පළකල දිනය : Sat, Dec 3rd, 2016

උපාධි සහතිකයත් මඩුවේම එල්ලලා ජීවිතයම ගෙවන්නේ ගව මඩුවේ


උපාධිධාරියකු වන්නට බොහෝ අය සිහින දකිති. එහෙත් ඒ සිහින සැබෑ වන්නේ අතළොස්සකගේ පමණි. ඔවුන්ගේ එම සිහින සැබෑ වුව එය මල් ඵල ගැන්වෙන්නේ සුදුසු රැකියාවක ලැබුණහොත් පමණි.

ඇය උපාධිධාරිනියක වූයේ අහස උසට බලාපොරොත්තු තබාගෙන නොවේ. එහෙත් දුප්පත්කමින් පිරුණු ජීවිතයෙන් මුළු පවුලම ගෙ‍ාඩගැනීමට ශාලිකාට සිහිනයක තිබිණි. එහෙත් එය මල්ඵල නොගත් අඳුරු සිහිනයකි.

ශාස්ත්‍රවේදී උපාධිධාරිනියක ලෙස 2013 වසරේදී ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයයෙන් උපාධිය ලබා ගත් ඇය සැමියා හා කුඩා දරුවන් දෙදෙනා සමඟ අද දිවි ගෙවන්නේ හේවාහැට ඛෙල්වුඩ් ජනපදයේ පිහිටි ගව මඩුවකය. උපාධි සහතිකය හා ඡායාරූපය ගවගාලේ කටු මැට් බිත්තියෙයෙහි එල්ලා ඊට කැප කළ ජීවිතය ගවගාලේ ම ගෙවා දැමීමට ඇයට සිදු වී තිබේ.

පවුලේ අයත් ගවයන් තිදෙනාත් සමඟ එකම ගව මඩුවක ජීවත්වන උපාධිධාරි ශාලිකා සොයා පසුගියදා අපි ඛෙල්වුඩ් කරා පිය නැගුවෙමු. ජෛව විවිධත්වයෙන් හා ස්වභාව සෞන්දර්යෙන් මනාව පිරි සුන්දර හේවාහැට ඛෙල්වුඩ් ජනපදය පුරාවට මනස්කාන්ත බවක් පිරී පැවතුණ ද එම සුන්දරත්වය ශාලිකාට හෝ ඇගේ පවුලට හිමි නැත‍. ඔවුන්ගේ දවස ගෙවී යන්නේ ගව මඩුවෙහිය.

ඇයි මේ උපාධි සහතිකය මෙතන එල්ලලා?

මහත්තයෝ මෙයිට වඩා තැනක් අපට කොහෙන්ද? අවුරුදු තුනක් නොවිඳිනා දුක් විදලා ජීවිතය ගොඩනඟා ගන්න උපාධිය කළා. උපාධිය අරගෙන, ඉල්ලන හැම රක්ෂාවකටම අයදුම් කළා. එක ඇප්ලිකේෂන් එකකටවත් අඩුම තරමේ උත්තරයක්වත් ලැබුණේ නැහැ. මේක කරුමය ද උරුමය ද අපට තේරෙන්නේ නෑ.

දෙල්තොටවත්තේ තේ දළු නෙළන පවුලක බාලයා ලෙස ශාලිකා මෙලොව එළිය දකින්නේ 1985දී. පවුලේ බාලයා වූ නිසාම වැඩිමහල් සහෝදරියන් දෙදෙනාටත් සහෝදරයාටත් වඩා ඉගෙනීමේ ආශාව හා උනන්දුව ඇයට තිබිණි. ගලහ ශ්‍රී පුෂ්පදාන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමවා උසස් අධ්‍යාපනය සඳහා ඇය දෙල්තොට කරගස්තොට මහා විද්‍යාලයට පිය නැගුවාය. පාසල් වියේදී අධ්‍යාපනයට මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා ඇයට උනන්දුවක් හා ආශාවක් තිබුණද දුප්පත්කම ඊට හරස් විය.

සම්මාන අටක් සහිතව සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වන ශාලිකා උසස් පෙළ සඳහා වා‚ජ අංශය තෝරා ගනී. උසස් පෙළ සමත් වුව විශ්වවිද්‍යාල ප්‍ර‍වේශය සඳහා ප්‍රමාණවත් ලකුණු නොලැබීමෙන් ඇයට එහි දොර වැසේ. උනන්දුව, ආශාව, හැකියාව, කැපවීම, තිබුණද ඒ සියල්ලට හරස් වන පවුලේ ආර්ථක ගැටලූ‍ ඇගේ අධ්‍යාපනයට තාවකාලික විරාමයක් තබයි.

