පළකල දිනය : Thu, May 11th, 2017

මල් පුජාවේ ඇති මහානුභාව ආනිසංස දැනගමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන්නේ අප හැමෝම දන්නා මල් පුජාව පිළිබඳ ව යි. මෙහි මාතෘකාව දුටු විට මල් පූජාකර මොන නිවන් දැයි කෙනෙක් සිතන්න ට පුළුවන. ලිපිය කියවා අවසාන වූ විට එ ම සිතුවිල්ල සිතින් ඉවත් වනු ඇත.

පළමුවෙන් ම අපි “මල්” හා “පූජාව” යන පදවල අරුත විමසා බලමු. “මල්” යනු මමත්වය ට බැඳුනු ළය යන්න ය. “පූ” යනු ආහාරය යි. “ජා” යනු ජනිත කරවීම ය. මෙ හි දී “ආහාර” කියා හැඳින්වෙන්නේ කන බොන ආහාරක් නො වන බව සිහිකට යුතු ම ය. ආර්ය ආර්යෂ්ඨාංගික මාර්ගය නිවන ජනිත කිරීම ට ආහාරක් වන්නා සේ “ආහාර” යන වචනයෙහි අරුත වටහා ගත යුතු ය.
දැන් මාතෘකාව ට එළඹෙමු.

බුදුන් පුදන්න මල් ම තොරා ගත්තේ ඇයි?

විවිධ ආගම්වල විවිධ පුජා ක්‍රම දකින්න ට ඇත. “පූජාච පූජනීයානං” පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. බෞද්ධයන් ගේ පුජා ක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය ම පුජාවකි මල් පුජාව. ඇයි බෞද්ධයන් බුදුන් පුදන්න ට මල් ම භාවිත කරන්නේ? කියා කෙනෙක් සිතන්න ට පුළුවන්. එ විට සිත ට එකවර ම නැගෙන සිතිවිල්ල තමයි මල් බොහොම සුවඳවත්, මල් හරි ම ලස්සනයි කියන එක. එහෙනම් මම ඔබෙන් මේ විදියට ඇසුවොත්. ගස්වල මල් හැරුන විට ගෙඩි ත්, ඇතිවෙනවා. අන්නාසි වගේ ගෙඩි ලස්සනයි. ඒ වගේ ම ඉදුනම සුවඳ යි. නමුත් බුදුන් පුදන්න ට කවර දාක වත් දෙවියන් ට කවන්න ට යන පලතුරු වට්ටියක් යොදාගත් බවක් මා අසා නැත. එ සේ නම් මල් පුදන්නේ ලස්සන හෝ සුවඳ නිසා නො වන බව ත්, එ හි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇති බව ත්, වටහා ගත යුතු ය.

නිවන් යන්න මලක් පිදුවත් ඇති.

මේ කියන්නේ ගොඩක් මල් පුජා කළ විට නරක යි කියන එක හරි ගොඩක් මල් පුජා කළ විට ගොඩක් පින් ලැබෙනවා කියන එක හරි නො වේ. අද සමහර දෙනා නිවන් පතා ම මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ප්‍රසිද්ධිය ට මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ලොකුකම පෙන්වන්න ට මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ලක්ෂ ගණනින් මල් පුදන්නේ ය. ඔබ ත්, මෙයින් එක් ආකාරයකින් හෝ මල් පුදන්නෙකි.

නමුත් අපි මල් පුදන්නේ කුමන සිතුවිල්ලකින් ද? කියන කරුණ මෙ හි දී වැදගත් වෙනවා.
“වණ්ණ ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතිං පූජයාමී මුනින්දස්ස සිරිපාද සරෝරුහේ”
මෙ හි සරල අර්ථය වන්නේ වර්ණයෙන්, ගන්ධයෙන්, ගුණයෙන් යුතු මේ මල් බුදුරජාණන් වහන්සේ ගේ සිරිපාදයන් ට පූජා කරමි, පූජා වේ වා! යන අරුත යි.

