පළකල දිනය : Mon, Jun 19th, 2017

යාපනය මුදාගැනීමේ අවසන් මෙහෙයුමේ රහස ?

යාපනය නගරය එල්ටීටීඊයෙන් මුද‌ාගැනීමට සැලසුම් කළ ‘‘ලිබරේෂන්’’ ක්‍රියාන්විතය ”උපක‍්‍රමික” හේතූන් මුල් කොට ගෙන ‘‘වදමරච්චිය” වෙතට යොමු විය. එල්ටිටීඊයේ නායක ප‍්‍රභාකරන්ගේ උපන් ගම වූ ‘‘වෙල්වෙට්ටිතුරය” යන ග‍්‍රාමය ”වදමරච්චි කොටිඨාසයේ” පිහිටා තිබීම හා එල්ටීටීඊය ප‍්‍රබල ලෙස තම අණසක එම ප‍්‍රදේශයේ පවත්වාගැනීම යන හේතූන් හමුද‌ාව ‘‘වදමරච්චි” ප‍්‍රදේශය තෝරා ගැනීමට මුල් විය. එසේ සැලැසුම් කළ ‘‘ලිබරේෂන් මෙහෙයුම” පසුව ‘‘වදමරච්චි සංග‍්‍රාමය” (Vadamarachchi Campaign) ලෙස හැඳින්වූයේ එහෙයිනි.

හමුද‌ාව යාපනය නගරය මුද‌ාගැනීම පිණිස පැමිණෙන බව එල්ටීටීඊය හා ඉන්දීය ”රෝ” සංවිධානය ලිබරේෂන් මෙහෙයුම සඳහා සූද‌ානම් වූ අදියරයේ සිටම දැන සිටියහ. ඊට මුහුණ දීම සඳහා එල්ටීටීඊය නිසි ලෙස සූද‌ානම්වද සිටියහ. එහෙත් නොසිතූ අන්දමින් මෙම ක්‍රියාන්විතය ‘‘වදමරච්චි” ප‍්‍රදේශයේ සිදු කරයි යනුවෙන් ඔවුන් කිසිවිටකත් නොසිතුහ. යාපනය නගරය මුද‌ාගැනීමට කිසිදු අයුරකින් හෝ ඉඩ නොතැබීම මෙකී දෙපාර්ශ්වයේම අරමුණ විය. ‘‘කිසිදු රාජ්‍යතාන්ත‍්‍රික බලපෑමකින් තොරව හා ශ්‍රී ලංකාවේ ඉල්ලීම” පරිදි ඉන්දියාවට ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර අර්බුදයට මැදිහත්වීමට අවස්ථාවක් ඉන් උද‌ාකර ගැනීමට හැකිවේ යැයි යනුවෙන් ‘‘රෝ ” සංවිධානය උපකල්පනය කළේය.

ඉන්දීය මැදිහත්වීමේ උපායශීලී සැලැස්ම ක‍්‍රියාත්මක වීමට බලපානු ලැබූ එක් ප‍්‍රධාන කරුණක් වූයේ එවකට තිබූ කලාපීය හා ජාත්‍යන්තර දේශපාලන හා ආරක්‍ෂක තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකාව හැසිරුණු අයුරුය. එවකට සෝවියටට් දේශය ලෙස සැලකූ වර්තමාන රුසියාව මුල් කොට ගත් සමාජවාදී ‘‘වෝර්සෝ’’ කඳවුරට පක්‍ෂපාතීව කටයුතු කළ ඉන්දියාව එකල පාලන බලයේ සිටි එජාප රජය එහි ප‍්‍රතිවාදී කඳවුර වූ ඇමරිකාව ප‍්‍රමුඛ ධනවාදී ‘‘නේටෝ ” කඳවුරට පක්‍ෂපාතීව කටයුතු කිරීම ඉන්දියාව තම අභ්‍යත්තර හා කලාපීය පැවැත්මට තර්ජනයක් ලෙස සැලකීම ඉන් ප‍්‍රධාන විය. එද‌ා ශ‍්‍රී ලංකාව සැබැවින්ම අද මෙන් නොව පූර්ණ ස්වාධීනත්වයක් සහිතව කටයුතු කිරීමට අවකාශය තිබූ රාජ්‍යයකි.

