පළකල දිනය : Wed, Sep 14th, 2016

වැවේ නෑවාට ගෙදරින් ගහයි කියා බයට පැනල ගියා

missing-children-in-trincomaleeඅපි පංති කට්‌ කරලා දවස්‌ හතරක්‌ වැවේ නාන්න ගියා. අපි නාන්න ගියාම ගමේ හඳුනන කෙනෙක්‌ දැක්‌කා. ගෙදරින් අපට ගහයි කියන බයට තමයි අපි ගෙදරින් පැනලා යන්න තීරණය කළේ යෑයි ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා වාලච්චනේදී ඊයේ

(13 වැනිදා) දහවල් අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

වාලච්චනේ නගරයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රිකුණාමලය මිහිඳුපුර පදිංචි 11 හැවිරිදි ධනුක නමැති දරුවකු හා නව හැවිරිදි රොෂානා නමැති දැරියක බව පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා ත්‍රිකුණාමලය විපුලානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ඥතීහු වෙති.

මොවුන් දෙදෙනා පාසල් යන්නේ පාපැදියෙන්ය. පෙරේදා (12 වැනිදා) දහවල් නිවසින් පිටවී ඇත්තේ අමතර පංතියකට සහභාගි වීමට යන බව කියමින්ය. එහෙත් ඔවුන් අමතර පංතියට සහභාගි නොවී ආන්දන්කුලම වැවේ දිය නෑමට ගොස්‌ ඇත.

ඔවුන් දිය නාමින් සිටියදී අසල්වැසියකු එය දැක තිබේ. එහිදී ධනුක සහ රොෂානා දැඩි ලෙස භීතියට පත් වී ඇත.

තමන් අමතර පංතියට සහභාගි නොවී වැවේ දිය නාමින් සිටි බව අසල්වැසියා නිවසේ අයට පවසනු ඇතැයි සිතූ දරුවන් දෙදෙනා නිවසට නොයැමට තීරණය කර ඇත.

පසුව තම මවුපියන්ට ලිපියක්‌ ලියූ ධනුක එය ආන්දන්කුලම වැව අසල ගසක්‌ යට තබා රොෂානා නමැති ඥති සොහොයුරිය ද සමඟ ත්‍රිකුණාමලය දුම්රිය ස්‌ථානය වෙත ගොස්‌ තිබේ.

එහිදී කොළඹ බලා යන රාත්‍රී දුම්රියේ නැගුණු දරුවන් දෙදෙනා ගල්ඔය දුම්රිය ස්‌ථානය දක්‌වා ගොස්‌ ඉන් බැස ඇත.

පසුව ගල්ඔය දුම්රිය ස්‌ථානයෙන් මඩකලපුව බලා යන දුම්රියට නැඟී ඇති දරුවන් දෙදෙනා වාලච්චනේ දුම්රිය ස්‌ථානයෙන් බැස නගරයේ සැරිසරමින් සිටියදී ඊයේ දහවල් පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට නැඟෙනහිර පළාතේ සියලූ‍ පොලිස්‌ ස්‌ථානවලට දැනුම්දී තිබූ අතර දරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කර තිබිණි.

වාලච්චනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දරුවන් දෙදෙනා ඊයේ සවස ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසිය වෙත භාර දීමට නියමිතව තිබිණි.

මෙම දරුවන් දෙදෙනා හිටි හැටියේම අතුරුදන් වූ පුවත සැළවීමෙන් පසු පොලිසිය ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක්‌ද ක්‍රියාත්මක කරන ලදී. දරුවන් දෙදෙනා සෙවීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ ද යෙදවීමට ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්ද්‍රකුමාර මහතා කටයුතු කළේය.

උප්පුවේලි පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති චන්දන ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button