පළකල දිනය : Fri, Apr 28th, 2017

බත් පාර්සල් ණයට අරගෙන සුනඛයන්ගේ සාගිනි නිවන කලාකරුවා

සැනට් දික්කුඹුර අප කවුරුත් දන්නා දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. වේදිකාව පුංචි තිරය මෙන්ම රිදී තිරයද ජයගෙන සිටින සැනට් රංගන ශිල්පයට අමතරව වේශ නිරූපණ ශිල්පියකු ලෙසද කටයුතු කරයි.

ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා නාට්‍යය සඳහා ඔහු හොඳම වේශ නිරූපණයට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබිය. මීට අමතරව ඔහු ‍පොදු රසිකයන් අතර සුවිශේෂ මතක සටහනක් තබා ඇත්තේ එක්තරා වෙළෙඳ දැන්වීමක් තුළිනි. මෙහි වියපත් මුත්තනු කෙනෙකුගේ චරිත නිරූපණයක යෙදෙන සැනට් වංගෙඩියක බුලත් විට කොටමින් හිඳින විට එතුළට කොහේදෝ සිට රෝල් වෙමින් ආ පෙපර්මින්ට් පෙත්තක් වැටෙයි. පෙපර්මින්ට් පෙත්තද බුලත් විට සමග ඉබේම කෙටෙයි. ඒ බුලත් විට සපන සීයා බලවත් අමන්දානන්දයට පත්ව පිනුම් ගසමින් සිය සතුට පළ කරයි. මේ දැන්වීම අදටත් ප්‍රේක්ෂක මතකය තුළ නිදන්ගතව තිබෙනු නිසැකය.

දෙහිවල සරණංකර පාරේ නිවාස සංකීර්ණයකට අයත් කුඩා නිවසක තනිව වෙසෙන සැනට් අවිවාහකයෙකි. ඔහුගේ සහෝදර සහෝදරියෝ විවාහ වී වෙනම ජීවත් වෙති. සැනට්ගේ ආත්මයම කලාවයි. ඔහුගේ ජීවිතය බැඳී පවතින්නේ කලාව සමගය. අතිශය සංවේදී මනුෂ්‍යයකු වන සැනට් තිරිසන් සතුන්ට දක්වන්නේ නොමද වූ ආදරයකි. අපට මෙන් ඔවුන්ටද මේ මහ ‍පොළොවේ ජීවත්වීමට සම අයිතියක් ඇති බවට බෞද්ධ දර්ශනයෙහි දැක්වෙන දාර්ශනික සංකල්පය හිස් මුදුනින් පිළිගන්නා සැනට් කලාව හැරුණු විට සිය ජීවිතයෙහි අනෙක් අරමුණ කර ගෙන තිබෙන්නේ අසරණ සතුන්ට සැලකීමය.

ඔහු කලාවෙන් විශාල ලෙස මුදල් උපයන්නකුවත්, කලාව නිසා ඉපයූ විසල් තැන්පත් ධනයකට හිමිකම් කියන්නකුවත් නොවේ. නමුත් හදවතින් ඔහු මහා ‍පොහොසතෙකි. එනිසාම ඔහුගේ ආදරය දිනු අසරණ සුනඛයන්ට ඔහු සලකන්නේ ඉතිරි වන ඉඳුල් දී නොවේ. වෙනමම බත් සහ මාළු ව්‍යංජනයක් පිසදීමෙනි.

“සත්තු අපට වඩා පහත් කරලා හිතන්නේ ඇයි අපි? ඒ ගොල්ලන්ටත් තියෙන්නේ අපට වගේම ජීවිත. අනික මිනිස් අපිට මෙච්චර ආදරය කරන ගෞරව කරන සුනඛයන් වගේ සත්තුන්ව පහත් කොටසක් හැටියට නම් කිරීමෙන් පේන්නේ අපේ පහත්කමම තමයි.” – ඒ සැනට්ගේ අදහසයි.

සැනට් සුරතලයට සතුන් ඇති කරන්නෙක් නොවේ. කාගේවත් හව්හරණක් නොමැතිව අසරණව සිටින සතුන් වෙනුවෙන් තම ජීවිතයේ විශාල කොටසක් කැපකොට සිටින්නෙකි. මේ සතුන් නිතරම සැනට්ගේ නිවසේ රැඳී සිටින්නේ නැත. උන් පාරේ ඉපදී හැදී වැඩුණු අය බැවින් වැඩිපුර ගත කරන්නේ පාරේය. කොහේ සිටියත් සැනට් ගෙදරට එන මොහොතේ මේ සතුන් ඔහු පසුපසය. සැනට් කොහේ ගියත් සතුන්ගේ කෑම වරද්දන්නේ නැත. සැනට්ගේ දුරකථනය නාද වන විට ඔහු ළඟපාතක නොසිටියොත් මොවුන් අතරින් ටොමී හඬ නගා උඩු බුරන්නේ සැනට්ට දුරකථනය නාද වන බව දැනුම් දෙන්නටය.

