පළකල දිනය : Fri, Apr 7th, 2017

පුතුගේ උපන් දිනය අසරණ දරුවන් සමඟ සැමරූ පොලිස් අම්මා

මේ කියන්න යන පුවත වාර්තා වෙන්නේ කඳපොළ හයේ කණුව ප්‍රදේශයෙනුයි. ඒ පොලිස් ස්ථාන තුළ ස්ථාපිත කොට තිබෙන කාන්තා හා ළමා කාර්යාංශයෙන්ගෙන් සිදුවන සමාජ මෙහෙවරෙහි අගය තවදුරටත් වැඩි කරමින් තම දරුවාගේ පළමු උපන් දිනය ආදර්ශමත් ලෙසින් පැවැත්වූ පොලිස් නිලධාරිනියක් ගැනයි.

ඇය කඳපොළ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අංශය භාරව සිටිනා කාන්තා පොලිස් කොස්තාපල් සජීවනී (2435) මහත්මියයි.

මව්පියන්ගේ සෙනෙහස අහිමිවීමෙන් හෝ සමාජයේ නොයෙකුත් අසාධාරණයන්ට හා කුරිරුකම්වලට මෙන්ම යම් අතවරයන්ට ලක්ව දුකට පත්ව සිටියදී පොලිසියේ පිහිට ලද කුඩා දරු දැරියන් 20 ක පිරිසක් තෝරාගෙන ඔවුන් තම නිවසට කැඳවාගෙනවිත් මෙම උපන්දින උත්සවයට සහභාගි කරවාගෙන තිබිණි.

එම දරු දැරියන් ඉදිරිපිටදී තම දරුවාගේ උපන් දින කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනාට තමන් කැමැති අන්දමට රසකැවිලි හා ආහාරපාන ලබාගැනීමට ඉඩ සලසා දී තිබීම විශේෂයෙන් කැපී පෙනුණ දෙයකි. කොතෙක් කෑමට ආසා වුවද වැඩිහිටියන් හා පිටස්තර අය ඉදිරියේ දරු පැටවුන් එම ආහාර ගැනීමට යම් අදිමදිකමක් දක්වන නිසාම වැඩිහිටියන් ඈත්වී මෙම උපන් දින කෑම මේසයත් දරුවනට තමන් කැමැති ඕනම දෙයක් ඕනම ප්‍රමාණයක් කෑමට රිසි තැනක් බවට පත්කර දී තිබිණි.

අසරණ දරුවන් විසිදෙනෙකු මෙසේ තම නිවසට කැඳවාගෙන විත් ඔවුනට ආහාරපානයෙන් සංග්‍රහ කොට තෑගි භෝග ලබාදීම සඳහා ඇයගේ සැමියා වන සංජය ගුණරත්න මහතා විශාල සහයෝගයක් ලබා දුන් බව ඇය පවසයි.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button