පළකල දිනය : Mon, Oct 3rd, 2016

වැලි කැපූ වළේ නාන්න ගිය පොඩ්ඩො ජිවිතයේන් සමුගත් දුක හිතේන කතාව

gossip-news-two-students-drown-in-sand-pit-in-negomboකොච්චිකඩේ උඩංගාව ප්‍රදේශයේ මහා පරිමාණයේ වැලි ජාවාරම්කරුවන් විසින් වැලි කපා ඉවත් කර ගැනීමෙන් පසුව ඉතිරිවූ ඉඩමේ අක්‌කර තුනක්‌ පමණ වූ ජලය පිරුණු විශාල වළේ නෑමට ගිය සිසුන් දෙනෙකු එම වළේ ගිලී මියගොස්‌ ඇති අතර අසාධ්‍ය තත්ත්වයට පත් තවත් සිසුවකු ප්‍රතිකාර සඳහා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර ඇත.

සැප්තැම්බර් මස 30 දා සවස සිදුවූ එම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ කොච්චිකඩේ තෝප්පුව රෝමානු කතෝලික විදුහලේ ඉගෙනුම ලැබූ උඩංගාවේ පදිංචිව සිටි රංජිත් කුමාර ධනුෂ්ක (14) සහ කොච්චිකඩේ ෆනෑන්ස්‌ වත්තේ පදිංචිව සිටි රාමක්‍රිෂ්ණන් ප්‍රියදර්ශන (19) නමැති සිසුන්ය.

අසාධ්‍ය තත්ත්වයෙන් මීගමු දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ උඩංගාවේ පදිංචි විනෙර ක්‍රිෂ්ණා (14) නමැති සිසුවාය. මීගමුව හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය කීර්ති වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ 1 දා මරණ පරීක්‌ෂණය පැවැත්විණි.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම වැලි කැණිම් භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ අවසරය මත 2011 වසරේ ආරම්භ කර ඇති බවය. වැලි ජාවාරම්කරුවන් විසින් වැලි කපා ඉවත් කර ගැනීමෙන් අනතුරුව එම විශාල වැලි පතල්වලට වතුර පිරී කුඩා වැව් බවට පත්ව ඇත. මෙම පතල් ගොඩ කිරීමට පතල් සහ භූ විද්‍යා කාර්යාංශය මගින් ලබා දී තිබූ උපදෙස්‌ අනුව ක්‍රියා නොකළ වැලි පතල් හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදාවී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය සිරිජයන්ත කීර්ති වික්‍රමරත්න මහතා අදාළ වැලි පතල් හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට කොච්චිකඩේ පොලිසියට නියෝග කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button