පළකල දිනය : Sun, Oct 23rd, 2016

සම්බන්ධය කඩන්න ලේසි වෙන්නේ නැහැ ඕවා මිනිස්‌සු කියන බොරු කතා

olgaඅපේ රටේ අලුත් පරපුරේ නළු නිළියන් ගැන කතාකරනකොට බොහෝම නිහතමානී ආකර්ෂණීය සහ දක්‍ෂ පිරිස ඉන්නෙ බොහොම සුළු පිරිසක්‌. හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී කියන්නෙ අන්න ඒ වගේ දෙන්නෙක්‌. තමන්ගෙ වෘත්තීය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන මේ දෙන්න පහුගිය දවසක විවාහ ජීවිතයටත් ඇතුළත් වුණා. ඒක නිසා එයාලගෙ අලුත් ජීවිතේ විස්‌තර සහ කලා ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු පිළිබඳව දැනගන්නත් එක්‌කම අපි වොල්ගත් එක්‌ක පුංචි පිළිසඳරක යෙදෙන්න හිතුව. ඒ එයාලට ආදරේ කරන ඔයාල වෙනුවෙන්මයි.

කොහොමද වොල්ගා මේ දවස්‌වල ?

අපි දෙන්නම ගොඩක්‌ සතුටින් කාලය ගතකරනවා. අලුත් ජීවිතේ ගොඩක්‌ ලස්‌සනයි.

අලුත් වැඩ කටයුතු එහෙම මොනවද ?

හර්ෂණ නම් මේ දවස්‌වල අර්ජුන් කමලනාත්ගේ සඳමලී නාට්‍යයේත්, කීර්ති රත්නායකගේ නාග මානික්‍යය සහ රවීන්ද්‍ර විඡේරත්නයන්ගේ නිර්මාණයක වැඩ. මගේ පැත්තෙන් ගත්තොත් ගොඩක්‌ තෝරලා බේරලා තමයි නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ. සිවගුරුනාදන් මහත්මයාගේ එකගෙයි මිනිස්‌සු නාට්‍යයටත්, නිල් අහසේ තාරකා සේ කියල නාට්‍යයකටත් සම්බන්ධ වුණා පහුගිය දවස්‌වල.

විවාහයත් එක්‌ක වැඩ කරන එක සීමා කරලද ?

අපෝ නැහැ. මම කසාද බඳින්න කලිනුත් සීමාවක්‌ ඇතිව තමයි වැඩ වලට සම්බන්ධ වුණේ. දැන් කියල ඒකෙ වෙනසක්‌ නැහැ. කසාද බැන්දයි කියල බොරු සීමා දාගන්න කිසිම අවශ්‍යතාවයක්‌ නැහැ.

විවාහ වුණාට පස්‌සෙ හර්ෂණ ඔයාට රඟපාන්න යන්න එපා කීව කියන්නෙ ඇත්තද ?

ඒක නම් අමූලික බොරුවක්‌. හර්ෂණ කවදාවත් ඒ වගේ පටු විදිහට හිතන කෙනෙක්‌ නෙවෙයි. එයාට හොඳ අවබෝධයක්‌ තියෙනවා අපේ සම්බන්ධතාවය ගැන. එයා කවදාවත් රඟපාන්න යන්න එපා කියල නැහැ. එයා තමයි මාව දිරිමත් කරන්නෙත්.

හර්ෂණ සමහර නිළියො එක්‌ක රඟපානවට ඔයා අකමැතිලු නේද ?

අනේ ඇයි මම එහෙම කරන්නෙ. කිසිම කෙනෙකුට අපේ සම්බන්ධය කඩන්න ලේසි නැහැ. අපි හොඳට තේරුම් අරන් ඉන්නෙ. නළුවෙක්‌ වුණාම ඕනිම කෙනෙක්‌ එක්‌ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි.

ඔයා වැඩිපුරම කැමති හර්ෂණ ඉන්න නාට්‍යවල රඟපාන්නලූ නේද ?