වර්තමානයේ මෙන් නොව දේශපාලන හා ආර්ථික වශයෙන් ඉන්දියාවේ හා චීනයේ කිසිදු බලපෑමකට ලක්ව නොතිබුණ අතර ඉන්දීය දේශපාලන සූක්‍ෂම උපායට හසුව බලාත්මක කිරීමට සිදුවූ වර්තමානයේ ක‍්‍රියාත්මකව පවතින හා ‘‘සුදු අලියෙක්’’ බඳු පළාත් පාලන ක‍්‍රමය ද නොතිබුණි. උතුරු – නැගෙනහිර සන්නද්ධ ගැටුම මධ්‍යයේ වුවද යම් දේශපාලන ස්ථාවරත්වයක් හා ආර්ථික වර්ධනයක්ද තිබිණි. ශ්‍රී ලංකා​ෙව් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තවදුරටත් තහවුරු වීම දකුණු ආසියානු කලාපයේ ‘‘ඉන්දීය ආධිපත්‍ය’’ (Indian Hegemony) ට පහරක් බැව් දැන සිටි හෙයින් එය බිඳීමට හේතුවන අයුරින් කටයුතු කිරීම ඉන්දීය උපාය විය. ශ‍්‍රී ලංකා බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලට පුහුණුව හා ආධාර අනුබල දීම ඉන්දියාව විසින් සිදුකරනු ලබන්නේ මෙහි පළමු පියවර ලෙසිනි. දේශපාලන, ආර්ථික හා ආරක්‍ෂක වශයෙන් ඉන්දීය මැදිහත් වීමකට අවස්ථාවක් උද‌ාකර ගැනීම මෙහි දෙවන පියවර වීය.

ශ්‍රී ලංකා හමුද‌ාවන්ට එල්ටීටීඊය ඇතුළු සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමට නොහැකි බව හා ඒ සඳහා ඉන්දීය හමුද‌ා මැදිහත් වීම සිදු කළ යුතු බව එවකට බලයේ සිටි ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමට ඉන්දීය ‘‘රෝ සංවිධානය’’ හා ඇ​ෙමරිකානු ’’සී.අයි.ඒ. සංවිධානය’’ රහසිගතව යොද‌ා ගනිමින් සිදු කිරීම මෙහි එක් උත්සාහයක් විය. මෑතකදී, එනම්, 2017 පෙබරවාරි මස මුල් සතියේ දිනක පළවූ ‘‘හින්දු’’ පුවත්පතෙහි ඉන්දීය මැදිහත් වීම ජයවර්ධන ජනාධිපතිගේ ඉල්ලීම පරිදි සිදු කළ බව ’’සී.අයි.ඒ. සංවිධානය’’ විසින් හෙළි කරනු ලැබූ ’’රහස්‍ය ලිපි ගොනුවක’’ (Classified Documents) සඳහන්ව තිබූ බව ප‍්‍රකාශ වීමෙන් ඒ බව මැනවින් සනාථ විය. එහෙත් එය වැරැදි තොරතුරකි. ඊට හේතුව ජනාධිපති ජයවර්ධන සී.අයි.ඒ. මෙන්ම රෝ සංවිධානය ද රැවටීමට ලක් කිරීමට සමත් වීමයි. එක් අතෙකින් එල්ටීටීඊය මැඩපැවැත්වීම සඳහා ඉන්දීය සහාය පතන බව ඇ​ෙමරිකානු හා ඉන්දීය තානාපති කාර්යාලයන් හා පැමිණෙන රාජ්‍යතාන්ත‍්‍රික නියෝජිතයින් හට දැනුම් දෙන අතරතුරේ දී ඔහු තම ආරක්‍ෂක ඇමැති වූ ලලිත් ඇතුලත්මුදලි ගේ දේශපාලන නායකත්වය යටතේ හමුද‌ාව ’’ලිබරේෂන්’’ මෙහෙයුම සඳහා සූද‌ානම් කළේය. ත‍්‍රිවිධ හමුද‌ාව විසින් සිදු කළ පළමු හා මහා පරිමාණ සංග‍්‍රාමික ක‍්‍රියාන්විතය එය වූ බැවින් එය ඉතා වගකීම් සහිත බැරෑරුම් මෙහෙයුමක් ලෙස ත‍්‍රිවිධ හමුද‌ාපතීන් ඇතුළු සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින් සළකන ලදී. එයට හේතුව ඊට පෙර එවැනි අන්දමේ හා එවැනි මට්ටමේ මෙහෙයුම් සිදුකර අත්දැකීම් නොතිබූ හෙයිනි.

කෙසේවුවද ශ්‍රී ලංකා යුද හමුද‌ාව, එල්ටිටිඊය මැඩ පැවත්වීමට මහා පරිමාණ මෙහෙයුමක් සිදු කිරීම සඳහා යොමුවේ යැයි හා එල්ටීටීඊය පරාජය කර ඔවුන් බලය තහවුරු කර ගෙන සිටි ප‍්‍රදේශ අත්පත් කරගැනීමට මෙම ”ලිබරේෂන්” මෙහෙයුම සමත් වේයැයි යනුවෙන් මෙකී ඉන්දීය හා ඇ​ෙමරිකානු ඔත්තු සංවිධානයන් කිසි විටකත් නොසිතූහ.

