පළකල දිනය : Thu, May 25th, 2017

බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස විසදෙයි?

බර්මියුඩා ත්‍රිකෝණය යන නම අහපු ගමන් ගොඩක් දෙනෙක්ගේ මතකයට නැඟෙන්නේ තවමත් නොවිසඳුණු අබිරහසක් ලෙසයි. අත්ලාන්තික් සාගරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා තිබෙන්නේ ෆ්ලොරීඩාවේ මයාමි, බර්මියුඩා සහ පියුටරිකෝ හි ශාන්ත ජුවාන් යන ප්‍රදේශ අතරයි.

මෙම මුහුදු ප්‍රදේශය කවුරුත් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන ඒවාගේම විද්‍යාඥයන්ට පවා ප්‍රහේලිකාවක් වූ මාතෘකාවක් ලෙස සැලකෙන්නේ එහි සිදුවන කිසිදු දෙයකට සිදුවූයේ කුමක් දැයි නිශ්චිතවම හඳුනාගැනීමට නොහැකි වන නිසයි.

මෙහි අතීතය වර්ෂ 1948 දක්වා කාලය වෙත දිව යනවා. ඒ ඇමෙරිකාවට අයත් ටෝපිඩෝ බෝම්බ හෙළන ගුවන් යානා පහක් සහ ඒවාට සිදුවූයේ කුමක් දැයි පරීක්ෂා කිරීමට යැවූ තවත් ගුවන් යානයකට සිදුවූයේ කුමක් දැයි සොයාගැනීමට නොහැකිවීමේ සිදුවීමයි.

එතැන් පටන් මේ දක්වා කාලය පුරාවට ගුවන් යානා 75කට ආසන්න ප්‍රමාණයක් වගේම සිය ගණන් නෞකාද මේ ප්‍රදේශයේදී මේ දක්වා කාලය පුරාවට අතුරුදන් වී තිබෙනවා. මේවාට කුමක් සිදුවූයේ දැයි නිශ්චිත පිළිතුරක් ලබාදීමට පර්යේෂකයන් මේ දක්වා අපොහොසත් වී තිබෙනවා. අවසන් වරට මෙහිදී අතුරුදන් වූයේ ඇමෙරිකාවට අයත් නෞකාවක්.

මෙම සිදුවීම් මේ ආකාරයෙන් සිදුවෙද්දී කොලරාඩේ විශ්වවිද්‍යාලයේ පර්යෙෂකයන් කණ්ඩායමක් මේ ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී ඔවුන්ට එක් සුවිශේෂීතාවක් දැකගැනීමට හැකිවුණා.

එනම් මෙම ප්‍රදේශයට ඉහළ ආකාසයේ තැනින් තැන අසාමාන්‍ය ෂඩාස්‍රාකාර වලාකුළු රටා පිහිටා ඇති බවයි. මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන කාලගුණ විශේෂඥයන් පවසන්නේ මෙම වලාකුළු වායු බෝම්බ ලෙස ක්‍රියා කළ හැකි බවයි.

ඔවුන් විශ්වාස කරන ආකාරයට මේ නිසා ඇතිවන විශාල වායුධාරා මඟින් මේ ප්‍රදේශයේ පැයට හැතැප්ම 170 ඉක්මවා යන සුළි කුණාටු ඇතිවන බවයි. ඒ වගේම අඩි 45ක් තරම් උස් වූ විශාල රැළි නිර්මාණය කිරීමටත් හේතු වන බවයි.

මෙවැනි දරුණු කුණාටුවක් හරහා මේ දක්වා නිෂ්පාදනය කර ඇති කිසිදු නෞකාවකට හෝ ගුවන් යානයකට ගමන් කිරීමට නොහැකි බව තමයි දැනගන්න ලැබෙන්නේ.

වලාකුළු සාමාන්‍යයෙන් සෘජු රේඛා ආකාරයෙන් පෙළගැසෙන්නේ නැති නමුත් බර්මියුඩාවට ඉහළ ආකාසයේ ඇති වලාකුළු මෙයට අනුගත නොවන බවක් පෙන්වනවා. එම නිසා මේ ගැන වැඩිදුර පර්යේෂණ පැවැත්වීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටිනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button