පළකල දිනය : Tue, Nov 22nd, 2016

රූ රැජින තරගයකට ගිහින් ගයාත්‍රි යන්තම් ජාම බේරා ගත්තා ද?

“ගයාත්‍රිත් විවාහක රූ රැජින තරගයකට ගිහින්” පසුගිය දවස්වල මේ පුවත ක්ෂේත්‍රය පුරා තටු සලා ගියා. “ගයාත්‍රි බොරුකාරයෙක්ට අහුවෙලා… කිරුල කොහොම වුණත් සල්ලි ටිකත් නැති කරගෙන එයිද දන්නෙ නෑ…”
මේ කට කතා එක්ක ගයාත්‍රි ගැන අවංකවම කම්පා වුණ අය බොහොමයි. ලංකාවෙ විතරක් නමෛයි ජාත්‍යන්තර තරග ගැනත් තරග සංවිධායකයන් ගැනත් අවිනිශ්චිතතාවක් තියෙන මේ කා‍ලේ ගයාත්‍රිගේ හිතවන්තයො ඒ ගැන දුක් වුණ එකත් සාධාරණයි. ඒත් තරගයෙන් පස්සේ ගයාත්‍රි ලංකාවට ආවා. කිරුල අහිමිවුණත් ඇය ආවෙ හිස් අතින් නම් නමෛයි.
මුකුත්ම නැතිවෙනවාට වඩා පුංචිම දෙයක් හරි ලංකාවට ගේන්න ඇය දරපු උත්සාහයට අපි හිස නමනවා. ඒ නිසාම සුබ පතන ගමන් වැඩි විස්තර අහන්න අපි ඇයට කතා කළා.

විවාහක රූ රැජින තරගයකට ගිහින් ගයාත්‍රි යන්තම් ජාම බේරා ගත්තා නේද?
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් (Mrs.Top of the world) තමයි මම සහභාගි වුණ තරගය. ඉන්දියාවෙ නවදිල්ලි නුවර පැවැත්වුණේ. රටවල් 20කින් තරගකාරියන් 20ක් සහභාගි වුණා. ඇත්තටම ජයග්‍රහණය අපේක්ෂාවෙන් ගිය ගමනක් නමෛයි. ලොකු ලෑස්තියකුත් තිබුණෙ නෑ. ඒත් තරගාවලියෙ මිසිස් ටැලන්ට් (Mrs. Talent) වෙන්න පුළුවන් වුණා.

ලෑස්තියක් ඇතුව ගියා නම් කිරුළට හිමිකම් කියන්න තිබුණද?
‍ලේසි නෑ. උස අතින් ගත්තත් හුඟාක් තරගකාරියන් අපිට වඩා උසින් වැඩියි. ජයග්‍රහණය හිමි වුණ තරගකාරියත් අඩි 5 අඟල් 11ක් උසයි. මම තමයි එතන හිටපු චබි කෙනා. මහත අඩු කරගන්න හිතාගෙන හිටියට ෂූටින් අස්සේ ඒ ගැනත් හිතන්න බැරි වුණා. ඒවගේම බිකිණි සහ ස්විමින් කිට් තරග වට දෙකටම සහභාගි වුණේ නෑ. චබිකම ප්‍රශ්නයක් නොවුණත් අර තරග වට දෙකට සහභාගි නොවීම කිරුළට ළඟා වෙන්න ප්‍රශ්නයක් වෙනවා.

ලංකාවේදී ඔබ දැනුවත් වෙලා හිටියෙ නැද්ද ඔය තරග වට ගැන?
දැනගෙන හිටියා.

එහෙනම් ඒ තරග වටයට සහභාගි නොවුණේ?
මම තරග සංවිධායකවරුන්ට දැනුම් දුන්නා අපේ රටේ සංස්කෘතියට සදාචාරයට ඒ ඇඳුම නොගැළපෙන නිසා ඒ වට දෙකට ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. ඔවුන් ඒකට අවසර දුන්නා.

