පළකල දිනය : Fri, May 19th, 2017

අතුරුදන් වූ 90 වියෑති මව අඩි 2000 ක්‌ උස කඳු මුදුනක

ගම්පොළ පුපුරැස්‌ස රජ තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90 ක්‌ පමණ වයසක සයදරු මවක්‌ දින දෙකක්‌ පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්‌ස ගලේකන්ද නමැති අඩි 2000 ක්‌ පමණ උස කඳු මුදුනක සිටිය දී සොයාගෙන ඇත.

පඳුරු සහිත ඝන කැලෑවක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස්‌ මෙතරම් උස කඳු මුදුනකට මෙම වයසක මව ගියේ කෙසේ දැයි ගම්වාසීහු විමතිය පළ කරති.

මෙම මවගේ දූදරුවන් පස්‌දෙනකු විවාහ පත්ව රජතලාව ප්‍රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්‌තිය අඩු සිය බාල පුතු සමග මෙම මව නිවසේ සිට ඇත.

දැනට දින දෙකකට පෙර මව නිවසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්‌ව ප්‍රදේශයේ ඇළ, දොළ, ගංගා ඇතුළු ප්‍රදේශයේ සියලුම තැන්වල සොයා ඇත.

තරුණයන් පිරිසක්‌ මෙම කඳු ප්‍රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකි වී තිබේ.

ඒත් තරුණයන් පිරිසක්‌ කඳු මුදුනට යමු යෑයි කතා වුණද එතරම් උස කන්දකට කොහොම යන්නද යන්න පිළිබඳවත් විමතිය පළ කර තිබේ.

නමුත් අවසානයේ තරුණයන් කණ්‌ඩායමක්‌ කන්ද නැගීමට තීරණය කොට පරීක්‍ෂාවෙන් ගමන් කිරීමේ දී අතරමග ඇඳ ඇතිරිල්ලක්‌ තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැග ඇත.

එවිට ඇය කඳු මුදුනේ ගලක්‌ මත වාඩිවී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ තිබේ.

රාත්‍රී දෙකක්‌ පුරා කිසිදු ආහාරයක්‌ හෝ ජලය නොමැතිව මෙම මව කඳු මුදුනේ ඝන කැලෑවේ සිට ඇත. මෙම මව පසුව රෝහල් ගත කර කෙරිණි.

මව සොයන මෙහෙයුම සඳහා පුපුරැස්‌ස පොලිසියේ ස්‌ථානාධිපති පො. ප. මනෝරංජන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ නිලධාරීන්ද සහභාගි වී තිබිණි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button