කොටියාගේන් වේඩි කා පැරාලිම්පික්‌ පදක්‌කමක්‌ දිනූ වීරයාගේ කතාව

sport-gossip-dinesh-priyantha-wins-javelin-bronze-at-rioනිරෝගී බවට ක්‍රීඩාව උත්තේජනයකි. ඒ උත්තේජනය සොයා ගිය ඇතමුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය විවිධ අනතුරු හේතුවෙන් අතරමග ඇන හිටියේය. එහෙත් අත්පා අහිමි වුවද, ඔවුන්ට ජය ගන්නට ලෝකයක්‌ තිබිය යුතුය. ලොව සිටින ආබාධ සහිත වූවන්ට සම අයිතිය ලබා දෙමින් බිහි වු පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල ලොව සිටින ආබාධිත වූවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ජාත්‍යන්තරය හමුවේ දිග් විජය කළ හැකි තෝතැන්නකි. ඒ තෝතැන්නේදී ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකා නාමය ලෝකයටම ගෙන ගියේ එක්‌ අතක්‌ වාරු නැතිව තිබියදී. ඒ ශ්‍රී ලංකාවට දෙවැනි වරට පැරාලිම්පික්‌ පදක්‌කමක්‌ දිනා දීමෙනි.

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැති ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලින් සති කිහිපයකට පසුව ඇරඹි පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල ගැන මෙරට ක්‍රීඩා ලෝලීහු කිසිදු අවධානයක්‌ යොමු නොකළහ. ඒ ඔලිම්පික්‌ උළෙලට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිස්‌ අතින් ගෙදර ඒම සහ එහි ගිය නිලධාරීන් පිරිස ගැන විවිධ මතවාද පළවීම හේතුවෙනි. ඔලිම්පික්‌ වලදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු දැස්‌ දල්වා සිටියේ උසේන් බෝල්ට්‌ ගැනය. උසේන් බෝල්ට්‌ ලොව කඟවේනා ලෙස කිරුළ දිනද්දී මෙරට ක්‍රීඩා ලෝලීහුද අත්පොළොසන් දුන්හ. දැන් යළිත් ශ්‍රී ලංකා ක්‍රීඩාවට ඔක්‌සිජන් දීමට හැකි වික්‍රමයක්‌ පෙන්වීමට යුද හමුදාවේ රණ ශූරයකු වූ දිනේෂ් ප්‍රියන්ත සමත් විය. ඔහු ගැන දැන් මෙරට පමණක්‌ නොව ලොවම දනිති.

යුද්ධයට ගොස්‌ වෙඩි කාගෙන පසුව පැමිණ පැරාලිම්පික්‌ පදක්‌කමක්‌ දිනූ පළමු වැනියාද දිනේෂ් විය හැකිය. ලොව දරුණුම ත්‍රස්‌තයන්ට එරෙහිව සටනට ගොස්‌ වම් අත අප්‍රාණික වුවද ඔහු නිහඩ ගමනක්‌ ගොස්‌ ශ්‍රී ලංකාව ලෝකය අතරට ගෙන ගියේය.

උප්පත්තියෙන්ම ආබාධිත සහිත වූවන්ද පැරාලිම්පික්‌ නියෝජනය කරනු ලබයි. එහෙත් දිනේෂ් ප්‍රියන්ත පැරාලිම්පික්‌ වලට සීමා වන්නේ රට ගිල ගන්නට ගිය ත්‍රස්‌තවාදීන්ට එරෙහිව අවි අමෝරා සටනට ගොස්‌ සිටියදී වැදුන වෙඩි උණ්‌ඩයක ප්‍රතිඵලයක්‌ හේතුවෙනි. නමුත් දිනේෂ්ලා වැනි හදවත් ඇතිවුන් රට වැසියන්ව ත්‍රස්‌තයන්ගෙන් බේරා දැමුවද ඔවුන් රට වෙනුවෙන් කරන යුතුකම අහවර කර නැත. එය දිනේෂ් පැරාලිම්පික්‌ උළෙලේ හෙල්ල විසි කිරීමෙන් දිනු ලෝකඩ පදක්‌කමටත් වැඩිය එහා ගිය ආදර්ශයකි.

