පළකල දිනය : Wed, Oct 26th, 2016

වැඩ අඩුවුණාම මේනකාගේ අතමිට සරු වෙන රහස

menakaමේනකා මධුවන්ති කියන්නෙ කවුද?

ගොඩාක් සරලව ජීවත් වෙන සාමාන්‍ය ගෑනු ළමයෙක්.

රංගන ශිල්පිනිය නිළියක් වුණා. කෝ දැන් ඒ නිළියයි රංගන ශිල්පිනියයි.

ඒ දෙන්නම තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ජීවත් වෙනවා. වැඩ කරනවා කිව්වට කෝ ඉතිං පේන්න නෑනේ?

ටෙලිනාට්‍යවල නම් රඟපානවා අඩුයි. ඒත් මේ අවුරුද්දෙම චිත්‍රපට තුනක රඟපෑවා. අවුරුද්දෙ අන්තිමට තවත් එකක් කරනවා. ඉස්සරහට ඒවා තිරගත වෙයි.

තිරයේ දකින්න නැති වුණාට මේනකා හරි ජනප්‍රියයිනේ. කොහොමද එහෙම වෙන්නේ?

ඒක ඉතින් වෙලාව තමයි. සමහරුන් ටෙලිනාට්‍ය සීයක රඟපෑවත් ජනප්‍රිය නෑ. සමහරුන්ට ජනප්‍රිය වෙන්න එකත් හොඳටම ඇති.

ටෙලිවලට අකමැතිද? නැත්නම් ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ආරාධනා නම් ලැබෙනවා. හැබැයි ඒවා එකම විදියක ඒවා. ඒ නිසයි බාරගන්නවා අඩු. අලුත් ලස්සන ටෙලියක් ලැබිලා තියෙනවා. බලමුකො ඉස්සරහට.

වැඩ අඩුවුණාට මේනකාගේ අතමිට සරුයිලු. එහෙම වෙන්නෙ කොහොමද?

රඟපෑම මගේ වෘත්තීය නමෛයිනේ. මට ව්‍යාපාරයක් තියනවානේ.

අවුරුද්දකට චිත්‍රපට දහයක දොළහක රඟපාලත් ඒ කා‍ලේ නිළියන්ට ව්‍යාපාරිකාවො වෙන්න බැරි වුණා. අද කා‍ලේ එක ටෙලියක රඟපාන නිළිය හෙට ව්‍යාපාරිකාවක්. මේ සාර්ථකත්වයට හේතුව මොකක්ද?

ඒ කා‍ලේ ජීවත්වෙන්න නිළිකම විතරක් හොඳටම ඇති. අද තරගෙ වැඩියි. නිළියො වැඩියි. ජීවත්වෙන්න වෙන ක්‍රමයක් හොයන්න ඕනෑ. ලොකුවට නැතත් මමත් ව්‍යාපාරයක් පටන් ගත්තෙ ඒ නිසා. හැබැයි එක ටෙලිනාට්‍යයෙන් ව්‍යාපාරිකාවක් වෙන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.

අද කා‍ලේ හැටියට ව්‍යාපාරිකාවක් වෙන්න ‍ලේසිම මග නිළියක් හෝ නිරූපිකාවක්වීමලු?

ඒක ‍ලේසිම මගද කියන්න නම් මම දන්නෙ නෑ. හැබැයි ව්‍යාපාරයට පබ්ලිසිටි ගන්න නම් ඒක ‍ලේසියි.

පහුගිය කා‍ලේ ලබලා හිටපු ග්‍රහයාට වඩා දැන් ලබලා ඉන්න ග්‍රහයා හොඳද?
ග්‍රහයා නම් මාරු වුණා. මම හිතන්නෙ කලින් ග්‍රහයට වඩා හොඳයි වගේ.
අහල පහළින් ගියත් රණ්ඩුවලට නඩුහබවලට පැටලුණේ ග්‍රහයාගේ වරදින්ද? මේනකාගේ වරදින්ද?

ග්‍රහයාටත් වඩා හොඳ හිතේ වරදක් නිසා. අර කතාවකුත් තියනවානේ හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියලා.

