලයින් බෝතල් දහයෙන් සේලයින් බට හරහා ගලා එන විෂ රසායන ද්‍රව්‍ය පහළ පිහිටි සේලයින් බෝතලයට ගමන් ගෙන පසුව එම විෂ රසායන ද්‍රව්‍ය වෛද්‍ය සිසුවාට ඔහු විසින්ම තවත් බටයක් ආධාරයෙන් එන්නත් කොට ගෙන ඇතැයිද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එම කාමරයේ තිබි රසායන ද්‍රව්‍ය කුප්පියක්ද ‍පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා එය ‍පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වෛද්‍ය සිසුවා ආතතියකින් සිට ඇති බවත් එම නිසා ඔහු නිවසටවත් නොයා හුදකලාව නේවාසිකාගාරයට වී කාලය ගත කොට ඇති බවද හෙළි වී තිබේ.
මෘත දේහය විධිමත් මරණ පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහ‍ලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) දින සිදු කිරීමට නියමිතය.

මෙම සිසුවාගේ සිරුර අධික ලෙස නරක් වි තිබූ බැවින් මොහු දින දෙක තුනකට ඉහතදී මෙම සියදිවි හානි කර ගැනීම සිදුකොට ගෙන ඇති බවටද ‍පොලිසිය සැක පළ කරයි.

චාමර අමරසූරිය

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button