පළකල දිනය : Fri, Nov 4th, 2016

අමරදේවයන් අවසන් වරට කළ පිළිසඳර

veteran-musician-w-d-amaradevaඔබතුමා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වාද්‍ය ශිල්පියකු ලෙස ද? ගායන ශිල්පියකු ලෙස ද?
ඇත්තෙන් ම මා වාදනයෙන් හා ගායනයෙන් යන අංශ දෙකෙන් ම ක්ෂේත්‍රයට පැමි‚ අයෙක්. බොහෝ දෙනා මා හඳුනාගන්නා ආකාරයට මා දක්ෂ වයලින් වාදකයෙක්. ඒ වගේ ම ගායකයෙක් වශයෙනුත් නොමඳව මා සම්භාවනාවට පාත්‍ර වී තිඛෙනවා. වරක් ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් රතන් ජංකර් පඬිතුමා මෙරටෙහි කළ සංචාරයකදී මා කළ නිර්මාණයක් ඔහු ඉදිරියේ දැක්වීමට මට අවස්ථාව ලැබුණා.

එයට ඉතා ආසාවෙන් සවන්දුන් එතුමා මගේ නිර්මාණය ඉතා ඉහළින් වර්ණනා කළා. එපමණක් නොවෙයි. මා එදා ඉදිරිපත් කළ නිර්මාණය නිසා විශිෂ්ට ගණයේ ගායන ශිල්පියකු ලෙස ශේ‚ගත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට යෑමට ලංකාවේ අයට ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ වුණේ. මෙසේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා. ඒ වගේ ම ඩි.බී. ධනපාල මහත්මයත් ඒ උපදේශක සභාවේ උපදේශකයකු වශයෙන් කටයුතු කළා.

මේ දෙපළ ම තීරණය කළා මා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා භාරතීය සංගීත විද්‍යාලයකට යැවිය යුතුයි කියලා. ඊට ඛෙහෙවින් ම ඉවහල් වුණේ මා සැළලිහි‚ සන්දේශය ආශ්‍රයෙන් ඉදිරිපත් කළ කවි ගායනාවත්, ඒ වෙනුවෙන් නිර්මාණය කළ සංගීත ඛණ්ඩයත්.ඒ අනුව මට 1953දී භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයට යෑමට වරම් ලැබුණා. තවත් යමක් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. ඒ තමයි එතෙක් ඇල්බට් පෙරේරා නම් වූ මා, එතැන් පටන් අමරදේව යන නාමයෙන් හැඳින් වීම. ඒ නාමය මා හට ප්‍රදානය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මා. මා එය මේ මොහොතේ දී කෘතවේදීව සිහිපත් කරනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලිසංස්ථාවේ විශිෂ්ට ශේණියේ ගායකයකු හා වාදකයකු ලෙස කටයුතු කළ අතීත මතකය අවදි කළොත් ?
එවකට ගුවන්විදුලි සංස්ථාවේ තිබුණා ශිල්පීන් වර්ග කරන පරීක්ෂණයක්. එය ඉතා හොඳින් සංගීත හැකියාව මැන බැලු පරීක්ෂණයක් කිවුවොත් නිවැරදියි. ඉන් මා විශිෂ්ට ලෙස සමත් වී 1940 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගායකයකු හා වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු ආරම්භ කළා. ජන ගී, ජන කවි ආදිය ආශ්‍රයෙන් විවිධ පර්යේෂණ අත්හදා බැලීම් සිදු කරමින් දේශීය සංගීත සම්ප්‍රදායක් ගොඩනැඟිමේ කාර්යයට මහත් කැප වීමෙන් මා වෙහෙසුණු කාලයක් ඒක.

මොන විදිහෙ පරිසරයක ද ඔබ ඒ අත්හදා බැලීම් සිදු කළේ?
මට මතකයි ඒ කාලෙ ඩෝල්ටන් අල්විස්, මඩවල එස්. රත්නායක, විමල් අභයසුන්දර වැනි විශිෂ්ට ගණයේ සංගීතවේදීන්ගේ ඇසුර නොමඳව ලබමින් විවිධ නිර්මාණ බිහි කළා ‘රන්වන් කරල් සැලේ’, ‘මුහුදු ගියා’ ආදි නිර්මාණ බිහි වන්නේ ඔය කාලයේදි.

විශිෂ්ට ගේය පද රචකයකු මෙන් ම දුර්ලභ ගණයේ කවියෙක් තමයි මහගම සේකර මහත්මා. ඔබතුමාගෙ නම ළඟට බොහෝසෙයින් ම ඈදුණු නම තමයි ඒ නම.
මට මහගම සේකරව හමු වන්නේ පණහේ දශකයේදි පමණ. ඒ කාලේ හැමෝම වගේ අපි දෙන්නට කිවුවේ ‘ගී පොතයි මී විතයි’ කියලා. ඒ තරමට ම නිර්මාණ කාර්යයේදී අපේ සුසංයෝගය ජනතා ප්‍රසාදය දිනාගෙන තිබුණා. ‘මධුවන්තී ගීත සාජ්ජය’ අපි දෙන්නගෙ කූඨප්‍රාප්ති අවස්ථාව කියලා කිවුවොත් වඩාත් නිවැරදියි. ස්වර වර්ණනා, ජන කවි, ජන ගායනා, පැල් කවි, පාරු කවි ආදි ජනශ්‍රැතියෙන් මහත් ආස්වාදයක් ලබමින් ඒවා පදනම් කරගනිමින් විවිධ වූ විශිෂ්ට ගණයේ නිර්මාණ අමරදේව – සේකර සුසංයෝගය හරහා උප්පත්තිය ලැබුවා.

