පළකල දිනය : Wed, Sep 21st, 2016

කුලේට වෙච්ච දේ ගැන කුලේ පළමු වරට කතා කරයි

cricket-gossip-nuwan-kulasekara-fatal-motorcycle-crashමෙම සිද්ධිය වුණේ (19 දා) සඳුදා ප.ව. 3.30 ට පමණ. මම ගම්පහ සිට නිවස කරා යමින් සිටියා. කිරිල්ලවල පසු කළා. පාරේ තරමක වාහන තදබදයක්‌ තිබුණා. දළ වශයෙන් 50 ක පමණ වේගයක්‌ තිබුණා. හරියට වේගය කීමට මට අපහසු වුණත් එය අධික වේගයකින් යා හැකි අවස්‌ථාවක්‌ නොවේ.

එක්‌වරම මගේ දකුණු පසින් යමක්‌ පාරේ මැද දූපත දෙසින් එනවා පෙනුණා. ඒ සමගම එය රියේ ගැටුණු බව දැනුණා. වම් අතට වාහනය ගන්න උත්සාහ කළා. ඒ සමගම තිරිංග යෙදුවා ක්‍ෂණිකව.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත පොලිස්‌ වසමට අයත් කිරිල්ලවල ”තුෂාර ස්‌ටීල්” ආයතනය ඉදිරිපිටදී 19 වැනිදා (සඳුදා) ප.ව. 3.30 ට පමණ සිදුවී ඇති රිය අනතුරකදී යතුරුපැදිකරුවකු ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේදී පැවැති පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණ සාක්‍ෂි විභාගයකදී අනතුර සිදුවී ඇති මෝටර් රථයේ රියෑදුරා වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩක කුලසේකර මුදියන්සේලාගේ දිනේෂ් නුවන් (34) රාගම ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂිකා විශ්‍රාමික විදුහල්පතිනි සාම විනිසුරු ඡේ. කේ. ඒ. ජයකොඩි මහත්මිය හමුවේ සාක්‍ෂි දෙමින් එසේ පැවැසීය.

කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක වේගය පාලනය කිරීමට නොහැකිව කිරිල්ලවල ”තුෂාර ස්‌ටීල්” ආයතනය ඉදිරිපිටදී යතුරුපැදිය මාර්ගයේ ඇති මැද දූපතේ වැදීම නිසා යතුරුපැදිකරු පෙරළී ගොස්‌ පැදිකරු මාර්ගයේ මැද ඇති දූපතට උඩින් විසිවී ගොස්‌ නුවර කොළඹ මං තීරුවෙහි වාහන ධාවනය වන කොටසට වැටීමෙන් නුවර දිසාවේ සිට කොළඹ දිසාවට ධාවනය වූ මෝටර් රථයක පැදිකරුගේ හිස ඝට්‌ටනය වීමෙන් සිදුවී ඇති මෙම මාරක රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වායුසමීකරණ ශිල්පියෙක්‌ වූ නිට්‌ටඹුව, මාඉඹුල අංක 217/බී නිවසේ විසූ නිශ්ශංක ආරච්චිගේ දිනේෂ් අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. රුමේෂ් රත්නායක මහතා පරීක්‍ෂණ සිදුකළ මෙම මාර්ග රිය අනතුරේ හදිසි මරණ පරීක්‍ෂණයේදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් මාකොළ උතුර මාකොළ පදිංචි කේ. එම්. දිනේෂ් නුවන් (34) මහතා.

මා නැවතුනේ වම් අත පැත්තේ. පැති කණ්‌ණාඩියෙන් මා දුටුවා සෙනඟ පිරෙනවා. මා එතැනට ගිය පසුවයි පුද්ගලයකු වැටී සිටිනවා දුටුවේ. මා රියේ විනාඩියකට අඩු කාලයක්‌ රැඳී සිට ඊට පසුවයි බැස්‌සේ. ලේ තිඛෙනවා දුටු අතර හිසට අනතුරක්‌ සිදුව තිබුණා. මට බියක්‌ දැනුණා. රථය එසේම තිබියදී මම කඩයකට වී පොලිසිය එනතුරු සිටියා. මන්ද මට පෙර කෙනෙකු පොලිසියට කතාකර තිබූ නිසයි. පොලිසිය පැමිණ අනතුර පිළිබඳ රාජකාරි කළ පසුව එම නිලධාරීන් සමගම පොලිසියට ගොස්‌ කටඋත්තරයක්‌ දුන්නා. මහෙස්‌ත්‍රාත්තුමා හමුවටද ගියා. ඇප ලැබුණා. පොලිසියේ දැනුම්දීම මත (20 දා) ඉදිරිපත් වුණා. මගේ දැනුම අනුව නම් මෙය මට වළක්‌වාගත නොහැකියි. අනතුර එතරම්ම ක්‍ෂණිකවයි සිදුවූයේ. එහෙත් යහපත් පුරවැසියකු වශයෙන් මගේ යුතුකම වන්නේ රියේ ගැටුණු අයගේ පවුලේ අයට සාධාරණයක්‌ ඉටුකිරීමයි.

මෙහි පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය රාගම ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍ය යූ. එල්. එම්. එස්‌. පෙරේරා මහතා විසින් සිදුකර ධාවනය වන මෝටර් රියක හිස ගැටීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් සිදුවී ඇති මරණයක්‌ බවට සිය වෛද්‍ය වාර්තාවෙන් නිගමනය කර තිබිණ. නැවත මෙම පරීක්‍ෂණය ලබන මස 01 වැනිදා තෙක්‌ කල් තැබීමට හදිසි මරණ පරීක්‍ෂකවරිය තීරණය කළාය. එදින සිද්ධිය දුටු සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.

