පළකල දිනය : Fri, May 19th, 2017

සමහරු ලිංගිකත්වය උලුප්පන ගීත හදන්නෙ වාණිජ අරමුණින්

වසරක් පාසා වෙනස්ම ආකාරයට සංගීත ප්‍රසංගයක් පවත්වන ඔහු මෙවර සංගීත ප්‍රසංගය පවත්වන්නේ සංගීත ගමනට වසර හතළිහක් සපිරීම නිමිත්තෙනුයි. මෙරට සිටින ජනප්‍රිය මෙන්ම දක්ෂ ගායකයෙක් වන කීර්ති පැස්කුවෙල්ගේ මෙම ප්‍රසංගය ගැන වගේම අලුත් තොරතුරු දැනගන්න අපි ඔහුට කතා කළා.

ඔබ මෙවර පැවැත්වීමට සූදානම් වන සංගීත ප්‍රසංගය ගැන කතා කළොත්?

‘කීර්ති ගී’ නමින් තමයි මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ. නමුත් මම මෙයට විශේෂණයක් යොදලා තියෙනවා ජ්මධතභබඪධද ධට ර්භඵඪජ ඡර ම්ඥඥපබඩඪ චඵඳමඥත කියලා. මගේ සංගීත දිවියේ මුල සිට මේ දක්වා සංගීත ගමන තුළ සිදුවන සංගීත පරිණාමය මේ ප්‍රසංගය තුළින් පෙන්වීමට අදහස් කරනවා.

මෙහිදී විශේෂ යමක් සිදුවෙනවාද?

ඔව්.එක් එක් වකවානුවලට අදාළව මා විසින් පෙන්වන්නට යෙදෙන විශේෂ පුද්ගලයන්ට මම ආරාධනා කරනවා මාත් එක්ක ගීත ගායනා කරන්න.

මෙහිදී ඔබේ නවතම ගීත එකතුවක් නිකුත් වෙනවා නේද?

ඔව්. මේ ප්‍රසංගයේදී මගේ අලුත් ගීත දහඅටක් අඩංගු සංයුක්ත තැටියක් නිකුත් වෙනවා තරු ‍පොකුරු නමින් මෙයට සම්බන්ධ බොහෝ පිරිස් ආධුනිකයන් නමුත් ඔවුන් නිර්මාණශීලියි මෙයට යුග ගීත හයක් ඇතුළත් වෙනවා එයින් වැඩි ගීත ප්‍රමාණයක් ආධුනික ශිල්පිනියන් සමග තමයි ගායනා කර තිබෙන්නේ එයට හේතුව වන්නේ නව පරපුරේ ශිල්පීන් නිර්මාණකරුවන්ට සහයෝගයක් දැක්වීමයි.

මෙය පැවැත්වීමට විශේෂ අරමුණක් තියෙනවාද?

ඇත්තෙන්ම ඔව් මම මේ ප්‍රසංගය පවත්වන්නේ මෙරට වකුගඩු රෝගයෙන් පෙළෙන අපේ සහෝදර ජනතාවට යම් සේවාවක් කරන්නයි ඉතින් මම හිතුවා මේ ප්‍රසංගයෙන් යම් ලාභයක් ලැබුණොත් එයින් කොටසක් මේ සඳහා යොදවන්න.

පසුගියදා ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයට රාජ්‍ය අනුග්‍රහය යටතේ ලක්ෂ දෙසිය පනහක මුදල් පරිත්‍යාගයක් ලැබුණා නේද?

අප්‍රේල් තුන්වැනිදා තමයි ඒ මුදල අපට ලැබෙන්නේ. මෙම සංගමයේ වයස අවුරුදු හැට පහට වැඩි ශිල්පීන්ට අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සූදානම් කරනවා. එය ගෙවන්නේ මෙම මුදල තැන්පත් කොට ලැබෙන ‍පොලී මුදලින්.

අද සංගීතය කියන දේ මූල්‍යමය ගනුදෙනුවක් වෙලා කීවොත් ඔබ එය පිළිගන්නවාද?

වර්තමානයේ විතරක් ‍නෙවෙයි ඒ දේ කාලයක ඉඳන් වෙන දෙයක්. නමුත් අද ගීතවලට වඩා මුදල් කියන දේ තමයි ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඒ ගැන කනගාටුවක් තියෙන්නේ.

ඇතැම් ගායක ගායිකාවන් තමන්ගේ නිර්මාණ තුළින් බලන්නේ ප්‍රේක්ෂක රසවින්දනයට වඩා තමන්ට ලැබෙන මූල්‍යමය වටිනාකම නේද?