මහගම සේකර මහත්මයා විසින් නිර්මාණය කළ ‘දුකට කියන කව් සී පද’ වගේ නිර්මාණයක් ගත්තහම මෙරට ජනකවියේ රුව ගුණ නොඅඩුව පෙනෙන පද්‍ය නිර්මාණයක්. ඔබ එමඟින් ගීතයක් නිර්මාණය කළා?
ඇත්තෙන් ම ඔබ පැවසුවා නිවැරදියි. ජන කවිය හා එහි රුව ගුණ සේකරයන් හොඳින් ම හඳුනනවා. එහි වර්ණ, එහි රූපය එහි ධ්වනි හොඳින් ම කැටිකරගත් නිර්මාණකරුවෙක්. ‘පිලේ පැදුර හේනට අරගෙන එනවා’ කියන ගීතය අහලා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කළ ප්‍රකාශයක් මට මතකයි. ඔහු මේ පද්‍ය රචනාව ඉමහත් අගයකින් යුතුව වර්ණනා කළා. එය ‘පැල් කවිය’ හොඳින් අධ්‍යනය කර අවශෝෂණය කරගෙන කරන ලද නිර්මාණ කාර්යයක් හැටියටයි ඔහු හැඳින්වූයේ. ඒ වගේ ම මා ඒ නිර්මාණය සඳහා තිලක් කාමොද් හා දේශ් නමැති උත්තර භාරතීය රාගවලින් පෝෂණය වී ස්වීය නිර්මාණ කාර්යයක් කළ බවයි ඔහුගේ හැඟීම වුණේ.

ගීතය හා සංගීතය පිළිබඳව ඔබතුමා දක්වන ආකල්පය මොන වගේ ද?
රාගය නම් ස්වර වර්ණ විභූෂිත නාද සෞන්දර්යයි. ඒවා ජන චිත්ත රංජන කිරීම සඳහා සමත් වූ නාද විය යුතුයි. මේ කියමන ඕනෑ ම සංගීතයකට එක ලෙස අදාළයි. මේ තමයි සංගීතයේ නිර්වචනය ලෙස මා දකින්නේ. යථානුරූපි සංගීතයේදී නාදය ප්‍රධානයි. එහෙත් ජනප්‍රිය සංගීතය හැටියට ගීතය කවදත් සුපතළයි. ගේය කියලා කියන්නෙම ගායනයට උචිත කියන අදහසයි. සංගීතය වෙනම ම නිර්මාණ කාර්යය සඳහා යොදාගත හැකියි. ගීතය නොමැතිව සංගීතය පැවතිය හැකියි. කෙසේ නමුත් මේ දෙකෙහි ම සුසංයෝගයෙන් නිර්මාණය වන ගීතය ජන මනසට වඩාත් ඉක්මනින් ළං වීමේ ශක්‍යතාව අතින් විශේෂ තැනක් හිමි කරගෙන තිඛෙනවා.

වත්මන් ගේය පද රචනා හා සංගීත භාවිතාවන් පිළිබඳව ඔබ මොන වගේ අදහසක් ද දරන්නේ?
නව්‍ය සංගීතය කියලා දෙයක් ජනප්‍රිය වෙලා තියෙනව තමයි. එහෙත් මැනැවින් ගීතයේ හා සංගීතයේ හරය හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදෙනවා නම් තමයි ඒවා වඩාත් සාර්ථක නිර්මාණ බවට පත් වන්නේ. නවක දක්ෂ සංගීතඥයන් ඉන්නවා. නමුත් මේ අය අතරින් බොහෝ දෙනා පෙර අපරදෙදිග මහා සම්ප්‍රදායන් දෙක මැනවින් ගවේෂණය නොකරන බවයි පෙනෙන්නේ. මේ සමප්‍රදායන් දෙක ගත්තහම පෙරදිග සංගීත සම්ප්‍රදාය වඩාත් හෘදයංගමයි. අපට සමීපයි. එමzගින් හද වෙණ තත් කම්පනය කර හෘදය සංවේදී ආස්වාදයක් ලබාදෙනවා.

