පළකල දිනය : Thu, Mar 16th, 2017

දොස්තරලාට වඩා මොළේ තියන කොන්දොස්තරලාත් ඉන්න පුළුවන්

ඉහළ අධ්‍යාපන සුදුසුකම්, උපාධි, පට්ටම් සහිතව පිළිගත් වෘත්තීන්වල යෙදෙන පුද්ගලයන් පොදු සමාජය විසින් උගතුන් බුද්ධිමතුන් විදිහට හඳුන්වන බව රහසක් නෙවෙයි; නමුත් ඒ කතාවල ඇත්තේ අර්ධ සත්‍යයක් විතරයි; ඉහළ අධ්‍යාපන සුදුසුකම්, උපාධි පට්ටම් තියන පිරිස් අතරේ ප්‍රඥාවන්තයන් වගේම අඥානයන්ද ඕනෑ තරම් සිටිය හැකියි; ඒ වගේම එවැනි කිසිදු අධ්‍යාපනයක් නොලැබීම මත සාමාන්‍ය සමාජය අඥානයන් සේ සලකන පිරිස් අතරේ සැබෑ ප්‍රඥාවන්තයන් ද ඕනෑ තරම් සිටිය හැකියි. ඒ නිසාම අධ්‍යාපන සුදුසුකම් මගින් පමණක් උගතුන් බුද්ධිමතුන් තීරණය කිරීමක් අද ලෝකයේ බොහෝ දියුණු රටවල සිදුවන්නේ නැහැ. එසේ සම්මත උගතුන් නොවන පුද්ගලයන් ගේ බුද්ධි සහ ප්‍රඥා ප්‍රභාවයන් පිළිබඳව ඔවුන් නිසි ඇගැයුමක් ලබා දෙනවා. මේ තත්වය යටතේ අප ද හැකිතාක් ඉක්මනින් ඒ යථාර්ථය දැන හැඳින ඊට අදාල ආකල්පමය වෙනස ඇති කර ගත යුතුයි.

වර්තමාන සමාජයේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ලැබූ පිළිගත් වෘත්තිකයන් ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ “මේ අය මෙච්චර ඉගෙන ගෙනත් ඇයි මෙහෙම දේවල් කරන්නේ” කියන ප්‍රශ්නය පොදු සමාජය තුළින් පැන නගින අවස්ථා බහුලව තිබෙනවා; ඔබ මොකද ඒ ගැන සිතන්නේ?
අපේ රටේ පිළිගත් වෘත්තිකයන් ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග කියා ඔබ හඳුන්වන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ නමුත් කිසියම් විෂය ක්‍ෂේත්‍රයක් සම්බන්ධ ඉහළ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ලැබූ අයකු වුණත් සාමාන්‍ය ජීවිතයේ දී ප්‍රඥාවන්ත නොවන ක්‍රියාවලට පෙළඹෙන්න පුලුවන්; ඒක ඉතින් බොහොම සාමාන්‍ය දෙයක්නේ.

නමුත් යම් ක්‍ෂේත්‍රයක් සම්බන්ධව පරතෙරට ඉගෙන ගැනීමට ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම ඉහළ තලයක තිබිය යුතුයි; ඒ අනුව වුණත් ඔවුන් බුද්ධිමතුන් ලෙස සැලකෙනවා නේද?
මිනිසා ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අති විශාල පුළුල් පරාසයක් දක්වා පැතිර යන එකක්. නමුත් මේ ලෝකයේ වෙසෙන ඕනෑම කෙනෙකුගේ මොළයේ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නේ ඉන් සුළු කොටසක් විතරයි; අධ්‍යාපනයේ දී වුණත් යම් යම් පුද්ගලයන් එකකට එකක් වෙනස් විවිධ විෂයන් සම්බන්ධයෙන් විශේෂ කුසලතා පළ කරන්නේ ඒ නිසයි. ඒ අනුව කිසියම් ක්‍ෂේත්‍රයක් මුල් කොට උසස් අධ්‍යාපනයක් ලබා වෘත්තීය සුදුසුකම් ලැබූ පමණින් ඒ පුද්ගලයන් තුළ සියළු දේ සම්බන්ධ පැතිර ගත් මහා බුද්ධි ප්‍රභාවක්, ප්‍රඥාලෝකයක් ඇතැයි සිතීම බරපතල වරදක්.

හොඳයි අපි හිතමු; එක්තරා දිස්ත්‍රික් ලේකම් වරයෙක් සහ ඔහුගේ කාර්යාල කාර්ය සහායකයා පිළිබඳව; ඒ දෙදෙනා අතරින් ඇතැම් අවස්ථාවල ඒ කාර්යාල කාර්ය සහායකයා දිස්ත්‍රික් ලේකම්වරයාටත් වඩා බුද්ධිමත් විය හැකිය කියාද ඔබ කියන්නේ?
බොහෝ දුරට ඒක එහෙම වෙන්න පුළුවන්! මොකද දිස්ත්‍රික් ලේකම් තුමා හිමි කරගත් උපාධිය, පරිපාලන සේවා විභාග සාමාර්ථය වගේ සුදුසුකම් සඳහා බුද්ධිය පදනම් වුණත් ඒක ඔහු සතු සාකල්‍ය බුද්ධියක් වශයෙන් සලකන්න බැහැ. ඒ අනුව පරිපාලන කටයුතු සම්බන්ධ න්‍යායික දැනුම කොහොම වුණත් එදිනෙදා ජීවිතයේ ඇතැම් ප්‍රායෝගික ගැටළු වලදී වඩාත් සාර්ථක විසඳුම් ඒ කාර්යාල කාර්ය සහයකයා සතුව තිබෙන්න පුළුවන් තමයි.