‘‘ලිබරේෂන්’’ ක‍්‍රියාන්විතයේ පළමු අදියර ”වදමරච්චි” කොට්ඨාසය අත්පත් කර ගැනීම විය. 1987 වර්ෂයේ මැයි 26 දින ආරම්භ වූ මෙකී මෙහෙයුම ජුනි 02 වැනි දින අවසන් විය. නොසිතූ අන්දමින් හමුද‌ාව යාපනය නගරය අත්පත් කර ගැනීම වෙනුවට වදමරච්චි ප‍්‍රදේශයට ඇතුළුවීම හා එල්ටීටීඊය හමුද‌ාවට පරාජය වී එකී ප‍්‍රදේශය අතහැර යාම ඉන්දියානු ‘‘රෝ සංවිධානයට’’ විශ්මය ගෙන දෙන්නක් විය. අපේක්‍ෂිත ඉන්දීය මැදිහත් වීමට ඇති අවකාශයද ඉන් ගිලිහුණි. මෙහෙයුම ක‍්‍රියාත්මක ​ෙවන අතරතුර දී ඉන්දීය හමුද‌ාව යොදවා මෙහෙයුම අතරමග නැවැත්වවීම දැඩි අවද‌ානමක් ගෙන දෙන්නක් මෙන්ම එය ඇතැම් විට කලාපීය යුද ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බව ඉන්දියාව දැන සිටියහ. තම පරම සතුරා ලෙස තමන් විසින් සලකනු ලැබූ පාකිස්ථානය ද, ඒ වන විට ඇතැම් පුහුණුවීම්, අවි හා යුද්ධෝපකරණ ශ‍්‍රී ලංකාව වෙත ලබා දී තිබීම ඊට හේතුවයි. පාබළ සේනා වෙත ගොඩනැගිලි ආශ‍්‍ර‍්‍රිත සටන් පුහුණුව (Fighting in Built Upareas – FIBUA) ලබාදීම සඳහා කර්නල්වරයෙකු යටතේ විශේෂ උපදේශක සහාය ද ප‍්‍රවාහන හා ප‍්‍රහාරක හෙළිකොප්ටර් යානා පැදවීම සඳහා ගුවන් නියමුවන් කිහිප දෙනකු ද නාවුක හමුද‌ාව වෙත ‘‘ඩෝරා’’ ප‍්‍රහාරක යාත‍්‍රා ද මේ සමගම ඊශ‍්‍රාලය වෙතින් ලබා දී තිබිණි. එසේ හෙයින් අවද‌ානමකින් තොරව ඉන්දීය මැදිහත්වීම කෙසේ සිදුකළ යුතු ද යන උපායන් ඔවුන් විසින් සකස් කෙරිණි.

දිනය – 1987 ජුනි 02 වැනිද‌ාය. එල්ටීටීඊය අම්පාර – මහඔය මාර්ගයේ අරන්තලාවේ දී භික්‍ෂුන් 33 දෙනකු ඝාතනය‍ කරයි! එය හමුද‌ාව විසින් උතුරේ සිදු කළ ‘‘ලිබරේෂන්’’ මෙහෙයුමට පළිගැනීමක් වශයෙන් ද තවදුරටත් එම මොහෙයුම අනෙකුත් ප‍්‍රදේශයන් දක්වා සිදු කිරීම වළක්වා භට පිරිස් නැගෙනහිර ප‍්‍රදේශය වෙත ගෙන්වා ගැනීමට ද එල්ටීටීඊය ඉන් අපේක්‍ෂා කළේය. පළිගැනීම සඳහා විවිධ අන්දමේ ප‍්‍රහාරයන් එල්ල කිරීම එල්ටීටිඊ නායකත්වයේ විශේෂ ලක්‍ෂණයක් විය. එ් තම සංවිධානයේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීම පිණිස විය.