අප මේ ගථාව කොපමණ වාරයක් නම් කියන්න ට ඇත් ද? මල් වට්ටියක් ලස්සන ට සරසලා බුදු පිළිමයක් හෝ බුදු රුවක් ළඟ ට ගොස් ජීවමාන බුදුරදුන් ට පූජා කරමි, පූජා වේ වා! කියා සිතාගෙන ඉහත ගාථාව කියා බුදුන් වැඳ නිවන් පතා ගෙදර එයි. නමුත් මෙ ම ගාථාවේ ඉහත කී අර්ථය ට වඩා බොහෝ ගැඹුරු අර්ථයක් ඇත. මෙ තැනින් ඉදිරිය ට මේ ලිපියෙන් කියවෙන්නේ ඒ අර්ථය පිළිබඳ ව ය.

මල් කැඩීම.

ව්‍යංග්‍යාර්ථයන් සහිත ව ගත් කල අද නම් මෙය ට බොහෝ තේරුම් ඇත. නමුත් මේ කියන්න ට යන්නේ අතීත බෞද්ධයන් මල් කඩන්න ට ගිය ආකාරය ය. ඔවුන් මල් දෙස බලා සිතුවේ මල් හරි ලස්සන යි, සුවඳ යි (සුව+අන්ධ), කියන කරුණ නම් නො වේ. ඔවුන් මල් දෙස බලා අවබෝධ කොටගත් දෙයක් තිබුණා. ඇයි ලස්සන ට මල් පිපුනේ? ඇයි මලින් සුවඳ හමන්නේ?, ඇයි මල් පෙති සිනිඳු?, ඇයි පැණි තියෙන්නේ? ඇයි රොන් තියෙන්නේ? මෙහෙම තියෙන්නේ කාව ලස්සන කරන්න ද? කාව සුවඳවත් කරන්න ද? ලෝකය ලස්සන කරන්න ට කියා කෙනෙක් කියාවි. ලෝකය කියන්නේ සිංහලෙන් ම කිවහොත් ලෝ+කය = ලෝකය “ලෝ” යනු ලොවනවා යන්න යි. “කය” යනු ක්ෂය යන්න යි. එ බැවින් “ලෝකය” යනු ක්ෂයවන දේ පසුපස ලොවමින් යෑම යි.

තව ත් කෙනෙක් කියාවි සමනලයන්, බඹරුන් වැනි සතුන් ට ආහාර පිණිස මල් පිපී ඇති බව. නමුත් අපි නො දන්න පැත්තක තිබෙණ අර්ථය මෙය යි. හොඳින් තේරුම් ගන්න ලස්සන,සුවඳ,පහස, බලබලා ඉන්න ට මල් පිපී නැති බව. සමනලයන්, බඹරුන් වැනි සතුන් පැමිණ මේ මලේ තිබූ රේණු හා ඩිම්බ සංසේචනය කරවීම සිදු කරන ලදී. මල ට අවශ්‍ය වූයේ ද, එය යි. මේ හේතුව නිසා අනාගතයේ ඵලයක් ඇති වන්නේ ය. දැන් මේ ගස ආයු කාලය අවසන් ව ගිය ද, නැවත එ වැනි ම පැළයක් ඇති වීම ට අවශ්‍ය පදනම වැටී හමාරය.

ඊට පස්සේ මොනව ද වෙන්නේ? දැන් මලේ අවශ්‍යතාවය, කාර්යය, දැන් අවසාන යි. ලස්සන වුණෙත්, සුවඳ හැමුවෙත් ඔය දේ සිදු කරගන්න ට බව ඔබ ට වැටහිය යුතු ය. පරාගනය අවසන් වනවාත් සමග ම දැන් මල පෙති ගිලිහී, සුවඳ වියැකී ගොස් ඊළඟ කාර්යය ට සූදානම් වේ.

ඉන්පසු බීජයක් ඇති වන්නේ ය. එය මේරූ පසු මහපොළොව ට වැටී පැළවීම ආරම්භ කරයි. මේ නිසා මව් ශාකය යම් කාලයක දී මියගිය ද, පරපුර ආරක්ෂා වන්නේ ය.

