පළකල දිනය : Wed, Jun 14th, 2017

දෙබරවැව අම්මාට දැන් අවුරුදු 101 යි !

දෙබරවැව මිසිනෝනා අම්මාට දැන් අවුරුදු 101 යි !

තවමත් තමන්ගේ වැඩ කරගන්නා දෙබරවැව මිසිනෝනාට අවුරුදු 101 යි. දරුවන් 10 යි. තුන් මුණුපුරෝ 23 යි.

වයස අවුරුදු 101 ක්‌ වූ හොඳ මතක ශක්‌තියක්‌ ඇති, උදේ සවස තමාගේ දෑතින්ම මල් නෙළාගෙන ඇවිඳින් බුදුන් වඳින, හොඳ හැටි මහපාරේ තනිව ඇවිද යන, හොඳ මතක ශක්‌තියක්‌ ඇති, ලෙඩක්‌ දුකක්‌ නොමැතිව නීරෝගීව සිටිමින් තවමත් කිසිවකුටත් කරදරයක්‌ නොවී තම කටයුතු තමන් විසින්ම කරගන්නා අපූරු මාතාවක්‌ පසුගිය දින අපට මුණ ගැසුණේ කතරගම අඩවියේ පිහිටි තිස්‌සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදීය.

අවුරුදු 101 ක්‌ වු විඡේවීර පටබැඳිගේ මිසිනෝනා මහත්මිය 1916-12-16 දින දෙවුන්දර දී මෙලොව එළිය දකින්නීය. වයස අවුරුදු දාසයේ දී සිය පෙම්වතා වු අන්දිරිස්‌ අප්පු සමග දෙබරවැව ප්‍රදේශයට පැමිණ ජීවන චාරිකාව ආරම්භ කර තිබේ.

අවුරුදු 101 ක්‌ වු විඡේවීර පටබැඳිගේ මිසිනෝනා මහත්මිය ඇයගේ ජීවිත කතාව පිළිබඳව මෙසේ පැවසුවාය.

මම ඉපදුනේ දෙවුන්දර. මට දරුවෝ 10 යි. තුන් මුණුබුරෝ 23යි. අද මං ජීවත් වෙන්නේ දෙබරවැව පදිංචිව සිටින මගේ බාල පුතාගේ නිවසේ. මං යොවුන් අවධියේ දී රේන්ද ගෙතුම්, මැහුම් කටයුතු සඳහා විශේෂ දක්‌ෂතාවයක්‌ දැක්‌වුවා. ඒ නිසා වැඩිදුර මැහුම් ගෙතුම් ඉගෙන ගන්න පන්තියකට ගියා. ඒ යන අතරවාරේ තමයි මට මගේ ආදරණීය පෙම්වතා වූ අන්දිරිස්‌ අප්පු හමුවෙන්නේ. ඒ කාලේ අන්දිරිස්‌ අප්පු මහ සෙල්ලක්‌ කාරයෙක්‌. එයාට කරන්න බැරි වැඩක්‌ නෑ කිව්වොත් තමා හරි. එයා මට හමුවෙන කොට රැකියාව ලෙස කළේa ධීවර රැකියාව. කොහොම හරි මේ සම්බන්ධයට අපේ ගෙදරින් නම් කිසිම කැමැත්තක්‌ තිබුණේ නෑ. නමුත් මම අන්දිරිස්‌ අප්පුගේ සහකාරිය වීමට තිබූ කැමැත්ත නිසාම මගේ ගෙදර අයගේ අකමැත්ත තිබියදීම අන්දිරිස්‌ අප්පුගේ සහකාරිය වී දෙබරවැව ඔහුගේ ගෙදරට පදිංචියට ගියා.

