පළකල දිනය : Sat, Nov 19th, 2016

අමරදේවයන්ගේ පුත් සිය පියාගේ අවසන් මොහොත ගැන කියන දුක්බර කථාව

අමරණිය හඬ පිළිබඳ මතකය විතරක් ඉතිරි කරමින් “අමර සඳ” බැස ගියේ ය. හැට වසරකට වැඩි යුග මෙහෙවර නිමවා, පද්ම ශ්‍රී පණ්ඩිත අමරදේවයන් දෙව්ලොව ගිය දවසේ මේ රටේ සුප්‍රකට කලාකරුවන්ගේ පටන් කුඩාම රසිකයා දක්වා වන කවුරුත් කඳුළු හෙළුෑහ. එතුමන්ගේ පුතු රංජන අමරදේව තවමත් රිදුණු සිතිනි. ලොවක් ආදරය කළ කලාකරුවාගේ අන්තිම මොහොත ගැන තතු අහන්නට අපි රංජන මුණගැසුණෙමු.

තාත්තා කාලයක් තිස්සේ පෙණහලු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා වින්දා. විටින් විට ඇදුම තත්ත්වයක් තිබුණා. ඒ වගේම අධි රුධිර පීඩනයට ඛෙහෙත් බිව්වා. මේ රෝගවලින් සුවපත් වෙමින් ජීවත් වෙන්න එතුමාට බොහොම ළෙන්ගතු වෛද්‍යවරු පිරිසක් උදව් කළා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ විශේෂඥ වෛද්‍ය ගාමිණි ගලප්පත්ති කියන නම් දෙක සිහිපත් කරන්නම ඕන. තාත්තා කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගත්තේ කොළඹ මහ රෝහලෙන්. එතැන ඒ වෛද්‍යවරු ඇතුළු මුළු සේවක මණ්ඩලයම තාත්තාට සැලකුවේ තමන්ගේ ගෙදර තාත්තාට සලකන විදියටමයි. ඇත්තටම වියපත් වීමත් සමග ආපු මේ රෝග තත්ත්වයන් එක්ක සටන් කරන්න කොළඹ මහ රෝහලෙන් ඒ ලැබුණු ශක්තිය තාත්තාට උදව් කළා කියලා මට හිතෙනවා. රංජන අමරදේව කතා කරන්නේ පැහැදීමෙනි. සංගීතයෙන් රටක් සැනහු අමරදේවයන්ට කොළඹ මහ රෝහ‍ලේ කවුරුත් කළ ගුණ සලකා තිබිණැයි අපට සිතෙන්නට විය.

පහුගිය බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ නොවැම්බර් තුන්වැනිදා උදේ අවදිවෙනකොටම තාත්තා තරමක් අසනීප තත්ත්වයෙන් හිටියේ. උදේ හයහමාර වෙනකොට තාත්තාට හුස්ම ගැනීමේ අපහසුතාව වැඩි වෙන බව මට තේරුණා. මගේ හිත බය වුණා. ඒ වෙලාවේ කොළඹ ජාතික රෝහලට තාත්තාව අරගෙන යන්න ගියොත් අපිට ප්‍රමාද වෙන බව මට හිතුණා. මොකද උදේ පාසල් වාහන ට්‍රැෆික් එකත් එක්ක අපේ ගෙදර ඉඳලා කොළඹ ජාතික රෝහලට යන්න පැයක්වත් කාලය ගත වෙනවා. ඒ නිසා ඉකිමනින්ම ළඟම තිඛෙන ජයවර්ධනපුර රෝහලට තාත්තාව එක්කන් ගියා.
ජයවර්ධනපුර රෝහ‍ලේ දොරටුවේ හිටපු සෙකියුරිටි මහත්තයාගේ පටන් විශේෂඥ වෛද්‍ය ලලිත පියරිසි මහත්තයා දක්වා වන සියලුම කාර්ය මණ්ඩලය තාත්තාව බොහෝම ආදරෙන් පිළිගෙන කඩිනම් ප්‍රතිකාරවලට යොමු වුණා. තාත්තාට හෘදයාබාධ තත්ත්වයක් ඇතිවෙලා තිබුණා.

වෛද්‍යවරුන්ගේ අතට තාත්තාගේ ජීවිතය භාරදීලා අපි පිටතට වෙලා හිටියා. තාත්තාට දැඩි සත්කාර ප්‍රතිකාර ලැබුණා. විශේෂඥ වෛද්‍ය ලලිත පියරිසි මහත්මයා මට පුද්ගලිකවම දැනුම් දුන්නා අමරදේවයාණන් බේරාගන්න අපි කළ හැකි සියල්ලම කරන බව. ඒ වචනයම මට හයියක් වුණා.”

