පළකල දිනය : Sat, Oct 22nd, 2016

පොලිස්‌ වෙඩි වලින් යාපනය සරසවියේ සිසුන් මියගිය බවට සනාථයි

jaffna-2පොලිස්‌ අණ නොතකා යතුරුපැදියකින් යමින් සිටි යාපනය සරසවි ශිෂ්‍යයන් දෙදෙනකුට යාපනය කොකුවිල් ප්‍රදේශයේ දී පොලිසිය වෙඩි තබා ඇති අතර එම සරසවි ශිෂ්‍යයන් දෙදෙනා මියගොස්‌ ඇත.

ඊයේ (21 දා) අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් සරසවි ශිෂ්‍යයන් දෙදෙනා මියයැමත් සමඟම යාපනය නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වූ අතර කෝපයට පත්වූ සරසවි ශිෂ්‍යයන් යාපනය නගරයේ සහ රෝහල ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටියහ.

මෙම සිද්ධියට සම්බන්ධව යාපනය පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු, සැරයන්වරයකු, කොස්‌තාපල්වරුන් දෙදෙනකු සහ පොලිස්‌ රියෑදුරකු වැඩ තහනමට ලක්‌ කළ අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ යාපනයට පිටත් කර යෑවූ බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

යාපනය චුන්නාකම්හි නිවසක පැවති සාදයකට සහභාගි වූ සරසවි ශිෂ්‍යයන් දෙදෙනා ඊයේ අලුයම සිය නිවෙස්‌ බලා යද්දී යාපනය කොකුවිල්, කුලප්පිඩ්ඩි මංසන්ධියේ දී පොලිස්‌ නිලධාරීන් විසින් ඔවුන් නතර කිරීමට උත්සාහ කර ඇත. අධික ලෙස බීමත්ව සිට ඇති මෙම සරසවි ශිෂ්‍යයන් දෙදෙනා පොලිස්‌ අණ නොතකා පලා යැමට උත්සාහ කරද්දී පොලිස්‌ නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා තිබේ.

වෙඩිපහරකින් බරපතළ තුවාල ලැබූ සරසවි ශිෂ්‍යයන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ ඇත.

මෙම සරසවි ශිෂ්‍යයන් දෙදෙනා පොලිස්‌ අණ නොතකා යද්දී වෙඩිතැබූ බව හෙළි නොකළ එම පොලිස්‌ නිලධාරීන් මොවුන් මියගොස්‌ ඇත්තේ යතුරුපැදිය තාප්පයේ ගැටීමෙන් බව ප්‍රකාශ කර තිබේ.

යාපනය රෝහලේ වෛද්‍යවරුන් මෙම සරසවි ශිෂ්‍යයන් දෙදෙනාගේ සිරුරු පරීක්‌ෂා කර එහි වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් ලත් තුවාල හඳුනාගෙන ඇත.

පසුව යාපනය පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවූයේ මෙම සරසවි ශිෂ්‍යයන්ට වෙඩි තබා ඇති බවයි.

මෙහිදී මරුමුවට පත්වූ සරසවි ශිෂ්‍යයන් දෙදෙනා යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තුන්වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් දෙදෙනෙකි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ යාපනය කන්දරෙඩෙයි චුන්නාකම්හි පදිංචි 24 හැවිරිදි සුන්දිරාජා සුලක්‍ෂන් සහ කිලිනොච්චියේ පදිංචි නඩරාජා ගජන් නමැති සරසවි ශිෂ්‍යයන් දෙදෙනෙකි.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ සත්‍ය වසං කරමින් පොලිස්‌ නිලධාරීන් සිදුකර ඇත්තේ බරපතළ වරදක්‌ බවයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පවත්වා ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්‌පතිවරයා කියා සිටියේය.

මෙහිදී මියගිය සරසවි ශිෂ්‍යයන් දෙදෙනාගේ මරණ පරීක්‍ෂණය ඊයේ දහවල් යාපනය රෝහලේ දී යාපනය මහෙස්‌ත්‍රාත් එස්‌. සතිෂ්කරන් මහතා ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී හෙළිවූයේ යතුරුපැදිය ධාවනය කළ සරසවි ශිෂ්‍යයාගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක්‌ වැදී ඇති බවත්, අනෙක්‌ ශිෂ්‍යයා මියගොස්‌ ඇත්තේ යතුරුපැදිය තාප්පයක ගැටීමෙන් සිදුවූ තුවාලවලින් බවත්ය.gossip-news-two-university-students-killed-in-jaffna-1 gossip-news-two-university-students-killed-in-jaffna-2 gossip-news-two-university-students-killed-in-jaffna-3

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button