අන්දිරිස්‌ අප්පු මාව කැන්දගෙන යනකොට මට වයස අවුරුදු 16 යි. එයා මට ගොඩක්‌ ආදරෙන් සැළකුවා. මං ගැන හොයලා බැලුවා. කවදාවත් මට අතක්‌ උස්‌සලා උඹ නොදකින් කියලා නෑ. දරුවෝ 10 ක්‌ මට ලැබුණා. මගේ එකම වගකීම වුණේa දරුවෝ 10 දෙනා රැක බලාගෙන උස්‌මහත් කිරීමයි. මගේ මතකයේ හැටියට නමසිය තිස්‌ගණන් වල තමයි මම අන්දිරිස්‌ අප්පු එක්‌ක දෙබරවැව පදිංචියට ආවේ. ගොවිතැන් කරගෙන දරුවෝ උස්‌මහත් කරගෙන අපි හරි සතුටින් හිටියා. අන්දිරිස්‌ ඒ කාලේ බෙරළිහෙළ ප්‍රදේශයේ කැලේa කපලා කුඹුරක්‌ හැදුවා. එයා බෙරළිහෙළ කුඹුරු කරනකොට මම දෙබරවැව ඉඳලා කෑම උයාගෙන ඔළුවේ තියාගෙන සැතපුම් හයක්‌ විතර දුර ඇති බෙරළිහෙළට පයින් යනවා. ඒ කාලේ දැන් වගේ පාරවල් තිබුණේ නෑ. මහා ගණ වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල් දිගේ තමයි අපි ආව ගියේ. අද කාලේ වගේ ඒ කාලේ මෙහේ දියුණු නෑ. දෙබරවැව මේ ප්‍රදේශ කැලෑ වැවිලා. මහා මූකලාන තමයි තිබුණේ. එහෙමයි කියලා අපි කාටවත් බය නෑ. අපි අපේ වැඩ කරගත්තා. රෑට බෙරළිහෙළ කුඹුරේ_ පැලේ ඉන්නකොට එතනට වැඩිහිටි කන්දේ පහන පත්තු වෙනවා පේනවා.

මේ මහා මූකලානේ වන අලි ඇතුළු විෂඝෝර සතුන් සර්පයන් ඕනෑ තරම් අපිට මුණ ගැහිලා තියෙනවා. හැබැයි දෙයියනේ කියලා අපෙන් උන්ටවත්, උන්ගෙන් අපිටවත් කිසිදු කරදරයක්‌ වුණේa නෑ. වන අලි ඒ කාලෙත් හිටියා. හැබැයි දැන් වගේ ඒ කාලේaa නම් මිනිස්‌සුන්ට කරදර තිබුණේ නෑ. මිනිස්‌සු ඉන්න පැත්තකට අලි ආවෙත් නෑ. අපි අලින්ගේ වාස භූමි තියෙන පැත්තට ගියෙත් නෑ.

අපිට ඒ කාලේ එළ හරක්‌ 25 ක්‌ විතර හිටියා. ගම්මු අපි හරි එකතුවෙන් තමයි ඒ කාලේ හිටියේ. එක්‌කෙනෙක්‌ හූවක්‌ තිබ්බනම් අපි ඔක්‌කොම එතනට යනවා. අද මගේ දරුවෝ රජයේ ඉහළ රැකියා කරනවා.

අද කාලේ වගේ මේ විවිධ විච්චූර්ණ කෑම වර්ග එදා තිබුණේ නෑ. අපි කෑවේ කොස්‌, දෙල්, පොල් මඤ්ඤොක්‌කා විතරයි. වස විස නැති ආහාර තමයි අපි කෑවේ. අද වගේ කෘමිනාශක යොදපු ආහාර ඒ කාලේ තිබුණේ නෑ. අපි ඒ කාලේ තුන්වේල හොඳට කෑවා. ඒ වගේම ඇඟ මහන්සි කරලා හොඳට වැඩත් කළා. කුඹුරේ හා වත්තේපිටියේ වැඩ කළා. මහ කැලේ ගිහින් දර කඩාගෙන ආවා. වංගෙඩියේ දමාගෙන වී කෙටුවා. අද කාලේ ගෑනුq ළමයින්ට අපේ කාලේ අපි කරපුවාගෙන් තුනෙන් එකක්‌ වත් කරන්න බැහැ. මට මේ තරුණ පරපුරට කියන්න තියෙන්නේ කඩේ තියෙන වස විස ගේන්නේ නැතිව පුළුවන් නම් කෘමිනාශක නොයොදා ගෙදර කෑමටවත් එළවළු ටිකක්‌ පලතුරු ටිකක්‌ හිටවගන්න කියලා තමයි. අපි අදටත් මෙහෙම ජීවත් වීමේ රහස ඒක යෑයි ඇය සිනාසෙමින් අපත් සමඟ පැවසුවාය.

වයස අවුරුදු 101 ක්‌ වූ මෙම මෑණියන් තවත් චිරාත් කාලයක්‌ යෙහෙන් වැජඹෙන්නට නිදුක්‌ චිරජීවනය ලැබේවායි පතමින් මෙම වාසනාවන්ත මෑණියන් ගැන හැමෝටම දැනගන්න Share කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button