අමරදේවයන් ගිලන්ව ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බවට පුවතක් මාධ්‍යයෙන් පැතිර ගියේ මේ අවස්ථාවේ දීය. ඒ සිද්ධිය ගැන රංජනගෙන් අපි විමසීමු.

අමරදේවයන්ට අසාධ්‍යයි කියන ප්‍රවෘත්තිය කෙටි පණිවුඩයක් විදියට පැතිරෙන්න පටන්ගෙන තිබුණේ මේ අතරෙදියි. ඒ වෙලාවේ පටන් මගේ මෝබයිල් ෆෝන් එකට වැල නොකැඩී ඇමතුම් එන්න පටන් ගත්තා. සිය ගාණක් කෝල්… ඒවටත් පුළුවන් හැටියට මම උත්තර දුන්නා.”

මීළගට අපට රංජනගෙන් විමසන්නට තිඛෙන්නේ අහන්නට අමාරුම ආරංචිය ගැන ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය අපට අහන්නට අමාරුම බව දැනගෙන ඔහුම ඒ කතාවට මුල පිරුවේය.

තාත්තා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරලා ටික වේලාවක් යනකොට අක්කා, අම්මාව එක්කගෙන රෝහලට ආවා. අම්මා එතැනට ආවේ එන්න පුළුවන්කමකට ‍නෙවෙයි. මොකද ඒක අම්මා දකින්න අකැමැතිම දර්ශනයක් බව අපි දන්නවා. ඒත් යථාර්ථයට මූණ දෙන්න එපැයි. අවසාන උත්සාහය හැටියට තාත්තාට හෘද සැත්කමක් කරන බව වෛද්‍යවරු අපිට කිව්වා. සැත්කම ඉවර වෙලා එළියට එනකොටම වෛද්‍යවරුන්ගේ මුහුණු බැලුවම මට තේරුණා තත්ත්වය හොඳ නැති බව.”

තාත්තා නැතිවුණු බව අම්මාට, මට සහ අක්කලාට කියන්නේ කොහොමද කියන එක ගැන වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් එන්න ඇති. විටින් විට ටික ටික අපට හිත හදාගන්න සංඥා දීලා අන්තිමට ඒ ආරංචිය එයාලම අපට කිව්වා. ලෝකයම කඩා වැටුණා වගේ අපි වගේම නාඳුනන අයත් කම්පා වුණා.”

ර්‍ණමගේ උර මතට ආවේ මහා ලොකු වගකීමක්. මොකද රටක් ආදරය කරපු, මගේ තාත්තාගෙ අවමංගල උත්සවය කොහොමද කරන්න සුදුසු කියලා අපි හිතුවා.”

මියගිය දවසක දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට දෙන්න තාත්තා සහ අම්මා කතා වෙලා ඉන්න ඇති. අම්මා අපට කීවේ ඒ තීරණය ඉටු කරමු කියලයි. නමුත් තාත්තා අපේ වුණත්, අපට අයිති නැහැ කියලා ඒ මොහොතෙම අපි හැමෝටම තේරුණා. තාත්තා රටට අයිති සම්පතක්. ඒ වගේ ආදර”ය ප්‍රසිද්ධ කෙනකුගේ දේහයක් වෛද්‍ය විද්‍යාලයට දුන්නත්, භාරගන්න ලොකු කැමැත්තක් වෛද්‍යවරුන්ගේ නැති බවත් අපට තේරුණා. මොකද ‘අමරදේව සර්ට කොහොමද ඒ දේ කරන්නේ” කියන ගැටලුව එයාලටත් තිබුණා. අන්තිමේ දී තාත්තාට ආදරය කළ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තීරණය වෙනස් කරන්න අපේ අම්මා කැමැති වුණා.

සුනිල් ෆොන්සේකා මහතා, සුනිල් ආරියරත්න මහතා සහ ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුත්, අමාත්‍යාංශ නිලධාරීනුත් තාත්තාගේ අවමංගල්‍යය බොහෝම ගරු ගාම්භීර විදියට සිද්ධ කරන්න සැලසුම් සකස් කළා. ඒක එතුමාට කරපු ලොකු ගෞරවයක් කියලා මට හිතෙනවා…” රංජන පවසයි.

ඔය යෝජනා අතරේ අමරදේවයන්ගේ දේහය සංරක්ෂණය කරමු කියලත් කාගෙන් හරි යෝජනාවක් ආවා. ඒ අදහසට නම් අපි කවුරුත් විරුද්ධ වුණා. මොකද එක අතකින් ඒක අපේ සංස්කෘතිය නමෛයි. අනික් අතට අමරදේවයන්ගේ නිර්මාණ සහ එතුමාගේ දර්ශනය මිස නිසල දේහය කල් තබා ගැනීම පුහු වැඩක් කියලයි අපට හිතෙන්නේ…” ඒ යෝජනාව අනුවණ එකක් බව පැහැදිලිය. ඒත් අමරදේවයන් පිළිබඳ මේ රටේ කා තුළත් ඇති අසීමිත ආදරය සහ හැඟුම්බර භක්තිය ගැන ඡායාවක් ඒ යෝජනාවේ තිඛෙනු අපි දකිමු.

