පළකල දිනය : Sun, Dec 4th, 2016

ගාලු මුවදොර නිර්මාණය වන ලොව උසම නත්තල් ගස මෙන්න

ජේසු සමිදාණන්ගේ උත්පත්තිය මුල්කරගෙන සමරන අසිරිමත් නත්තල වෙනුවෙන් ලොව පුරා සිටින කිතුනු බැතිමත්හු ශීතල උඳුවප් මස ආරම්භයත් සමඟ ලහි ලහියේ ලකලැහැස්ති වෙති. ශ්‍රී ලාංකිකයන්ගේ නත්තල් සිරිය ජාති භේදයකින් තොරව ලොවටම පෙන්වීමට ගන්නා උත්සාහයක සේයා මේ දිනවල ගාලු මුවදොර පිටියෙන් දිස්වේ. ඒ මෙතෙක් ලොව ඉදිවූ උසම නත්තල් ගස නිර්මාණය කරමිනි. ඔවුන් මේ නත්තල් ගස නම් කර ඇත්තේ ‘සාමයේ සම්ප්‍රාප්තිය’ නමිනි.

මේ අපූරු නිර්මාණයේ ප්‍රධාන නියමුවා වන එච්. ඩී. එම්. නානායක්කාර මහතා මේ අදහසෙහිද හිමිකරුවා වේ.

“මෙතෙක් ලෝකයේ ඉදිවෙලා තියෙන උසම නත්තල් ගහ ගියවර නත්තලට ජර්මනියේ ඉදිවුණේ. ඒකේ උස අඩි 292ක්. අපට අවශ්‍ය වුණා ඒක අබිබවා අඩි 300කට වැඩි නත්තල් ගහක් ඉදිකරන්න. මම කුඩා කාලේ ඉඳලම මෙවැනි නිර්මාණ කරන්න ආසයි. මීට පෙර වෙසක් පෝයට අඩි 100ක් උස මීටර් 150ක් දිග මිහින්තලයක් නිර්මාණය කළා නාරාහේන්පිට. මේකත් මගේ හිතේ කාලයක් තිබුණ දෙයක්. ඒත් ඒ වෙනුවෙන් ශක්තියක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.” නානායක්කාර මහතා පවසයි.

ලෝකයේ පුංචි තිතක් බඳු අපේ දිවයිනේ නාමය මෙදා නත්තල් සමයේ ලොව පුරා පැතිරවීමට මෙවැනි නිර්මාණයක් කිරීමට මුල් වූයේ නානායක්කාර ඇතුළු සුසන්ත අත්තනායක, ජූඩ් ද මෙල්, සම්පත් ගුණරත්න, අරුණ රත්නායක, භාග්‍යා කේ. බණ්ඩාර, චන්දික ප්‍රසාද්, රාජපක්ෂ, චමල් සුසන්ත සහ හර්ෂ රත්න යන වරාය අධිකාරියේ සේවක දසදෙනායි. මේ පිරිස අතරේ තිබෙන සුවිශේෂම ලක්ෂණය වනුයේ දසදෙනාගෙන්, නව දෙනෙක්ම බෞද්ධයන් වීමයි. එකම කිතුනු භක්තිකයා ශාන්ත ජූඩ් ද මෙල් මහතාය.

මේ නත්තල් ගස ගැන වැඩිපුර විස්තර නානායක්කාර මහතා මෙසේ කිවුවා.

“දැනුයි මේක ජනතාවට පේන්නේ. ඒත් අපි පසුගිය මාස තුනේම ගෝල්පේස් පිට්ටනියෙ මේ දේ වෙනුවෙන් අව්වට පිච්චෙමින් ශීතලට ගැහෙමින් දවල් රෑ නොබලා මහන්සි වුණා. දැන් තියෙන්නෙ අවසාන වැඩ ටික. මේ සඳහා යොදාගන්නේ යකඩ බට, කුකුළු දැල්, කුකුළු සායම්, පයිනස් මල්, ලී ඉරන විට කැපෙන පිට පළු සහ රාත්‍රියට අලංකාරවත් කිරීමට බල්බ්. අපේ ඉලක්කය අඩි 300කට වැඩි උසක්. යකඩ ටොන් 30ක්, පයිනස් මල් ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් සහ 30,000 කට වැඩි බල්බ් ප්‍රමාණයක් මෙහි අලංකාරයට දල්වන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු වැඩ කටයුතු අවසන් කරන්න රුපියල් කෝටියකට වැඩි මුදලක් තමයි අපේ ඇස්තමේන්තුව”

“මේ සඳහා ෆයිනස් මල් ගේන්නේ හේවාහැට රිකිල්ලගස්කඩ වගේ පළාත්වලින්. අපේ මේ නත්තල් ගහට අවශ්‍ය ෆයිනස් මල් එකතු කිරීම මේ දවස්වල ඒ පළාතේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා. ඒ අය කැලෑ පීරලා මල් එකතු කරලා අපට දැනුම් දුන්නාම අපි ලොරියකින් ගිහින් මල් අරන් එනවා. ඒ‍ වෙනුවෙන් මහන්සියත් ගෙවනවා. මේ නත්තල් ගහ නිසා ඒ ගම්වල අයට අමතර ආදායමක් ලැබීමත් නිකම් අපතේ යන දෙයක් ප්‍රයෝජනයට ගන්න ලැබීමත් අපට සතුටක්”

Comments පලකිරීමට පහතට යන්න



Displaying 1 Comments
Have Your Say
  1. guest says:

    heduwata kamak ne. meken wiyadama mokada wenne. labayakda alabayakda

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

අලුත්ම Comments


Back to Top Button
error: Content is protected !!

Send this to friend