උත්තර භාරතීය රාගධාරි සංගීතයෙන් පෝෂණය වී බොහෝ නිර්මාණ මා අත්හදා බලා තිඛෙනවා. හැබැයි ඒවා හුදු අනුකරණ නොවෙයි. මෙරට දේශීය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් කළ නිර්මාණ. පෙරදිග හා බටහිර සංගීත සමප්‍රදායන් මැනවින් අධ්‍යයන කළ යුතුයි. පර්යේෂණ කළ යුතුයි. එහෙත් ඒ නිර්මාණ හරහා අපේ අනන්‍යතාවට හානි නොවිය යුතුයි.

උදාහරණයකට ‘නිල් මානෙල් මල් පිපුණා’ කියන ගීතය අරගෙන බැලුවොත්, එයට ආභාසය ලබා තිඛෙන්නේ රවි ශංකර්ගේ ධූන් වාදනයකින් හා වංග ජන ගායනා ආශ්‍රයෙන්. ඒත් එහි දේශීය අනන්‍යතාව මැකී ගොස් නැහැ. ප්‍රේමසිරි කේමදාස පවා මැනැවින් බටහිර සංගීත සම්ප්‍රදාය ඇසුරු කළ අයෙක්. ඔහුගේ නිර්මාණ අප සිත් ඇදබැඳගන්නේ අපේ අනන්‍යතාව රැකගෙන කළ නිර්මාණ නිසයි. මේ වෙනස් හඳුනාගැනීමේ අඩුව වර්තමානයේ තිඛෙනවා. හැබැයි ඒ අය අතර දක්ෂ අයත් සිටිනවා. කසුන් කල්හාර එවැනි දක්ෂ තරුණයෙක්.

ඔබ ඇසුවා ගේය පද රචනා පිළිබඳව. අපි උදාහරණයකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව නම් කළොත් එතුමා පවා සැළලිහි‚ සන්දේශය, පරෙවි සන්දේශය, හංස සන්දේශය ආදි සන්දේශ සාහිත්‍යය හා බෞද්ධ සාහිත්‍යය ආදිය ඇසුරු කරමින් නිර්මාණකරණයෙහි නියැලුණා. මනමේ නාටකයේ එන ‘දුලා නෙතුපුලා’, ‘ළප නොමවන් සඳ සේ සොමිගුණෙනා’ ආදි ගී ගත්තත්, සිංහබාහු නාට්‍යයේ එන සිංහයා දරු වියෝව වෙනුවෙන් ගැයෙන ගීතය ගත්තත් අපට මේ බව මනාව අවබෝධ වෙනවා. එහෙත් අද ගේ පද රචනාවලට යොමු වන සමහරුන් සන්දේශ සාහිත්‍යයේ ආභාසය ලැබුවත් එහි රුව ගුණ, වර්ණය, ධ්වනි ගුණය ආදි අවබෝධ කරගෙන නෑ. ඔබ පෙර කිව්ව ‘පිලේ පැදුර’ ගීතය ගත්තත් ඒ වගේ පැල් කවිය මනාව හඳුනාගෙන කළ නිර්මාණ.

එහි රස නුසුන්කොට නිර්මාණය කර තිඛෙනවා. සාම්ප්‍රදායික සාහිත්‍ය හා නාද රටා ඇසුරෙන් අපට නව්‍ය සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායක් ගොඩනැඟීමට හැකි වුණා. ‘මහ බෝ වන්නම’ වුණත් වන්නම් පිළිබඳව මනා අධ්‍යයනයකින් යුතුව කළ නිර්මාණයක්. ඇත්ත වශයෙන් යථානුරූපි සංගීතය නිසි ආකාරව හඳුනාගැනීම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ඉවහල් වන බවයි මගේ හැඟීම. ‘සියබස්ලකර’ සාහිත්‍ය කෘතියේ මෙසේ සඳහන් වෙනවා.

කාව්‍ය සම්පත්තියට හේතු වන කාරණා හැටියට ගැනෙන්නේ නිසර්ග සිද්ධ ප්‍රතිභානය, ජන්මාන්තර කෘත පුණ්‍ය වාසනා ගුණය, බහුශ්‍රැත ඇසුර, ව්‍යුත්පත්ති ඥානය, සතතාභ්‍යාසය.‘වියොවුදු දේවේ’ කලා සම්පත්තිය හේතු වෙනවා. මෙන්න මේ නිසා ගේය පද රචකයකු සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කිරීම අතිශය වැදගත්.

මේ නිහඩතාව බිඳිමින් නව නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද?
පවතින ශරීර සෞඛ්‍ය තත්ත්වය මත යම්කිසි ආකාරයකට විවේකි ජීවිතයක් තමයි මා ගත කරමින් සිටින්නේ. ඒ වුණත් නිතර නිතර යටගිය දේවල් ආවර්ජනා කරමින්,මඟ හැරුණු තැන් ගැන සිහිපත් කරමින්, සමාලෝචනය කරමින්, දැනුවත් වෙමින් තමයි මම කාලය ගත කරන්නේ. ශරීර සෞඛ්‍ය තත්ත්වය යථාතත්ත්වයට පැමිණි වහා ම මා නිර්මාණකරණයේ යෙදීමට බලාපොරොත්තු වෙනවා.

රසික කොටුදුරගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button