පළකල දිනය : Mon, Jun 5th, 2017

රෝගීන්ට ‘හයර් දන්සලක්’ දෙන සරත්ගේ කතාව

සමාජයේ ඉහළ යැයි සම්මත වෘත්තීන් හි යෙදෙන්නවුන්ගේ ගුණ ගරුක භාවය සහ සදාචාරාත්මක බව පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ගොඩනැඟී ඇති වර්තමානයේ තම මියගිය දෙමාපියන්ට පින් පිණිස දිනපතා රාත්‍රී අටෙන් පසු හදිසි රෝගීන් රෝහල්වලට නොමිලේ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ රියදුරෙකු අපට හමුවිය.

ඒ ගනේමුල්ල,තිබ්බටුගොඩ, අංක 52 නිවසේ පදිංචි සරත් ප්‍රේමතිලකය. ජීවිතයේ තරුණ වියේ සිටම වෘත්තීය රියදුරෙකු ලෙස කටයුතු කළ සරත් 1987 සිට 97 දක්වා පුරා වසර දහයක් සෞදි අරාබියේ බරවාහන රියදුරෙකු ලෙස ද සේවය කොට ඇත. ඉන් පසු මෙහි පැමිණ වරින් වර තමන්ගේම වාහන කිහිපයක් කුලී රථ සේවයේ යොදා තිබූ ඔහු දැනට වසර හතක පමණ සිට තමන් විසින් මිලයට ගත් ත්‍රිරෝද රථයක රියදුරු ලෙස සේවය කරයි.

ඔහු විවාහකයෙකු වන අතර දියණියන් තිදෙනෙකුගේ පියෙකි. බිරිඳ කලකට පෙර මියගොසිනි. තම අනගි සේවාව පිළිබඳව ඔහු මා හා විස්තර කළේ මෙලෙසිනි.

“මගේ තාත්තාගේ නම දාවිත් සිල්වා තාත්තා මියගිහින් දැනට අවුරුදු දාහතරක් වෙනවා. අපි සාමානයෙන් කරන්නේ මැරුණු කෙනෙකු වෙනුවෙන් අවුරුදු පතා දානයක් දෙන එක; මම හිතුවා තාත්තා‍ වෙනුවෙන්ඊට වඩා වැඩි යමක් කරන්න ඕන කියලා. අගනුවරට- ගම්පහට කිට්ටු වුණත් තවමත් මේ පළාත්වල රෑට පොදුප්‍රවාහන පහසුකම් අඩුයි. ඒ හින්දා මම රෑ අටෙන් පස්සේ උදේ හය වෙකල් මගේ ත්‍රිවිලර් එකෙන් ගම්පහ රෝහලට හදිසි රෝගීන් නොමිලේ ප්‍රවාහනය කරන්න පටන් ගත්තා. හදිසියේ කවුරුහරි මට දුරකතන ඇමතුමක් දුන්නොත් හරි ඇවිත් කතාකළොත් හරි මම වෙලාව වැස්ස වගේ කිසි දෙයක් බලන්නේ නැහැ; වැඩේ බාර ගන්නවා. අපේ අම්මත් මගේ මේ වැඩේ බොහොම අගය කළා. ඊට පස්සේ මීට මාස පහකට කලින් අපේ අම්මත් මිය ගියා. ඊට පස්සේ මම කල්පනා කළා තාත්තා වෙනුවෙන් වගේම අම්මා වෙනුවෙනුත් යමක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව දිනපතාම රෑ අටෙන් පස්සේ තාත්තා වෙනුවෙන් ගම්පහ රෝහලට රෝගීන් ප්‍රවාහනය කරපු මම අම්මා වෙනුවෙන් රාගම‍ රෝහලටත් රෝගීන් නොමිලේ ප්‍රවාහනය කරන්න පටන් ගත්තා. ඒ වගේම පණපිටින් ඉන්න දෙමව්පියන්ව මහළු මඩම් වල විතරක් නෙමෙයි මහ පාරේ පවා අතරමං කරලා යන සමාජයේ උසස් රැකියාවල් කරන පෝසත් දූ පුත්තු අනුව බලනකොට මම හිතනවා මම ඊට වඩා පෝසත් කෙනෙක් කියලා.”