සාමාන්‍ය ජනතාව “එයාට මොළේ තියනවා” කියලා හඳුන්වන්නේ ඔය තත්වය නේද?
ඔව් ඒක තමයි

ඉතින් ඒ විදිහට බලනකොට දොස්තරලට වඩා මොළේ තියන බස් කොන්දොස්තරලා වුණත් ඉන්න පුළුවන්නේ;
ඔව් පැහැදිලිවම ඉන්න පුළුවන්; අනික නිරතුරුව සමාජය ඇසුරු කරන ඒ වගේ කෙනෙකුට සමාජය පිළිබඳ නිරවුල් අවබෝධයක් ඇති කර ගෙන සමාජය පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කර ගැනීමේ පහසු හැකියාවක් තියනවා. සමාජ සම්මතය කොහොම වුණත් ඒ අනුව බලනකොට දොස්තරකම, කොන්දොස්තර කමට වඩා ඉහළින් තියන්න බැහැ.

අපේ රටේ තවමත් යල්පැනගිය යටත් විජිත මානසික ආකල්ප ඉහළ මට්ටමක තිබුණත් අද වෙන කොට දියුණු ලෝකයේ වෘත්තීන් අනුව මිනිසුන් තරාතිරම්වලට නොබෙදන්නේ ඔය කියන සමාජ මනෝ විද්‍යාත්මක මූලධර්මය මතයි. ලෝකයේ දියුණු රටවල විවිධ පුද්ගලයන් ලැබූ සමාජ පරිඥානය ආදිය මුල්කොට ගෙන ඔවුන්ගේ තරාතිරම නොබලා ලොව පිළිගත් විශ්ව විද්‍යාල වලින් සම්මාන මහාචාර්ය පදවි පවා හිමි වන අවස්ථා තිබෙනවා. ඒ අනුව ගනිකා වෘත්තියේ යෙදීමෙන් පවා තම ජීවිත සහ සමාජ පරිඥානය පුළුල් කර ගත් කාන්තාවන් සිටිනවා.

නමුත් පිළිගත් වෘත්තිකයකු ඒ තත්වයට පත්වන්නේ පොත් පත් කියැවීම් ආදී කරුණු මුල් කොටගත් විශාල දැනුම් සම්භාරයක් මුල් කොට ගෙනයි; නමුත් ඔබ ඔය ගොඩනගන තර්කය මත ඒ උගත්කම් පිළිබඳ තක්සේරුව අඩුවෙනවා නේද?
තමන් ජීවත්වන පරිසරය සහ සමාජය පිළිබඳව සංවේදීතාවයකින් තොරව හුදෙක් පොතේ පතේ දැනුමින් පමණක් උගතුන් වී ඇති පුද්ගලයන් වෙත අතීත සමාජයෙන් බලවත් උපහාසයක් එල්ල වුණා. සැම විටම තමා නියම කරන දේවල් පොතක ලියා ගන්නා ලෙස ගෝලයන්ට උපදෙස් දුන් මහදැනමුත්තා සහ ඒවා පිළිපදිමින් ක්‍රියා කළ ගෝල පිරිස අතීත සමාජයේ තියුණු උපහාසයට ලක් වුණා. අද වුණත් ඔය සියළු වෘත්තිකයන් අතරේ එවන් ප්‍රායෝගික පක්ෂය ගැන කිසිම දැනීමක් නැති එවන් පොතේ උගතුන් ඕනෑ තරම් සිටිය හැකියි.

ඔබත් නළුවකු වශයෙන් ප්‍රසිද්ධ වීමට අමතරව විෂය ක්‍ෂේත්‍රයන් කිහිපයක් පිළිබඳ වෘත්තීය මට්ටමේ සුදුසුකම් ලැබූ අයෙක්. ඉතින් ඔබ කොහොමද අපේ සමාජයේ සම්මත උගතුන් දෙස ඔය විදිහට බලන්නේ?
මම පිළිගත් විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා හමාර වුණාට ඊට වඩා අති ප්‍රබල තවත් විශ්ව විද්‍යාලයකින් අදටත් නිරතුරුවම ඉගෙනුම ලබනවා. ඒකයි මට ඔය වගේ තත්වයක් හොඳට දැක ගන්න පුළුවන්!

මොකක්ද ඔබ ඔය කියන අති ප්‍රබල විශ්ව විද්‍යාලය
ඇයි? සමාජය කියන විශ්ව විද්‍යාලය.

සහන් සංකල්ප සිල්වා
මුලාශ්‍ර – ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button