පළකල දිනය : Mon, Nov 21st, 2016

අනූෂාට රන්ජන්ගේ ඉල්ලීම අහකදාන්න බැරිවෙලා

රියෑලිටි වැඩසටහනක්‌ හින්දා කාර්යබහුල වෙලා කියන්නේ ඇත්තද?
ඔව්. දෙරණ ස්‌ටාර් සිටි දෙක රියෑලිටි වැඩසටහන හින්දා කාර්යබහුල වෙලා ඉන්නේ.

මුලින්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැහැ කිව්වා කියන්නේ ඇත්තද?
ඔව්. ගියවර වැඩසටහනේ සුපර් ගැන්ස්‌ටර් කණ්‌ඩායම කිරුළ දිනාගත්තා. ඒක හින්දා මම විනර් කෙනෙක්‌. ඒකයි බැහැ කිව්වේ.

එහෙනම් අන්තිමේ භාරගත්තේ ?
විනර් කෙනෙක්‌ නැවත තරග කරන්න යනවා කියන කාරණාව ගැළපෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි දෙරණ ආයතනය සහ රන්ජන් රාමනායකගේ ඉල්ලීම අහක දාන්න බැරිවුණා.

රන්ජන්ගේ ඉල්ලීම අහක දාන්න බැරි ඇයි ?
ඇත්තටම රන්ජන් අයියාගේ ඉල්ලීම අහක දාන්න බැහැ. මොකද මම සිනමාවට ආපු කාලයේ ඉඳන් ඔහුගේ හැම සිනම පටයකටම මාව දායක කරගත්තා. අනික අපේ මිත්‍රකමත් ඒකට බලපෑවා. අනික ඔහු දේශපාලනය හින්දා කාර්යබහුලයි. ඒක හින්දා ඔහු මගෙන් ඉල්ලීමක්‌ කළා මට උදව් කරන්න ඕනෑ කියලා.

ඊට පසුව අනූෂා මොනවාද රන්ජන්ට කිව්වේ ?
මම කිව්වා මම විනර් කෙනෙක්‌. මට ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න බැහැ සොරි අයියේ කියලා කිව්වා.

ඒත් ඔහු ඒකට කැමැති වුණේ නැහැ. පස්‌සේ දෙරණත් මට ඉල්ලීමක්‌ කළා.
රෝයල් කින් කණ්‌ඩායමේ නායකයා රන්ජන් වුණාට සියල්ල මෙහෙයවන්නේ අනූෂා කියන්නේ ඇත්තද?

නැහැ. මට අත්දැකීම් තියෙන හින්දා ඒවා මම යෝජනා කරනවා.
ඒ යෝජනාවලට රන්ජන් විරුද්ධවෙනවා කියන්නේ ?

කිසිවිටක විරෝධයක්‌ එන්නේ නැහැ. රන්ජන් අයියා දේශපාලනඥයෙක්‌ වුණාට හරියට පොඩි ළමයෙක්‌ වගේ. කියන දේ අහනවා. හරි සරලව ඉතාම හොඳින් කටයුතු කරනවා. අපි හැමෝටම ඇහුම්කන් දෙනවා. අපි පස්‌දෙනාගෙම අදහස්‌ තමයි අන්තිමේ නිරූපණය වෙන්නේ.

දුලීකාට වඩා රන්ජන්ගේ නායකත්වය හොඳයිද?
මම හිතන්නේ දුලීකා මාරපන කියන්නේ හොඳ නායකත්වයක්‌. ඒක හින්දානේ අපි දිනුවේ. රන්ජන් සරල නායකයෙක්‌. එයා ලොකුවට හිතන්නෙ ත් නැහැ. අඩුවෙන් හිතන්නෙත් නැහැ. රන්ජන් ලංකාවේ සුපර් ස්‌ටාර්. හොඳ අරමුණක්‌ තියෙන හින්දානේ එතැනට ආවේ.

ඔබට නායකත්වයක්‌ හිමිවුණානම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?
මට මුලින්ම ආරාධනා කළේ නායකත්වයට තමයි. නමුත් මම කැමැති වුණේ නැහැ. මම ලකුණු දාගන්න අකමැති චරිතයක්‌. මොකද අනෙක්‌ අයගේ හිත රිදෙයි කියලයි මට හිතෙන්නේ.