තමන් නැති දවසක් ගැන අමරදේවයන් කියා ඇති කතා මොනවාදැයි රංජනගෙන් අහන්නට අපට සිත් විය.

ලෙඩ වෙලා වෛද්‍යවරු හමුවෙන්න ගියාම ර්‍ණමම ඉතින් වැඩිකල් ඉන්නෙ නෑනේ කියන කතාව තාත්තා හැමදාම කියනවා. ‘මොනවද මේ කියන්නෙ සර්… බලන්නකො අපට වඩා තරුණයිනෙ” කියලා වෛද්‍යවරු තාත්තාට විහිළු කරනවා. තාත්තා නැති දවසක අමරදේව පදනම හරහා සුපුරුදු මෙහෙවර කෙරෙන්න ඕන බව තාත්තා විශ්වාස කළා. රසවින්දනය වෙනුවෙන් සහ සංගීත ඥානය වෙනුවෙන් වැඩසටහන් කෙරෙන්න ඕන කීවා. ඒ වෙනුවෙන් අමරදේව කේන්ද්‍රය පිහිටුවන එක ගැන එතුමා සතුටින් හිටියා…”

අද කා‍ලේ ගොඩක් කලාකරුවෝ බාගෙට තැම්බුණු බිත්තර වගේ කියන කතාව තාත්තා නිතර නිතර කිව්වා. ජන, ජනප්‍රිය, සම්භාව්‍ය කියන කොටස් තුනට සංගීතය අයිති බව කීවා. හුඟක් කලාකරුවන් අද ජනප්‍රිය තලයෙන් ගමන නතර කරන එක ගැන තාත්තා දුක් වුණා. ජනප්‍රිය තලයෙන් ඔබ්බට සම්භාව්‍ය කියන මට්ටමට එන්න බහුශ්‍රැතභාවය අවශ්‍යයි.

අමරදේව කේන්ද්‍රය ක්‍රියාත්මක වෙන්න ඕන අන්න ඒ බහුශ්‍රැතභාවයට අවශ්‍ය දේ දරුවන්ට දෙන්නයි කියලා එතුමා කිව්වා. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ හිස පැලඳ තිබි කිරුළ, සිය ලෙයින් උපන් පුතකුට හෝ දුවකට තිළිණ කරන්නට බැරිවීම ගැන අමරදේවයන් දුකින් පසුවිණිදැයි අපි රංජනගෙන් ඇසුවෙමු.

කොහෙත්ම නැහැ. සංගීතය හෝ මොනම දෙයක්වත් ඉගෙන ගන්න තාත්තා අපට බලපෑම් කළේ නෑ. ඉගෙන ගන්න කියන එකත් කිව්වා නම් කිව්වේ අම්මා විතරයි. අපි තුන්දෙනාගෙන් කෙනෙක් තරුවක් කරවන්න තාත්තාට ඕන කළේ නෑ. ඒත් අපි තුන්දෙනාම සංගීතය විශාරද මට්ටමින් හදාරනකොට තාත්තා හිත යටින් සතුටු වෙන්නත් ඇති තාත්තා අපේ හැකියාවන් ගැන දැනගෙන හිටියා. රසවින්දනය, දයාව, සහකම්පනය, සරලබව වගේ දේවල් ප්‍රයෝගිකවම අපට ඉගැන්නුවා. ඒත් අපි ගායකයෝ විය යුතුයි කියලා තාත්තා කවදාවත් කිව්වේ නැහැ.”

පුංචි කා‍ලේ අපි තුන්දෙනාම තාත්තාට ආදරේ කළේ තේරුමක් ඇතිව නමෛයි. තාත්තෙක් හැටියට තාත්තාට ආදරේ කළා. ඒත් වයසින් වැඩෙනකොට ජාතික සම්පතක් හැටියට අපේ තාත්තාව රැකබලා ගන්න ඕන බව හිතුණා. අම්මා නම් ජීවත් වුණේම තාත්තාව රැකබලා ගන්නමයි. මේ වියෝව අම්මට මේ තරම් දරාගන්න අමාරුත් ඒ නිසයි. රංජනගේ වචන හිතට දුක ගෙන එයි. සිංහල සංගීතයේ යුගයක අවසානය දෑසින් දකින්නට අප පව් කර තිබිණි. ගුරු අමරදේවයන්ට නිවන්පුර යන්නට දශක හයක් පුරා අපේ සිත් සතුටු කළ පිනම සෑහේ.

සාවිත්‍රි විතානගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button