ලැජ්ජාව බය, සංස්කෘතිය සදාචාරය, ඔළුවෙ තියාගෙන ඔය තරගවලට සහභාගි වෙන්න බෑනේ?
කතාව ඇත්ත. ඒත් මට ඒ සීමාව පනින්න හිත හදාගන්න බැරි වුණා.

කොහොම හරි අත ළඟටම ආව කිරුළ පෙනි පෙනී නැති වුණා?
දුකක් නෑ. මට පස්වෙනි තැන හිමි වුණානේ.

ලංකාවෙදි කවදාවත් තනියම නැටුවෙ නැති ගයාත්‍රි විනිශ්චය මණ්ඩලයේ ඇස් උඩ ඉන්දලා (Mrs. Talent) වෙන තරමටම නටපු නැටුම මොකක්ද?
මොඩර්න් කැන්ඩියන් ඩාන්ස් එකක් නැටුවේ. ඇත්තටම මීට කලින් කවදාවත් මම ඒ වගේ නැටුමක් ඉදිරිපත් කරලා නෑ. හිරාන් තමයි මට කෙටි කාලයක් ඇතුළත මේ නැටුමත් පුරුදු කරලා ඇඳුමත් නිර්මාණය කරලා දුන්නේ.

තරගයේ ජනප්‍රිය කිරුළකුත් තිබුණානේ. අවසන් මොහොත වෙන තුරුම ගයාත්‍රි හොඳ තරගයක් දුන්නා. ඒත් ඒ කිරුළත් ගිලිහුණා..?
ඒක නම් මට අදටත් අදහා ගන්න බෑ. තාමත් ජනප්‍රිය අංශයේ ඉදිරියෙන්ම තියෙන්නෙ මගෙ නම. ඒත් කිරුළ හිමි වුණේ වෙන කෙනෙක්ට.

ගයාත්‍රිව තරගයට යවපු ලංකාවෙ නියෝජිතයා බොරුකාරයෙක්, ගයාත්‍රි ඔහුගේ ගැටේකට අහුවෙලා කියලා ලොකු හාවක් හූවක් ගියා..?
මටත් ආරංචි වුණා. මම ඔහුව පෞද්ගලිකව හඳුන්නෙ නෑ. ඒත් මට නම් වරදක් වුණේ නෑ. මම තරගය වෙනුවෙන් සත පහක් වියදම් කළේ නෑ. අනුග්‍රාහකයො තමයි මං වෙනුවෙන් වියදම් කළේ.

එකම කිරුළකට තරග වැදුණ තරගකාරියො කොහොමද..? අපේ අය වගේ ගහ මරා ගන්නවද? මූණ එල්ලගෙන ඉන්නවද?
අ‍පෝ නෑ. හරිම එකමුතුයි. එකා වගේ අපි හිටියේ. මගේ කකුලක ‍පොඩි ආබාධයක් වුණෘ. කට්ටිය මගේ ළඟින් හෙල්ලුණේ නෑ. එක්කෙනෙක් බාම් ගානවා. තව කෙනෙක් මසාජ් කරනවා. හරිම එකමුතුයි. අපි වෙන්වුණෙත් කියා ගන්න බැරි තරමෙ දුකකින්.

ලෝකෙට පේන්න මොන සම්මානය ගත්තත් ගෙදර අයට ඒක වටින්නෙ නැත්නම් වැඩක් නෑ. ගෙදර අය ගයාත්‍රිගෙ සම්මානය පිළිගත්තෙ කොහොමද..?
හුඟක් සතුටින්. දරුවො තමයි මගෙ පණ. මට ටික දවසක් ඒ අයව මගඇරුණා. ඒත් ඒ මූණුවල හිනාව දැක්කම හැම කිරුළකටම වඩා මට ඒ හිනාව වටිනවා.

හිමේෂා සවන්ති රාජපක්ෂ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button