හැමෝම එහෙම නෑ. අද බොහෝ දෙනා කොහොම හරි බලන්නේ තමන්ගේ සින්දුව ජනප්‍රිය කරගන්න. නාළිකාවලට මුදල් ලබාදීලා හරි ඒ සින්දු ජනප්‍රිය කරගෙන රිගින් ටෝන්වලට දෙනවා. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ මූල්‍යමය ගනුදෙනුවක් නමුත් මෙයින් හම්බ කරන්නේ වෙනමම පිරිසක් විතරයි.

එදා සවන් පිනවන ගීත නිර්මාණය වුණත් අද බොහෝ ගීත නිර්මාණය වෙන්නේ නෙත පිනවන්න නේද?

ඔව්. අද රූප මාධ්‍යයක ගීත ප්‍රචාරයක් කරන්න නම් ගීතයකට රූප රචනාවක් අවශ්‍යයි. නමුත් අද බිහිවෙන බොහෝ රූප රචනා ඒකාකාරියි. දක්ෂකම් තිබෙන තරුණ පිරිසක් සිටින නිසා විවිධත්වයෙන් යුතු රූප රචනා නිර්මාණය වෙන්න ඕන කියලයි මම හිතන්නේ.

අද වනවිට ලිංගිකත්වය කියන දේ ගීත ජනප්‍රියත්වයට යොදා ගැනීම ගැන මොකද හිතෙන්නේ?

නිර්මාණවල ලිංගිකත්වය කියන දේ යොදාගන්නේ කුතුහලය කියන දේ අවුස්සන්නයි. සීගිරියේ සිටින ලලනාවන් සිතුවම් කරලා තියෙන්නේ උඩුකය නිරුවත්ව. ඔවුන්ව දැක්කහම හැඟීමක් ඇතිවෙනවා. සමහර නිර්මාණවලට ඔය දේවල් යොදාගන්නේ ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සන්න. අනෙක් දේවල්වලට මෙවැනි දේ යොදාගත්තත් අපේ රටේ වගේම අනෙක් රටවලත් මේවා මෙය කාටද යනු කියලා තෝරනවා. ගීත රූප රචනා සඳහා එවැනි සීමාවක් නොමැති නිසා මෙවැනි දේවල් වැඩි වැඩියෙන් නිර්මාණවලට යොදාගන්නවා. ඔවුන් මෙවැනි දේ තමන්ගේ නිර්මාණවලට යොදා ගැනීමෙන් බලා‍පොරොත්තු වෙන්නේ තමන්ගේ ගීතය බලන පිරිස වැඩි කරගෙන එයින් මූල්‍යමය ලාභයක් ලබන්න. ඒනිසා මෙවැනි නිර්මාණවලට යම්කිසි ප්‍රතිපත්තියක් බිහිවෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.

එදා ගීතවලින් සමාජයට පණිවුඩයක් ලබාදුන්නා. ඒත් වර්තමානයේ නිර්මාණවලින් වෙන්නේ යොවුන් පිරිස නොමග යැවීමක්?

වර්තමානයේ බිහිවන හැම ගීතයක්ම එහෙම වෙන්නේ නෑ. නමුත් ඇතැම් නිර්මාණවලින් එහෙම වෙනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ ගීතවලින් සමාජයට පණිවුඩයක් දීමට වඩා ඔවුන්ගේ වාණිජමය අරමුණු ඉටුකර ගන්නයි.

පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවක අසභ්‍ය වචන භාවිත කළ ගායකයෙක්ට එරෙහිව පියවර ගත්තා නේද?

ඔව්. අපි හැකි උපරිමයෙන් වගකිවයුතු අයට දැනුම් දුන්නා. අදාළ ‍පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දැම්මා. මේ ගැන ‍පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. සංස්කෘතික අමාත්‍යවරයාට වගේම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියටත් මේ පිළිබඳව දැනුම් දුන්නා. අපේ උපරිමයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කළත් තවම නීතිය පැත්තෙන් කිසිම දෙයක් වෙලා නෑ.

අවසාන වශයෙන් ඔබේ රසික රසිකාවියන්ට මේ ප්‍රසංගය නැරඹීමට ආරාධනා කරන් නැද්ද?

මෙම ප්‍රසංගය මට ගොඩක් විශේෂයි. ඒ වගේම මගේ රසිකයන් හෝ ගීත ප්‍රිය කරන කවුරුන් හෝ ඉන්නවා නම් මේ අයටත් මෙම ප්‍රසංගය වැදගත් වේවි කියලා මම හිතනවා. ඉතින් මම හැමෝටම ඉතාම ආදරයෙන් ආරාධනා කරනවා 2017 මැයි 20 වැනිදා සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවට එන්න. ඇවිත් මේ ප්‍රසංගය නරඹන්න කියලා.

තිළිණි කරුණාරත්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button