ඉනික්බිතිව ගමේ දරුවනට දහම් දැනුම දෙන්නට වෙහෙසෙන මැය ඒ වන විටත් දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත්ව සිටියාය. ඉරිදා දිනවල ගමේ දරුවනට දහම් දැනුම දුන්න ද දුප්පත්කමින් පිරුණු ශාලිකාගේ අඳුරු ජීවිතය එළිය කරන්නට ඇය රැකියාවක් සොයා කොළඹට පියනඟයි. කොටහේන ප්‍රදේශයේ ඇඟලූ‍ම් කම්හලක සේවයට ඇය යන්නේ උසස් පෙළ ලියා හයමසකිනි. ඛෙල්වුඩ් වැනි ග්‍රාමීය පරිසරයක සිට කොළඹට යන ඇයට වැඩිකල් නුහුරු පරිසරයේ රැඳී සිටින්නට හැකි වන්නේ නැත.

කොළඹ ගිහින් අවුරුද්දක්වත් ඉන්න ලැබුණේ නැහැ. අසනීප වෙලා මං ගෙදර ආවා. ගෙදර ඇවිත් දවස් කිහිපයක් ගෙවෙන විට පේරාදෙ‚ය ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සහායිකාවක ලෙස මට රැකියාවක් ලැ‍බුණා 2009 විවාහ වෙනකම් මං එහි සේවය කළා.

ඛෙල්වුඩ් ජනපදයේ පදිංචි රංජිත් ප්‍රියශාන්ත සමඟ විවාහ වන ශාලිකා විවාහ ජීවිතයත් සමග තවත් අලූ‍ත් පියවරක් තබන්නේ ඇය එතෙක් සිහිනයක්ව තබාගෙන සිටි උපාධිය හැදෑරීමයි. විවාහ වන වසරේදීම උපාධියට ලියාපදිංචි වන ශාලිකා නවෝදනී සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය හා ජනමාධ්‍ය යන විෂයයන්ගෙන් උපාධිය හදාරා 2013 දී මෙරට උපාධිධාරින් අතරට එක්වන්නේ ඉක්මනින් රැකියාවක් ලැඛෙතැයි බලාපොරොත්තවෙනි.

එහෙත් ශාලිකගේ ඒ අහිංසක බලාපොරොත්තු වලට ඇති ඉඩ දවසින් දවස සිඳී බිඳ යන්නේ ය.

අද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එදා උපාධිය ගනිද්දි ලොකු පුතා විතරයි හිටියේ. අද එයාට අවුරුදු හයයි පොඩි පුතාට අවුරුදු දෙක හමාරයි. මගේ මහත්තයා තමයි උපාධිය කරන්නට මාව උනන්දු කළේ. ඒ වෙනුවෙන් මටත් වඩා කැප වුණේ එයයි. බාහිරව උපාධිය හැදෑරුවාට කිසි දවසක පන්ති ගියේ නෑ. විශ්ව විද්‍යාලයේ සම්මන්ත්‍රණ වලට ගියා. ඒවාටත් හැමදාම යන්න බැරි වුණා. කොයි තරම් ආර්ථීක අපහසුතා ආවද මහත්තයා නොකා නොබී හරි උපාධිය ගන්න මුදල් හොයා දුන්නා. එයාට ස්ථීර රැකියාවක් නෑ. මේ ගව ගාල තමයි එයාගේ ජීවනෝපාය. ඉඳහිට කුලියට රියදුරු රැකියාව කරනවා. අද අපි ඔක්කොම කන්නේ, බොන්නේ, උයන්නේ, පිහන්නේ, නිදාගන්නේ කොටින්ම කීවොත් ජීවිතයම ගෙවන්නේ මේ ගව මඩුවේ.

මගේ ඇස් පැය ගණන් කඳුළින් තෙත් වන වාර අනන්තයි. තෙපැය ගණන් කල්පනා කරන දවස් මෙතැකැයි කියන්න බෑ. ඔක්කෝටොම වැඩිය පපුව උහුලන්න බැරුව යන්නේ ලොකු පුතා පාඩම් වැඩ කරන වෙලාවටයි. මේ පරිසරයට අව්වට, වැස්සට, සීතලට මගේ දරුවෝ දැන් හුරු වෙලා. එයාලා අහන්නේ එක දෙයයි ඇයි අම්මේ අපට ගෙයක් නැත්තේ කියලා විතරයි.

වසරකට මෙරටට උපාධිධාරීන් තිස් පන් දහසක් පමණ බිහිවෙති. එයින් ඉතා විශාල ප්‍රමාණයක් කලා උපාධිධාරීහුය. ඔවුහූ බොහොමයක් රැකියා නොමැතිව බලාපොරොත්තු කන්දරාවන් හිස මත දරාගෙන වසර ගණනාවක් බලා සිටීති. මේ වන විට මෙරට රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණය තිස් දහස ඉක්මවයි. ශාලිකා ද ඔවුන් අතුරින් එක් අයෙකි. එහෙත් ඇයට හිමිව ඇත්තේ අන් කිසිවකුට උරුම නොවූ ජීවිතයකි.

