පළකල දිනය : Sun, Dec 4th, 2016

ඩබල් කැබ් මිළ පහළට ත්‍රීවිල් වෑන් ලක්ෂ 3 කින් ඉහළට වාහන වලට වෑදුන හෑටි

අයවැය නිසා වාහන වෙළඳපොලේ ඇතිවන වෙනස් වීම

1-විශේෂයෙන් එන්ජින් ධාරිතාව 1000 සීසී වාහනවලට එන්ජින් ධාරිතාව සීසී ඒකකයකට රුපියල් 250 බැගින් බදු මුදල වැඩි කිරීමට පියවර ගත්තේය. මේ අනුව සාමාන්‍යයෙන් එන්ජින් ධාරිතාව 800 සීසී වන වාහනයකට අලුතින් දෙසිය පනහේ ඒවා අටසියයක් එකතු විය. මේ අනුව සාමාන්‍යයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත 800 සීසී මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ ගියේය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳ‍පොළේ වැඩියෙන්ම අලෙවි වූයේ මෙම ඉන්දියානු මෝටර් රථය. රුපියල් ලක්ෂ 14 කට පමණ මිලදී ගත හැකිව තිබූ මෙම මෝටර් රථයක මිල පසුව රුපියල් ලක්ෂ 20 ද ඉක්ම වූ අතර මේ වනවිට එය රුපියල් ලක්ෂ 23 ක් පමණ වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

2-අලුත්ම වාහන මිල ඉහළ යාමේ ලකුණු මෙසේ ඉහළ යද්දී කුඩා ප්‍රමාණයේ ලියාපදිංචි මෝටර් රථ විකුණන්නන්ද තම වාහන මිල ඊට සාපේක්ෂ ව ඉහළ ලංසුවකට තැබිමට මේ වනවිටත් කටයුතු කර ඇති බව පෙනී යයි. සාමාන්‍යයෙන් ඉන්දියානු මරුති 800, ඇල්ටෝ වැනි මෝටර් රථවල මිල ද මෙලෙස රුපියල් ලක්ෂ 1.5ත් 2ත් අතර පරාසයකින් වෙළෙඳ‍පොළේ මිල ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද මෙරට තුළ භාවිත කළ ලියාපදිංචි කළ එන්ජින් ධාරිතාව 1000සීසී ට අඩු මෝටර් රථ අයවැය ප්‍රකාශ කිරීමෙන් පසුව වෙළෙඳ‍පොළට ඉදිරිපත් කිරීමට තවමත් උනන්දුවක් නොදක්වන බව පෙනී යන්නේ යයි.

3-ආසන 10ත්, 20ත් අතර ප්‍රමාණයක් සහිත ද්විත්ව කාර්යය වාහන එනම් වෑන් රථවලට පැවැති වාහනයේ මිලදී ගත් වටිනාකම සහ නැව් සහ රක්ෂණ ගාස්තු සහිත මුළු මුදලෙන් සියයට 150ක් වන බද්ද සියයට 85ක් දක්වා අඩු කිරීමට ගත් පියවර නිසා බොහෝ දෙනකු සිතුවේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 25 ත්, 30ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇතිය කියාය. විශේෂයෙන් ටොයොටා හයි ඒස්, නිසාන් කැරවෑන් වැනි සංචාරක ව්‍යාපාරය කෙරෙහි යොදවන අලුත් වෑන් රථ මෙසේ අඩුවීම පිළිබඳව අස්වැසිල්ලක් එම වාහන පිළිබඳව උනන්දුවක් ඇත්තවුන් ලැබුවද මෙම වෑන් රථ සඳහා අවම බද්දක් පනවා ඇත. මෙම බද්ද සමග ආසන සහිත වෑන් රථයක සමස්ත මිල රුපියල් ලක්ෂ 3 කින් පමණ වැඩි වී ඇත. එසේ වුවද ද්විත්ව කාර්ය ආසන රහිත වෑන් රථ මිල අඩු වීම නිසා රුපියල් ලක්ෂ 70 ආසන්නයේ මෙම වාහන මිලදී ගත හැකි ය.

4-මෙවර අයවැයෙන් සිදු කෙරුණු බදු සංශෝධනයේදී ත්‍රිරෝද රථවලටද ඒකක බද්දක් පනවා ඇත. එන්ජින් ධාරිතාව මත පැනවී ඇති මෙම බද්ද ට අනුව ත්‍රි රෝද රථයක මිල රුපියල් 50,000 කින් පමණ වැඩි වන අතර මේ අනුව ත්‍රිරෝද රථයක මිල රුපියල් ලක්ෂ 7 කට ආසන්න වනු ඇත. අයවැය ප්‍රකාශන අනුව කියවුණු පරිදි ත්‍රීරෝද රථ භාවිතය පාලනය කිරීම රජයේ දැක්ම වී ඇති අතර ඒ වෙනුවට කුඩා විදුලි කාර් රථ හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු වී ඇත. නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේදී මෙවැනි විදුලි කාර් රථ දහසක් පමණ කොළඹ මාර්ගවලට එක් කිරීමට රජය බලා‍පොරොත්තු වන බව මෙවර අයවැය යෝජනා අතර වෙයි.