ඕවා මිනිස්‌සු කියන බොරු කතා. මම ඉන්න හැම නාට්‍යයේම හර්ෂණ නැහැනෙ. එයාට ඒ වගේ බාල මානසිකත්වයක්‌ නැහැ මම එයත් එක්‌කම රඟපාන්න ඕනි කියල. මම එහෙම හිතන්නෙත් නැහැ. එහෙම වුණොත් අපේ පැවැත්මක්‌ නැතිවෙලා යනවා.

ඉක්‌මනින්ම අම්ම කෙනෙක්‌ වෙන්න කැමති නැතිද ?

ඉක්‌මනට අම්ම කෙනෙක්‌ වෙන්න ආසාවක්‌ නැහැ. තව කරගන්න ගොඩක්‌ වැඩ තියෙනවා අපිට. අපිත් කැමතියි අපේම දරුවෙකුට. අපි ආගමානුකූලව ජීවත්වෙන දෙන්නෙක්‌. ඒ නිසා හැම දෙයක්‌ම වෙලාවට සිද්ධවෙයි කියන විශ්වාසයෙන් ඉන්නවා.

දැන්වත් වෙනමම ජීවත්වෙන්න අදහසක්‌ නැතිද ?

අපි දැන් ඉන්නෙ රාගම. ඒ වගේම හර්ෂණට මහරගමත් ගෙයක්‌ තියෙනවා. අපි ඒ දෙතැනම ඉන්නවා. කිසිම කරදරයක්‌ නැහැ කාගෙන්වත් අපේ ජීවිතවලට. කොහොමත් අපි නිදහසේ තමයි ඉන්නෙ.

විවාහයත් එක්‌ක ඔයාලගෙ ජනප්‍රියත්වය අඩුවුණා කීවොත්…

නැහැ. එහෙම නැහැ. අපි කවදාවත් අපේ සම්බන්ධය මාධ්‍යයෙන් වසන් කළේ නැහැ. නොදන්න අය පවා අපි එකට ඉන්නව දැක්‌කම තවත් ආදරේ කරනවා. එයාල කියන්නෙත් අපි හොඳටම ගැළපෙනව කියලයි. හර්ෂණට තමයි තරුණියො ගොඩක්‌ කැමති. නමුත් එයා විවාහ වෙන්න අදිමදි කළේ නැහැ. දන්න කියන ගොඩක්‌ අය කියන්නෙ සතුටින් ඉන්න කියල තමයි. ඒ නිසා ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ.

රියෑලිටි ෙවේදිකාවෙ ඔයා දකින්න නැත්තෙ ඇයි ?

මට රියෑලිටිවලට ලැබිල තියෙන්නෙ තවම එක්‌ ආරාධනයක්‌ විතරයි. මම අකමැති නිසා ඒකත් ප්‍රතික්‍ෂේප කළා. ඇත්තටම මම ගොසිප් වලින් ජනප්‍රිය වූ නිළියක්‌ නෙවෙයි. කොහොමත් මම එක වැඩකට කොටුවෙලා ඉන්න කැමති නැහැ.

මියුසික්‌ වීඩියෝවල දකින්නත් නැහැ ඔයාල දැන්

මම නම් කෙහොමත් අඩුවෙන් තමයි සම්බන්ධ වෙන්නෙ. නමුත් හර්ෂණ ඒවට සම්බන්ධ වෙනවා. මම කැමතියි ප්‍රමිතියක්‌ ඇතිව වැඩ කරන්න. මගේ ගැනට එන්නෙ නැතිනම් කිසිම නිර්මාණයක්‌ මම බාරගන්නෙ නැහැ.
ෆේස්‌ බුක්‌ අවුලකුත් වෙලා කියල ආරංචියි අපිට …

අනේ ඔව්. අපේ ප්‍රේක්‍ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්‌බුක්‌ ගිණුමක්‌ නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක්‌ පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි වැඩත් කරනව කියල ආරංචියි. ඒවටනම් රැවටෙන්න එපා.

අමිල නුවන් මධුසංඛ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button