දැන් මල කැඩූ නිසා සිදුවන්නේ කුමක් ද? මේ නිසා බීජයක් ඇතිවන්න ට හේතු වූ කරුණ නැති වන බැවින් බීජයක් ඇති නො වේ. මේ නිසා ඉහත කිසිඳු කරුණක් ඉහත ආකාරය ට සිදුවන්නේ නැත. එ බැවින් ගස යම් කාලයක දී මැරී ගිය පසු නැවත පැළයක් හට නො ගන්නා නිසා ඒ ශාක පරපුර එ තැනින් අවසන් වන්නේ ය. මේ නිසා ආයු කාලය අවසාන වූ පසු එ ම පරපුර එ තැනින් නතර වන්නේ ය.

දැන් මෙය අප ගේ ජීවිතය හා සසඳා බැලිය යුතු ය. මේ ලෝකය මල් උයනක් ලෙස උපමා කර ගන්න. එ හි ගස්වැල් මේ ලෝකයේ සිටින සතුන් ලෙස උපමා කරගන්න. ඒවායේ පිපෙන මල් අපේ ඇස, කන, ආදී පංච ඉන්ද්‍රියන් ලෙස ගත යුතු ය. දැන් අපි ලස්සන ට මල් ගහක් වගේ සැරසිලා ඉන්නවා. ඇයි ඒ? එකිනෙකා කෙරෙහි වසඟතාවයක් ඇතිකර ගැනීම ට නො වේ ද? පංච ඉන්ද්‍රියන්වලින් සිදුවන්නේ රූප, ශබ්ධ ආදී අරමුණු මලේ රොන් ලෙස ලබා ගැනීම යි. මෙ විට සිත තුළ කාම ලෝකවල උපත සඳහා හේතුවන බීජයක් හට ගන්නේ ය. මෙ ම කාම බීජයන් දිගින් දිග ට ම හටගැනෙන නිසා අප ගේ මරණය සිදු වූ පසු ව ද, සසර ගමන කෙළවර නො වන්නේ ය. නැවත නැවත ත්, උප්පත්තීන් කරා යන්නේ ය.

සසරේ දී අප හැඬූ කඳුළු මහසයුරේ දිය ට වඩා වැඩි නම්, මැරි මැරී ගිය වාරවල ඇටසැකිලි මේ මහපොළොවේ පස්වල ට වඩා වැඩි නම්, මේ ලෝකයේ අල්ලාගත යුතු, අල්ලාගත හැකි, යමක් තිබෙන්නේ දැ යි, අප සියලු දෙනා ම නුවණින් විමසා බැලිය යුතු ය.

මල් කැඩූ ගසක් වන්න ට අප ට ත්, හැකි නම් අප ගේ මරණයෙන් පසු ව නැවත නැවත ඉපදීමක් ඇති නො වන්නේ ය. පංච ඉන්ද්‍රියන් සංවර කරගැනීමෙන් නිවන් දකින්න ට, සසරින් එතෙර වන්න ට හැකිවනු ඇත. එ සේ නම් මල් පූජාවේ යථාර්ථය දැන නිවන සඳහා ප්‍රවේශ වීම ට හැකි වන බව ඔබ ට වැටහෙනු ඇත.

එ සේ නම් අප බුදුරදුන් ට කොපමණ මල් ප්‍රමාණයක් පූජා කළ ද, මේ ආකාරයෙන් නො දැන, නො දැක එය සිදුකරන්නේ නම් අප බලාපොරොත්තු වන නිරෝධය (රෝද නැති තැන රියෙ හි නැවැත්ම සේ) කරා ළඟා වීම ට නො හැකි වන්නේ ය. මේ කරුණ මෙ සේ තේරුම් ගෙන සිදු කරන මල් පූජාව වඩා ත්, අර්ථාන්විත වනු ඇත. මල් පූජාවෙන් නිවන් දකින්න ට උපනිශ්‍රය වනු ඇත.

තෙරුවන් සරණ යි!

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button