මලල ක්‍රීඩාවෙන් පදක්‌කම් අහේනියකට ලක්‌ව සිටින මෙරට ක්‍රීඩාව වෙනුවෙන්, දිනේෂ් ලබාදුන් උත්තේජනය ඉදිරියේදී ඔලිම්පික්‌ යන්නට මාන බලන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද උත්තේජනයක්‌ම විය. ක්‍රීඩා ඇමැති ඇතුළු පරිපාලකයන්ගේ දෙනෙත් ඇරවීමට තරම් දිනේෂ්ගේ පදක්‌කම මෙරට ක්‍රීඩාවට උත්තේජනයක්‌ විය. දිනේෂ් පැරාලිම්පික්‌ යන විට පදක්‌කම් දිනා ගනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළහ. ඔලිම්පික්‌ ගිය ශ්‍රී ලංකා නඩය මෙන්ම පැරාලිම්පික්‌ ගිය නඩයද හිස්‌ අතින් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. නමුත් නිහඩ ගමනක්‌ ගිය දිනේෂ් සිය ක්‍රීඩා දිවියේ ඉහළම දක්‍ෂතාව දක්‌වමින් මී. 58.23 ක්‌ දුරට හෙල්ල විසි කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්‌කමක්‌ දිනා දුන්නේය. මීට පෙර පැරාලිම්පික්‌ වලදී ශ්‍රී ලංකාවට පදක්‌කමක්‌ දිනා දීමට 2012 වසරේදී ප්‍රදීප් සංජය සමත් විය. ඒ මී.400 ඉසව්වෙන් තෙවැනි ස්‌ථානය දිනා ගනිමිනි.

ඩන්කන් වයිට්‌ලා සහ සුසන්තිකා ජයසිංහ ගැන අදත් හෙටත් කතා කරන්නේ ඔවුන් ඔලිම්පික්‌ පදක්‌කම් දිනා දුන් හෙයිනි. එහෙත් පැරාලිම්පික්‌ වලදී ප්‍රදීප් සංජය (2012) සහ දිනේෂ් ප්‍රියන්ත ලබාදුන් පදක්‌කම්ද වයිට්‌ගේ මෙන්ම සුසන්තිකාගේ පදක්‌කම් මෙන් මෙරට අසමසම වටිනාකමක්‌ ගෙන දී තිබේ.

1999 දී කිලිනොච්චියේදී පැවැති දරුණු සටන් අතරතුර දිනේෂ්ට වෙඩි වැදුන කතාව ඇසූ ඔවුන්ගේ පවුලේ උදවිය සහ නෑ හිතමිතුරන් කෙතරම් කඳුලු සලන්නටද ඇත්ද? නමුත් අද ඔහු පෑ වික්‍රමය හේතුවෙන් රටම සතුටු කඳුලු හෙලනු ඇත. ඒ යුද්ධයෙන් ආපස්‌සට නොගිය දිනේෂ් මෙරට සිටින දිරියම මිනිසුන් ගණයේ ඉහළම කාණ්‌ඩයට අයත් වන නිසාය.

දිනේෂ් සහභාගි වු එෆ්.46 (එක්‌ අතක්‌ අප්‍රාණික) හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්‌කම දිනා ගත්තේ ඉන්දියාවේ ද්වේන්ද්‍රයි. ඔහු මී. 63.97 ක්‌ දුරට හෙල්ල විසි කළේය. දෙවැනි තැන තිනූ චීනයේ යවා චන්ලියැං මී.59.93 ක්‌ දුරට හෙල්ල විසි කළේය. නමුත් දිනේෂ් ලෝකය අතරට ශ්‍රී ලංකාව ගෙන ගියේ වෙඩි සද්ධයෙන් හද කම්පාවට ලක්‌ව පසුව නැගිටීමෙනි. එබැවින් ඔහු දිනූ ලෝකඩ පදක්‌කම අපටනම් රන් පදක්‌කමටත් එහා ගිය වටිනා කමක්‌ එක්‌කර තිබේ. දැන් දිනේෂ් වෙනුවෙන් පුදන පිදුමක්‌ පිරීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. ඒ දෙස අපි බලා සිටිමු.

අසේල විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button