අවුරුදු දහයක කාලයක් ගලහ ශ්‍රී පුෂ්පදාන දහම් පාසැලේ ගුරුවරියක ලෙස සේවය කළ ඇයට ජීවිතය ගොඩනඟා ගන්නවා සේම තවත් පැත්තකින් ගුරුවරියක වීමේ ආශාවද සිත කොනක දළුලමින් නොතිබුණා නොවේ. එනිසාම ඇය දහම් සරසවියේ ඩිප්ලෝමාව ද ගනු ලැබුවාය.

පහුගිය කාලයේ මට රක්ෂා එපාම වෙලයි හිටියේ. අපි මේ ගවගාලට වැටෙන්න පෙර මහත්තයාගේ අක්කගෙ ගෙදරයි හිටියේ. අක්කා රට ඉඳලා ආවායින් පසු අපි එහෙන් ආවා. මහත්තයා අවුරුදු 16ක් විතර මේ ගව මඩුව කරගෙන යනවා එයා සමඟ මං විවාහ වෙන්නෙත් මෙ ගව මඩුව කරගෙන යනවිටයි. අපට ඉන්න හිටින්න තැනක් නැතිව ඉද්දි මේ තැනට ආවා. මහත්තයා කරන වැඩ දිහා මං බලාගෙන ඉන්නේ නෑ. එයාට උපරිම සහාය දීලා මාත් මේකෙ වැඩ කරනවා. වල් කපනවා, හරක් ටිකට කන්න බොන්න දෙනවා, උන්ගෙන් කිරි ගන්නවා. ඒ වගේම මේ ගව ගාල අපි දේවාලයක් වගේ පිරිසිදුව තියාගෙන ඉන්නවා.ඒ මේක අපේ ජීවිතය නිසා.

ගව ගාලේ එක්පැත්තක එළ ගවයන් දෙදෙනකු සමඟ ගවයෝ තිදෙනෙකි. අනෙක් පැත්තේ කුඩා ඇඳක්වත් දැමිය නොහැකි තරමේ කටුමැටි ගැසු කුඩා කොටසකි. එහි දරුවාගේ පාසල් පොත්පත් උපකරණ ටික විතරක් පරිස්සමට තබා ඇත.

පහුගිය කාලයේ මධ්‍යම පළාත් ගුරු විභාගයට, මෙන්ම ග්‍රාම නිලාධාරි, දිවි නැගුම විභාගවලට අයදුම් කළා. ඒවා ගඟට ඉනි කැපුවා වගේ. මේ පැත්තේ දෙපැත්තෙම ප්‍රාදේශිය දේශපාලනඥයන් ළඟට ගිහින් අපේ තත්ත්වය කීවා. එත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. දෙල්තොට ප්‍රාදේශිය ලේකම්තුමත් නිතර නිතර මේ පාරෙන් යනවා එනවා. අඩුම තරමේ අපට සමෘද්ධියවත් නැහැ. රක්ෂා කියන එක ගැන කලකිරුණා.

මට රක්ෂා ගැන කලකිරුණත් දරුවන්ගේ අනාගතය ගැන හිතලා පුංචි හෝ බලාපොරොත්තුවක් තවමත් ඒ ගැන තියනවා. මං පොඩි කාලයේදී තමයි තාත්ත හෘදය රෝගියකු වන්නේ පසුව තාත්තා මිය යනවා. අද අම්මත් ලෙඩින්. තාත්තා වෙනුවෙන් මට දානයක්වත් දෙන්න බැරි වුණා. අම්මා ජීවත්ව සිටියදී තාත්තා වෙනුවෙන් ඒ පින කරන්න රක්ෂාවක් ලැබිලා එක පඩියක්වත් හම්බවුණොත් ඒ පින ම මට ඇති.

උපාධිය ගෙන මහමඟ උපවාස, උද්ඝෝෂණ, පිකටින් කිරීමට ශාලිකා කිසිදා ගියේ නැහැ. ඒ වෙනුවට ඇය කළේ ඇගේ උපාධි සහතිකයත් ඡායාරූපයත් ගව මඩුවේ එල්ලා එහි ජීවත්විමයි. පිකටින්, උද්ඝෝෂණ, උපවාස සියල්ලට වඩා එය සංවේදිය. ගව මඩුවේ ගවයන් කෑ ගසන ශබ්දය, ඒ පරිසරය පයට පෑගෙන ගොම, පොහොර දැන් ශාලිකාටත් පුංචි උන්ටත් හොඳටම පුරුදුයි.

ඇගේ නි‍වෙසින් අප එන්නට සැරසෙන විට අඳුර වැටී තිබිණි. අඳුර වැටෙනා බවට ගවයෝ හඩ දෙන්නට වූහ.

ඉන්දික පොල්කොටුවstory-about-an-unemployed-graduate-in-sri-lanka-1 story-about-an-unemployed-graduate-in-sri-lanka-2 story-about-an-unemployed-graduate-in-sri-lanka-3

Comments පලකිරීමට පහතට යන්න



Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

අලුත්ම Comments


Back to Top Button
error: Content is protected !!

Send this to friend