පළකල දිනය : Sun, May 14th, 2017

ද්විත්ව පුරවැසිකම් ඇති තවත් මැති ඇමැති 6ක්‌ ගෙදර..

ද්විත්ව පුරවැසි බව පිළිබඳව අධිකරණය ලබාදුන් තීන්දුව නිසා දෙමළ ජාතික සන්ධානයේ සහ රජයට සම්බන්ධ මැති ඇමැතිවරු හය දෙනෙකුගේ මන්ත්‍රී ධුර අහෝසි වනු ඇත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු හතර දෙනෙක්‌ (4), එක්‌ කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ සහ රාජ්‍ය ඇමැතිවරයෙක්‌ එලෙස ද්විත්ව පුරවැසි බව හිමි අය අතර සිටින බව අනාවරණය වී තිබේ.

මෙලෙස යම් මන්ත්‍රීවරයකුගේ එම ධුරය ද්විත්ව පුරවැසිකම නිසා අහිමිවීමේදී ඔහු හෝ ඇය නියෝජනය කරන දේශපාලන පක්‌ෂය අදාළ දිස්‌ත්‍රික්‌කයට ඉදිරිපත් කළ අපේක්‌ෂකයන් අතරින් තේරී පත් වූ මන්ත්‍රී ලයිස්‌තුව අහෝසි වන බවට රට තුළ මතයක්‌ පැවැතුණත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි සංශෝධනයට අනුව අදාළ ලයිස්‌තුව අහෝසි නොවන බව නීති විශාරදයෝ පවසති.

කෙසේ නමුත් ද්විත්ව පුරවැසි බව හිමි මන්ත්‍රීවරුන්ගේ ලයිස්‌තුවක්‌ තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආගමන විගමන පාලකවරයා ගෙන් ලිත ඉල්ලීමක්‌ ද කර ඇත.ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට කැනඩාව, ස්‌විස්‌ටර්ලන්තය, බ්‍රිතාන්‍යය යන රටවල පුරවැසි බව හිමිව ඇත.

ද්විත්ව පුරවැසි බව නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වී ඇත. ද්‍රවිඩ සන්ධානය මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. මේ අතර ස්‌විස්‌ ආරංචි මාර්ග පැවසුවේ රජයේ ඇමැතිවරයෙකුට ස්‌විස්‌ පුරවැසි බව හිමිව ඇති බවයි.මෙලෙස ද්විත්ව පුරවැසි බව ලබා ඇති ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් පිළිබඳව විදේශ රටවල ආගමන කාර්යාල වලින් තොරතුරු ලබාගත හැකි අතර ඒ ගැන රජයේ අවධානය යොමුව තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button