එක බත් පත බෙදාගෙන කන යාළුවො විපතේදී කාපු පතෙත් පහරලා යනවා?
එහෙම අයත් ඉන්නවා. හොඳ යාළුවොත් ඉන්නවා.

ඒ වුණාට හොඳම යාළුවා කරදරේ වැටුණහම මේනකාත් අහක බැලුවලු?
නෑ… එහෙම කළේ නෑ… එහෙම කළා නම් අදටත් අපි දෙන්නට හොඳින් ඉන්න බෑනේ.

නිළියක්වීම දේශපාලන හිතවත්කම්වලට, දේශපාලන වාසිවලට ඉනිමගක් නේද?
ජනප්‍රියවුණාම කවුරුත් කතාබහ කරනවා. හිතවත්කම් ඇතිවෙනවා. ඒක වාසියක්ද අවාසියක්ද කියලා නම් දන්නෙ නෑ.

මැති ඇමැති වාහනවල ගමන් බිමන් යන්න, ඇමැති ආරක්ෂකයන්ගෙ ආරක්ෂාව ලබන්න මේනකා කැමති නැද්ද?

මගේ අම්මෝ ඕන නෑ.

එහෙම කරන නිළියොත් අඩුවක් නැතුව ඉන්නවානේ?

සමහරවිට එහෙම අයත් ඉන්න පුළුවන්.

ඇයි මේනකා එහෙම අය ගැන හරියටම දන්නෙ නැද්ද?

මම ඒ ගැන හොයන්නෙ නෑ. ඒ නිසා හරියටම දන්නෙ නෑ.

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමිලා නහිනවලු?

මමත් එහෙම කතාවක් අහලා තියෙනවා.

ඔය යන ගමනෙදී මේනකාට නොතෙමී, නොනැසී ඉන්න පුළුවන් වෙයිද?

එහෙම යන්න තමයි මේ උත්සාහ කරන්නෙ. තාම නම් තෙමුණෙ නෑ.

ආදරයකට හිත පැටලෙද්දි මොනවද හොයන සුදුසුකම්?

මට මාව අමතක කරන්න පුළුවන් තරමටම ආදරය කරන කෙනෙක්.
ආදරයට කොහෙද බාධා නැත්තේ. මේනකාගේ ආදර අන්දරවලටත් නොසෑහෙන්න බාධා ආවාලු?

මගේ ආදරවලට තරමක් ආවේ බාධා විතරයි.

දැන් පැටලිලා ඉන්න ආදරටත් බාධා තියනවාද?

මම ආදරයක පැටලිලාද?

ඇයි නැද්ද?

මම දැනුවත්ව නම් නෑ. එහෙම නම් මම විවාහවෙන්න තවත් පරක්කු වෙන්නෙ නෑ.
එහෙනම් එයා තාම විවාහයට සුදුසු නැතුව ඇති?

විවාහයට සුදුසු කෙනෙක් තාම මුණ ගැසුණෙ නෑ. ඒක පිරිමින්ගෙ වරදක් නමෛයි මගෙ වැරැද්දක්.

මොකක්ද වැරැද්ද?

තාම කාටවත් මාව තේරුම් ගන්න බැරි වුණා. එහෙම කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.

සමහර නාලිකාවල තරු වැඩසටහන් මේනකාට අකැපයි කියන්නෙ ඇත්තද?
ම්හ්… එහෙම වෙලා තියෙනවා… හේතුව අදටත් ප්‍රහේළිකාවක්. හැබැයි මම බලෙන් යන්නෙත් නෑ.

ජනප්‍රිය නාලිකාවක ජනප්‍රිය නිවේදකයෙක් මේනකා එක්ක තියන කෝන්තරය මොකක්ද?

අනේ මංදා… මටත් එහෙම ආරංචියි…. හැබැයි මම ඔහුට වරදක් නම් කරලා නෑ…
මෙහෙම ගිහින් මේනකාගේ අනාගතයට මොකක් වෙයිද?

හැමදේම හොඳින් වෙන්න කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ.

හිමේෂා සවන්ති රාජපක්ෂ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button