මියගිය දිනේෂ්ගේ මව සිය පුතා මුහුණ පෑ අනතුර හා සම්බන්ධව විස්තර කරමින් මෙසේ කීවාය.

”පුතා ඉස්කෝ‍ලේ ගියේ රන් ‍පොකුණගම මහා විද්‍යාලයට. එයා ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. ඒ කා‍ලේ පුතාට ක්‍රිකට් පිස්සුව තිබුණා. ඒ නිසා තමයි නුවන් කුලසේකරවත් අඳුනන්නේ. නුවන් ගියෙත් අපේ පුතා ගිය ඉස්කෝලෙටමයි. පුතා නුවන් ගැන නිතරම කියවනවා. පසු කා‍ලේදී පුතා සංඝබෝධි විද්‍යාලෙට දැම්මා. එහෙදී වොලිබෝල් ටීම් එකෙත් හිටියා. පුතාට මේ සිද්ධ වුණ දේ ගැන මට තවමත් හිතා ගන්න බැහැ. අනතුරින් පස්සේ නුවන් කුලසේකරගේ තාත්තත් මා එක්ක දුරකථනයෙන් කතා කළා. අනේ මම කිව්වා නුවන්ගේ පියාට මගේ පුතා දැන් මැරිලා ඉවරනේ. එයාගේ වැරැද්දක් තිබුණත් නැතත් දැන් ඔයාගේ පුතාව බේරගන්න කියලා. ඇය පැවසුවාය.

කෙසේ වෙතත් කුලසේකර සඳහන් කර ඇති ආකාරයට පරීක්ෂා කර බැලීමේදී යතුරු පැදිකරු පැමිණි දිශාවෙන් වූ මාර්ගය වෙන්කරන කොටසෙහි යතුරු පැදියේ පාදය තිඛෙන කොටස ඇතිල්ලී මීටර් කිහිපයක් ගොස් ඇති බවට සාක්ෂි සහිතව දැකගන්නට හැකිවී ඇත. ඒ නිසා මෙම සිද්ධියේදී කුලසේකරගේ වැරැද්දක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. නුවන් කුලසේකර බීමත්ව ඇතිදැයි පරීක්ෂ කර ඇති අතර එහිදීද ඔහු මත්පැන් නොබී සිටි බවට තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

දිනේෂ්ගේ නැග‚ය ඉෂාරා අංජලී (21) මෙසේ පැවසුවාය.
මම කැම්පස් නිවාඩුවට ගෙදර ඇවිත් යද්දී හැමදාම අයියා මාව පහත්ගමට ගිහින් ඇරලනවා. ඇරලවල බස් එකට නග්ගලා තමා අයියා ආපහු ගෙදර යන්නේ. අයියා ඉස්කෝ‍ලේ කා‍ලේදී නුවන් අයියා ගැනත් නිතරම කියනවා ගෙදරදී. අයියා මටත් ගොඩක් ආදරෙයි. මගේ ඉගෙනීම්වලටත් උදව් කරනවා. නිවාඩු ඇවිත් යද්දී සල්ලි එහෙමත් දෙනවා.

අයියට යතුරුපැදියක් තිබුණා. ඒ යතුරුපැදිය මිට මාස කීපයකට පෙර හොරු අරන් ගිහින් තිබුණා. අයියා ඒක හොය හොයා ‍පොලිසිවලට ගියා. හමුවුණේ නෑ. ඊට පස්සේ අයියා වැඩ කරලා දුක් මහන්සියෙන් හම්බ කරලා තවත් යතුරුපැදියක් ගත්තා. ඒ යතුරුපැදිය තමයි අයියගේ අවසානයට මුල් වූ ඔය අනතුරට ලක් වුණේ.

එදා 18 දා රෑ අයියා ගෙදර ආවේ නෑ. මීගමුවේ මළගෙදරක ගිහින් 19 දා උදේ ඇවිල්ලා තමයි බයික් එකෙන් කොළඹ ගිහින් තියෙන්නේ. අයියා අනතුරට ලක් වෙලා තියෙන්නේ ආපහු එද්දී. අනේ මගේ රත්තරන් අයියා. කාවවත් රිමාන්ඩ් කෙරෙව්වා කියලා අපේ අයියා ආයේ එන්නේ නෑනේ.

අනෙක මේ අනතුරට හේතු වූ අනෙක් වාහනය අරන් ආපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් අයියාගේ යාළුවෙක්.˜

මියගිය අරවින්දගේ පියා වන පාලිත නිශ්ශංක මහතා,

”මම ගෙදර හිටියේ නෑ පුතා යනකොට. මගේ අරවින්ද පුතා හරි කල්පනාවෙන් තමයි යන්නේ. හරි නිහ” ළමයෙක්. වොලිබෝල් ක්‍රීඩාවේ විශිෂ්ට දස්කම් දැක්වූ දරුවෙක්. එයාට හැමෝම කීවේ මායා කියලයි. ප්‍රසිද්ධ නම මායා. මගේ රත්තරන් පුතා අපිට හිටපු එකම කොල්ලා. යැයි කියමින් හඩන්නට පටන් ගත්තේය. මගේ උරහිසේ ආබාධයක් නිසා මම රැකියාව කරන්නේ නෑ. අපේ ගෙදර හැම වැඩක්ම එයා කැපවීමෙන් කළා ඔහු කීවේය. දිනේෂ් අරවින්දගේ වියෝවෙන් කම්පා වූ හිතමිතුරන් සහ ඥාතීහු රැසක් මෙහි පැමිණ සිටියය.දිනේෂ්ගේ අවසන් කටයුතු 21 දා සවස නිට්ටඹුව, මාඉඹුල සුසානභූමියේ දී කිරීමට නියමිතය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button