රඟපෑම වෘත්තිය කරගත් සැනට්ට මුදල් ගලා එන නිශ්චිත ක්‍රමයක් නැත.

එසේම මසකට නිශ්චිත ආදායමක් නැත. ඒ හේතුව මත තමන්ටත් අතේ සතේ නැති දවස් උදාවන බව සැනට් කියන්නේ කලකිරීමෙන් හෝ කම්පාවෙන් නොව සිනා මුසු මුහුණිනි. එබඳු දවස්වලට ඔහු සතුන්ට දීම සඳහා කෑම පාර්සල් ණයට ගන්නා රතුකැකුළු බත් කඩයක් ඔහුගේ නිවසට කිට්ටු ස්ථානයක තිබේ.

නැවත මුදල් ලැබුණු විට ගෙවීමේ පදනම මත මාස දෙක තුනක් වුවද සැනට්ගේ සතුන් වෙනුවෙන් බත් පාර්සල් ණයට ලබා දීමට තරම් එම කඩ හිමියා කාරුණිකය.

සැනට් සලකන්නේ මේ සතුන් කිහිප දෙනාට පමණක් නොවේ. ඔහු යන එන ඕනෑම තැනක සුනඛයකු දුටුවොත් ඌ වීදි සුනඛයකු බව වැටහුණු විට කෙසේ හෝ ඌට කෑම ටිකක් ලබා දීමට සැනට් පෙළඹෙන්නේ එසේ නොකර එතැනින් පිටමං වන්නට ඔහුගේ දෙපා ඔහුට අවනත නොවන නිසාය.

ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගි වීමට යාමට සිදු වූ කල ඒ යන තැනක සුනඛයන් සිටියොත් ඒ සියලු දෙනාටම කෑම රැගෙන දීම සැනට්ගේ සිරිතය. එසේම ඔහු රූගත කිරීම්වලට පිට පළාත්වලට යනවිට ඔහුගේ නිවස අසල සිටින සුනඛයන්ට ආහාර ලබා දීම කරන්නේ නුදුරු නිවසක හිඳින සැනට්ගේ සොයුරියයි. කෙසේ වුවත් කොතැනක ගිය සැනට් තමන්ගෙන් යැපෙන සතුන් ගැන සොයා බැලීම සඳහා හැකි ඉක්මනින් නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන හිඳී.

“මම ඕනෑම සතෙකුට හරිම ආදරෙයි. සමහර මිනිසුන් තුළ කොහොමටවත් නැති හොඳ ගුණ යහපත්කම් රාශියක් මං සතුන්ගෙන් දකිනවා. විෂඝෝර සතුන්ට පවා මගේ හිතේ තියෙන්නේ විශාල කරුණාවක්. මොකද ඒ සෑම දෙනාටම මේ මිහිතලයේ ජීවත් වීමට තියන සම උරුමය මම පිළිගන්නවා. සතුන්ට සලකන කෑමබිම දෙන එක ලෙඩට දුකට ප්‍රතිකාර ලබා දෙන එක මහ විශාල දානමය පිංකමක්. මොකද සතෙකුට ඒ විදිහට සලකන එකෙන් අපි ආපහු උගෙන් බලා‍පොරොත්තු වෙන දෙයක් නෑ. ඒ හින්දා ඒක අංගසම්පූර්ණ දානයක්. ඒ කියන්නේ අත හැරීමක්. මේ වෙනුවෙන් අපට හුඟක් දේවල් වියදම් වෙන්නෙත් නෑනේ. සතෙක් මනුෂ්‍යයෙකුගෙන් බලා‍පොරොත්තු වෙන්නෙත් කෑම ටිකයි උන්ට හිංසාවකින් තොරව තමන් ඉන්න තැන මැරෙනකල් ඉන්න ලැබෙන එකයි විතරයිනේ. මේ ටික තේරුම් ගන්න බැරි මිනිස්සු සත්තුන්ට මොන තරම් වද හිංසා කරනවද? ඇත්තටම එහෙම උදවියට මනුෂ්‍යයා කියන වචනයවත් ගැළපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.”

සැනට් සිය කතාව අවසන් කළේ එලෙසිනි.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button