පළකල දිනය : Sun, Nov 27th, 2016

ආදරයෙන් පැරදුණාද? නැතිනම් වැරදුණාද? අනේ මන්දා…

නිපුනිකාට හරියට වැඩලු නේද?

ඔව්නේ. ටෙලිනාට්‍ය හතරකට සම්බන්ධවෙලා ඉන්නවා. ඒවා එක්‌කම රියෑලිටි වැඩසටහනක්‌ හින්දා ටිකක්‌ විතර කාර්යබහුලයි.

ඇයි මේ රියෑලිටි වැඩසටහනකට සම්බන්ධ වුණේ ?

හිරු මෙගා ස්‌ටාර් මගේ පළමු රියෑලිටි වැඩසටහන. ඒ හින්දා ගොඩක්‌ කාර්යබහුලයි. හැබැයි අලුත් අත්දැකීමක්‌.

කාලයක්‌ රඟපාන්නේ නැහැ කියලා. ආපහු ක්‍ෂේත්‍රයට ආවේ ඇයි ?

රඟපාන්නේ නැහැ කියලා තීරණය කළේ නැහැ. උසස්‌ අධ්‍යාපන කටයුතු නිමවීමත් එක්‌ක මම ටිකක්‌ විතර ක්‍ෂේත්‍රයෙන් ඈත්වුණා. මොකද මට රස්‌සාවක්‌ ලැබුණා. ඒ වෙලාවේ හිතුවේ ඒ රස්‌සාව කරන එක හොඳයි කියලා. අවුරුදු දෙකක්‌ විතර රස්‌සාව කළා.

ඇයි හදිසියේම ඉවත්වුණේ?

හදිසියේම නෙමෙයි ඉවත්වුණේ. එක වරක්‌ කලාවට සම්බන්ධවුණ කෙනෙක්‌ට එතැනින් ඈත්වෙලා ඉන්න අමාරුයි. අනික කලාවට ආදරය කරන කෙනෙකුට කලාවෙන් ඈත්වෙලා ඉන්නත් බැහැනේ. ඉතිං මට දිගටම රඟපාන්න ලැබුණා.

රස්‌සාවට වඩා රඟපාන එක හොඳයි කියලා හිතුණාද?

ඇත්තටම ක්‍ෂේත්‍ර දෙකක්‌. ලොකු වෙනසක්‌ තිබුණා. නමුත් මගේ ආසාව කැමැත්ත, ඒ හැම දෙයක්‌ම තිබුණේ කලාවට. රඟපෑම කියන්නේ පැය රටේ ජොබ් එක්‌ක නෙමෙයි. ඊට වඩා අමාරු දෙයක්‌.

හොඳ පඩියක්‌ දාලා ආවේ තිබෙන ජනප්‍රියත්වය නැතිවේවි කියලා හිතාගෙනද?

ජනප්‍රියත්වය ගැන ප්‍රශ්නයක්‌ නෙමෙයි මෙතැන තියෙන්නේ. අනික මම කොහොමත් ජනප්‍රියත්වය පස්‌සේ යන කෙනෙක්‌ නෙමෙයි. මම ඒ ඒ අවස්‌ථාව සුදුසු විදිහට තමයි කටයුතු කරන්නේ.

දැන් දිගටම රඟපානවාද?

කොහොමටත් තව මාස හය හතකට විතර වැඩ භාරඅරගෙන තියෙන්නේ. ඒක හින්දා දිගටම මෙතැන රැඳේවි.

ආපහු රස්‌සාවක්‌ කරන එකක්‌ නැහැ ?

මගේම කියලා පොඩි ව්‍යාපාරයක්‌ කරන්න අදහසක්‌ තියෙනවා. හැබැයි මේ ඒකට සුදුසු වෙලාව නෙමෙයි.

ලබන අවුරුද්දේ විවාහ වෙනවා කියලා නේද කිව්වේ?

ලබන වසරේ කියලා දෙයක්‌ නැහැ. ඒකත් අර කිව්වා වගේ හරි වෙලාව ආවහම හරි විදිහට සිද්ධවේවි.

මොකද මේ විවාහය ප්‍රමාද කරන්නේ ?