5-කවුරුත් වැඩි අවධානයක් නොදැක්වූ තවත් සංවේදී වාහන කාණ්ඩයකට මෙවර බදු බලපෑම එල්ල වී තිබේ. කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ලොරි සහ ට්‍රක් රථ වෙළෙඳ‍පොළයි. එම කුඩා ට්‍රක් රථයක් වෙළෙඳ‍පොළ මිල නව බද්දද සමග රුපියල් ලක්ෂ 15ක් පමණ වී ඇත.

6-කෲ කැබ් රථවලට පනවා තිබූ සියයට 125ක බදු ප්‍රතිශතය සියයට 85 ක් දක්වා අඩු කොට තිබුණද ඒකක බද්ද හේතුවෙන් වාහනයක මිල රුපියල් ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් ලීසිං පහසුකම් ලබා ගෙන මෙම වාරික ගෙවීම එවැනි සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දුෂ්කර විය හැකි බැවින් ඉදිරියේදී මෙම වාහනවල අලෙවියෙහි අඩුවීමක් දැකිය හැකි වනු ඇත. කෙසේ වුවද මෙරට වාහන භාවිත කරන පිරිසගේ අවධානයට යොමුවුණු ඩබල් කැබ් රථ ද ද්විත්ව කාර්ය වාහන කාණ්ඩයට ඇතුළු වන අතර මෙම වාහන සඳහා අය කෙරෙන්නේ රුපියල් 45ක ඒකක බද්දකි. මේ අනුව ඩබල් කැබ් රථ මිල රුපියල් ලක්ෂ 15-25 අතර පරාසයකින් මිල අඩු වී ඇත.

7-මෙයට අමතරව එන්ජින් ධාරිතාව 1500ට වැඩි මෝටර් රථ සඳහා වූ බදු වැඩි කිරීමකට ලක් කොට ඇතත් එම කාණ්ඩයට අයත් වන්නේ අධි සුඛෝපභොගී මෝටර් රථ නිසා එය සාමාන්‍ය වාහන වෙළෙඳ‍පොළට දැනෙන්නේ නැත.

8-නව අයවැය යෝජනා අනුව වාහන මිලදී ගැනීමේදී ලීසිං ලබා දෙන ප්‍රමාණය දැඩි ලෙස සීමා කර තිබේ. ලීසිං පහසුකම් සහිතව ත්‍රිරෝද රථයක් ලබා ගැනීමේදී ලීසිං පහසුකම් ලබා දෙන්නේ ත්‍රිරෝද රථයේ වටිනාකමින් සියයට 25ක් පමණි. ඊට පෙර වටිනාකමින් සියයට 70 ක් දක්වා ණය පහසුකම් ලැබුණි. මේ අනුව දැන් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නේ නම් අවම වශයෙන් රුපියල් ලක්ෂ 05ක මූලික ගෙවීමක් කළ යුතුය.

9-වාහන සම්බන්ධයෙන් බලපාන තවත් කරුණක් වන්නේ ඉදිරියේදී ආනයනය කරන මෝටර් රථවල ආසන බඳ පටි, වායු බෑග් සහ ඒ.බි.එස් නවීන තිරිංග පද්ධති පැවතීම අනිවාර්ය විය යුතු බවය. දැනට ඉන්දියාවේ සිට පැමිණෙන වාහනවල ආසන බඳ පටි තිබුණ ද බොහොමයක එයාර් බෑග් සහ ඒ.බි.එස් තිරිංග පද්ධති නැත. එබැවින් මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක වන විට ඉන්දියානු නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවට එවන වාහනවල එයාර් බෑග් සහ ඒ.බි.එස් තිරිංග පද්ධති සවි කොට එවිය යුතු වේ. එසේ නැතිනම් එවැනි අංගෝපාංග නොමැති ප්‍රවාහන මෙරටට නොගෙන්විය යුතුය. එම අංගෝපාංග සමග වාහන එනවිටද එම වාහන මතට අතිරේක මිලක් පැටවෙනු ඇති බව වෙළෙඳ‍පොළ නිරීක්ෂකයන්ගේ අදහසයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button