ඔයයි රන්ජනුයි දේශපාලන වශයෙන් සිටින්නේ මත දෙකක නේද?
ඔව්. මම අදටත් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට. හැබැයි රන්ජන් වත්මන් ජාතික ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌. නමුත් අපි කලාකරුවෝ. කලාවේදී පක්‍ෂ පාට දේශපාලනය අදාළ නැහැ. ඒ හින්දා තමයි මම ඔහු සමඟ මේ වැඩකටයුත්තට අතගැසුවේ.

රියෑලිටිවලට දායකවුණා ඇති කියලා හිතෙන්නේ නැතිද?
ඇත්තටම ඇති. මම ආපහු ස්‌ටාර් සිටි වැඩසටහනට සහභාගිවෙනවා කියන මතයේ හිටියේ නැහැ. අනෙක්‌ අයට අවස්‌ථාවක්‌ දෙන්න ඕනෑ කියන මතයේ තමයි මම හිටියේ.

ජනප්‍රිය නිළියක්‌ අනූෂාගේ කණ්‌ඩායමට එන්න හිටියා කියන්නේ ඇත්තද?
මම ඒ කියන කතාව දන්නේ නැහැ. මට දැඩි ඉල්ලීමක්‌ කළා. ඒක විතරයි මම දන්නේ නැහැ.

සංජය නිර්මාල්ගේ ළමා නාට්‍යයකට දායකවුණා. එහෙම නේද?
ඔව්. බෝධි කියන ටෙලිනාට්‍යයේ රතී මැ‚කේ කියන චරිතය තමයි මම කරන්නේ.

මේ දවස්‌වල ගුරුකම් කරනවා කියන්නේ ඇත්තද?
මගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස්‌ කරලා රතී මැණිකේ කියන චරිතයේ මම ගුරුකම් තමයි කරන්නේ. ඒ වගේම තවත් ටෙලිනාට්‍යයකට සම්බන්ධවුණා.

සිනමාවට වඩා ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙන්නද හදන්නේ ?
නැහැ. මම ටෙලිනාට්‍ය දෙකක එකවර රඟපාන පළමු අවස්‌ථාව. ටෙලිනාට්‍යවලට හරියට ආරාධනා ලැඛෙනවා. හැබැයි මම භාරගන්නේ නැහැ. මම කැමැති සිනමාවට.

රඟපෑම නර්තනයට අමතවර කරන වෙනත් වැඩකටයුතු ?
රඟපාන එකයි නටන එකයිනේ මගේ ජොබ් එක.

ගායනයෙන් යමක්‌ කරන්න අදහසක්‌ නැතිද?
සින්දු කියන්න කැමැතියි. හැබැයි ඒකට ලොකු උනන්දුවක්‌ නැහැ. මොකද ගායනය මගේ වෘත්තිය නෙමෙයි.

ප්‍රේමයෙන් පැරදුන හින්දා දුකෙන් ඉන්නවා කියලයි ආරංචිය ?
කවුද කියන්නේ මම ප්‍රේමයෙන් පැරදුණා කියලා. අනික පරදිනවා කියන වචනයවත් මට හුරු නැහැ. මම ජීවිතයේ පරාජිත චරිතයක්‌ නෙමෙයි. මේ දඟලන නටන ලිප්ස්‌ටික්‌, කියුටෙක්‌ස්‌ ගාන අනූෂා සැබෑ ජීවිතයේ ආධ්‍යාත්මික චරිතයක්‌.

ළඟදීම විවාහවෙනවා කියන කතාව ඇත්තද?
විවාහ වුණොත් මම සම්පූර්ණ චරිතයක්‌. මේ දවස්‌වල අම්මා තාත්තා බලකරනවා විවාහ වෙන්න කියලා. ලබන අවුරුද්දේ සමහර විට විවාහවේවි.

ශිවන්‍යාගේ චරිතයට සමාන චරිතයක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?
ඔව්. මට නාගිනා වගේ චරිතයක්‌ ලැබුණා. ශිවන්‍යා ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඊට සමාන චිත්‍රපටයක්‌ තමයි කරන්න හදන්නේ.

ශිවන්‍යා හරි ජනප්‍රිය හින්දාද මේ චරිතය භාරගත්තේ ?
ප්‍රේම දඩයම මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය නාට්‍යයක්‌. ඒකේ ශිවන්‍යා හරි ජනප්‍රියයි. ඒ හා සමාන චිත්‍රපටයකට මට ආරාධනා කිරීම ගැන මම ඇත්තටම සතුටුයි. ළඟදීම රූගත කිරීම් සිදුකරනවා.

දිනේෂ් විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button