ප්‍රමාද කරනවා නෙමෙයි. පරක්‌කුවෙලා හරි හරි දේ මං ළඟට ලංවෙනවා කියලා තැන මම නිතරම ඉන්නවා. මම ගොඩක්‌ වෙලාවට බලන්නේ කාටවත් කරදරයක්‌ නොවී ජීවත්වෙන්න. එහෙම කෙනෙකුට වරදිනවා ගොඩක්‌ අඩුයි.

නිපුනිකාගේ ජීවිතයටත් වැරදුණ අවස්‌ථා තියෙනවා?

එහෙම දේවල් තියෙනවා. ඒවායින් තමයි අපේ අඩුපාඩු හදාගන්නේ. හැබැයි විවාහය පරක්‌කු කරන්නේ නැහැ. හරිම කාලය එනකම් ඉන්නවා.

නිපුනිකා ආදරයෙන් පැරදුණා කියලා ආරංචියි ?

පැරදුණාද?. වැරදුණාද?. අනේ මන්දා. මං ඒ ගැන ඇත්තටම හිතන්නේ නැහැ. හැබැයි මම ආදරය කරලා තියෙනවා. නැහැ කිව්වොත් ඒක බොරුවක්‌. හැබැයි ඒ කිසිදෙයක්‌ හිතේ තියාගෙන ඉන්න චරිතයක්‌ නෙමෙයි. මම දෙයක්‌ අතහැරියොත් අතහැරියාම තමයි.

ආපහු දේශපාලනය කරන්න අදහසක්‌ නැතිද?

අනේ අම්මෝ නැහැ.

ඒ කාලේ ඡන්ද ඉල්ලන්න නේද හිටියේ ?

ඇත්තටම මම දේශපාලනය කරන්න කැමැති නැහැ. මට මේ තියෙන කාලය මගේ වැඩක්‌ කරගන්නවත් වෙලාව මදි. ඉතිං කොහොමද දේශපාලනය කරන්නේ.

රියෑලිටි වැඩසටහනක්‌ හින්දා ඉස්‌සරට වඩා ජනප්‍රියයි. එහෙමද?

ගොඩක්‌ සතුටුයි. ගොඩක්‌ වෙලාවට මාව ගොඩක්‌ දෙනෙක්‌ දැක්‌කේ රංගන ශිල්පිණියක්‌ විදිහට. මගේ වෙනත් කුසලතා මේ රියෑලිටි තරගය හරහා දැකගන්න ලැබෙනවා. ඒ වගේම මට හොඳ ටීම් එකක්‌ ඉන්නවා.

නිපුනිකාට රියෑලිටි වැඩසටහන්වල තරග කරන්න පුළුවන්ද?

මෙච්චර කල් බැහැයි කියලා හිතපු හැමදේම කළා. අනික මගේ කණ්‌ඩායමේ නායිකාව සේමිණී ඉද්දමල්ගොඩ.

රියෑලිටි වේදිකාවේදී කැපිලි කෙටිලි නැතිද?

අපේ කණ්‌ඩායම ඇතුලේ කැපිsලි කෙටිලි නැහැ. මම හිතන්නේ පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයත් කොහොමත් තියෙනවා. මම ඇත්තටම සතුටුවෙනවා අපේ කණ්‌ඩායම ගැන. මායාකාරයෝ කියන්නේ හැමදාම අලුත් දේවල් කරන අයනේ.

නිපුනිකා මායාකාරියන්ට අහුවෙලා. එහෙමද?

මමත් මේ දවස්‌වල මායාකාරියක්‌ වෙලා කියලයි මට හිතෙන්නේ.

රියෑලිටි වේදිකාවේ ජනප්‍රිය නළුවෙකුගෙන් ආදර යෝජනාවක්‌ ආවා කියන්නේ ඇත්තද?

අපොයි නැහැ. මට කවදාවත් නළුවෙක්‌ගෙන් ප්‍රේම යෝජනාවක්‌ ඇවිත් නැහැ. මම දන්නේ ඇයි එහෙම ඇහැව්වේ කියලා. මේක බොරු කතාවක්‌.

දිනේෂ් විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button