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මෙවැනි කටයතු කරන්නේ සමාජයෙන් ගරු නම්බු, තාන්න මාන්න, කිර්තිය ආදී දේවල් අපේක්ෂාවෙනි. ඔබත් එවැනි දේවල් අපේක්ෂා කරනවාද? කියා අප සරත් ගෙන් ඇසූ විට ඔහු දුන්නේ ඉතා කෙටි පිළිතුරකි.

එනම් ‘මගෙ බල්ලටවත් එපා’ යන්නය.

සරත්ගේ මෙම ක්‍රියාව ඉතා උතුම් එකකැයි මෙය කියවන ඔබ සිතනු ඇත. එහෙත් ඔහු කියන්නේ තමන්ගේ මෙම ක්‍රියාව මුල්කොට තමන්ට කිත් පැසසුම් වලට වඩා අවමන් ලැබෙන බවකි.

“සමහරු කියනවා මම ත්‍රීවිලර් රස්සාව හෑල්ලු කරනවා කියලා. තවත් සමහරු කියනවා තමන්ට රෑට කීයක් හරි හොයාගන්න තියන චාන්ස් එක මම නොමිලේ හයර් ගිහින් නැති කරනවා කියලා.නමුත් ඒ නින්දා අපහාස වලට වඩා මට මගේ දෙමව්පියො ලොකුයි. ඒ දෙන්නා වෙනුවෙන් ඕන දුකක් දරාගන්න මට පුළුවන්.”

මේ අතර තමන් මේ යහපත් කාරිය සම්බන්ධයෙන් මුහුණ පෑ අකරතැබ්බ කීපයක් ගැනද සරත් විස්තර ක‍ළේය.

“මේ පහුගිය දවසක රෑ දොළහට විතර මම ටිකක් දන්න කෙනෙක් කෝල් එකක් දුන්නා සරත් අයියේ ලෙඩෙක් ඉන්නවා ගම්පහට ගිහින් දාන්න පුළුවන්ද කියලා. මම ඇහුවා කවුද ලෙඩා කියලා එතකොට ඒ කෝල් එක දීපු හාදයා කිව්වා ඇවිත්ම බලන්න කියලා. මම ඒ කියපු ගෙදරට යනකොට එතන පාටියක් ඉවරවෙලා… ඒ පාටියට ආපු කෙනෙක් කුදාර් වෙන්නම ගහලා; අනෙක් කට්ටිය මට කියනවා මේත් ලෙඩෙක් තමයි හැබැයි මෙයාව ඉස්පිරිතාලෙට නෙමෙයි ගෙදරට ගිහින් දාන්න කියලා. නමුත් මං ඒකට කැමති වුණේ නැහැ. පස්සේ කියනවා සල්ලි කීයක් හරි දෙන්නම්ලු. ඒත් මම කිව්වා මම මේ සල්ලි වලට හයර් යන වෙලාවක් නෙමේ; නොමිලේ හදිසි ලෙඩ්ඩුන්ව ඉස්පිරිතාලෙ ගෙනියන එක විතරයි මේ වෙලාවට කරන්නේ කියලා.”

තමන් මවට සහ පියාට පිං පිණිස ගම්පහ සහ රාගම රෝහල් වලට නොමිලේ රෝගීන් ප්‍රවාහනය කරන බව ඔහු තම ත්‍රිරෝද රථයේ පිටුපස ප්‍රදර්ශනය කරයි.

“ඉතාම කලාතුරකින් කෙනෙක් පාරෙදි එහෙම මේක දැකලා මේක බොහොම හොඳ වැඩක් කියපු අවස්ථා කීපයක් තියෙනවා. නමුත් මම මේක කාගෙන්වත් ප්‍රශංසා බලාගෙන කරන දෙයක් නෙමෙයි හදවතට එකඟවම දෙමව්පියො වෙනුවෙන් කරන පින් කමක්. මම එච්චර ධනවතෙක් නොවුණත් මට ඒ ආත්ම තෘප්තිය රුපියල් කෝටියකටත් වඩා වටිනවා.” අවසානයේ සරත් කීය.

මුලාශ්‍රය – ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button