මේ අතරතුර ඉන්දීය රෝ සංවිධානය ඉන්දීය මැදිහත් වීම ‘‘මානුෂික මුහුණුවරකින්’’ විය යුතු බවට ඉන්දීය රජයට යෝජනා කරයි. එය ජාත්‍යන්තර ප‍්‍රජාවේ චෝදනාවට ලක් වීම මෙන්ම ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යුදමය හෝ ආරක්‍ෂක අතින් අවද‌ානම් තත්ත්වයකට යාම ද වළක්වන බව ඔවුන් තවදුරටත් පෙන්වා දේ. ඒ සඳහා උතුරේ ප‍්‍රජාව වෙත ආහාර ලබා දීම සඳහා ආහාර රැගත් නෞකා පෙළක් ඉන්දියාවේ රාමේශ්වරම් සිට ශ‍්‍රී ලංකාවේ කන්කසන්තුරය වරාය බලා පිටත් වේ. එවකට නාවික හමුද‌ා​ෙව් උතුරු ප‍්‍රධාන නාවුක කඳවුර වන ‘‘එළාර’’ කඳවුර භාරව සිටි හා Comnorth යන කෙටි පදවි නාමයෙන් හඳුන්වන නාවුක කපිතන් ඩී.එම්.ඩී.ආර්. සමරසේකරගේ අණදීම යටතේ යාත‍්‍රා කළ ‘‘නාවුක කාර්ය සේනා යාත‍්‍රා සමූහයක්’’ (Naval Task Force) මගින් මෙසේ ආහාර රැගෙන පැමිණෙමින් තිබූ ඉන්දීය යාත‍්‍රා පෙළට කච්චතිව් දුපතට ආසන්න මුහුදු ප‍්‍රදේශයේ දී දිවයිනට පැමිණිම වළක්වා බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එකී නෞකාවන් ආපසු හරවා යවයි. ඒ 1987 ජුනි 03 වැනි ද‌ා සවස 7.00ට පමණය.

අනපේක්‍ෂිත අයුරින්, ආහාර රැගත් ඉන්දීය නෞකා පෙළ නැවත ආපසු හරවා එවීම ඉන්දීය රජය වෙතආරක්‍ෂක උපදෙස් ලබාදෙන ‘‘රෝ සංවිධානය’’ කිසි විටකත් උපකල්පනය කර නොතිබූ බව පෙනුණි. ශ‍්‍රී ලංකාව දේශපාලන, ආරක්‍ෂක හා ආර්ථික වශයෙන් ඉන්දියාවේ ආධිපත්‍යයට යටත් නොවන හා ඉන්දීය ආධාර හා අනුබල අපේක්‍ෂා නොකරන ස්වාධීන නිදහස් රාජ්‍යයක් වන බව යන පණිවිඩය ඉන් ලබාදුණි. ඉන්දීය උප මහාද්වීපයට යාබදව පිහිටි ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක් එසේ හැසිරීම ඉන්දීයානු කලාපීය දේශපාලන හා ආරක්‍ෂක කෝණයකින් බැලුවිට එය, සැබැවින්ම එහි අධිපත්‍යට (Hegemony) බලවත් පහරකි. උතුරේ ප‍්‍රජාව වෙත ආහාර ලබාදී​ෙම් ‘‘මානුෂික මෙහෙයුම’’ උපයෝගි කොට ගෙන සකස් කළ ඉන්දීය මැදිහත්වීමේ ක‍්‍රියාන්විතය තරමක තර්ජනාත්මක ස්වභාවයකින් යුතුව සිදු විය යුතු බවට තීරණය වන්නේ මෙහිදීය.

දිනය – 1987 ජුනි 04 වනදාය. වේලාව 1600 පැයට පමණ ඇත. පලාලි උතුරු ආඥා පෙදෙස් මූලස්ථානයට (Northern Command) වෙත කොළඹ ඒකාබද්ධ ක‍්‍රියාන්විත මූලස්ථානය (Joint Operation Command – JOC) වෙතින් හදිසි පණිවිඩයක් ලැබේ. එය මෙසේ කියැවේ – 05 x AN 32 Transport aircrafts of the Indian Air Force escorted by 04 x Mirage 2000 fighter jets will engage in a task of para food drop in the Vadamarachchci and other areas @ treat them as friendly aircrafts and do not open fire @ confirm action taken accordingly // ආහාර රැගත් ඉන්දීය ගුවන් හමුද‌ාවේ AN 32 යානා 05 ක් මිරාජ් 2000 ප‍්‍රහාරක ජෙට් ගුවන් යානා 04 ක් මගින් සපයනු ලබන ආරක්‍ෂාව යටතේ වදමරච්චි සහ අනෙකුත් ප‍්‍රදේශ ද ඉලක්ක කොට ගත් ගුවනින් ආහාර හෙළීමේ කාර්යයක් සිදු කරනු ඇත. එකී සියලු ගුවන් යානා මිත‍්‍ර යානා ලෙස සලකන ලෙසත් ඒවාට වෙඩි ප‍්‍රහාර එල්ල නොකරන ලෙසත් යන්න එහි අර්ථයයි. වේලාව 1600 පැයට පමණ ඇත’ ඉන්දීය ගුවන් හමුද‌ාව ‘‘පූමාලෙයි ක‍්‍රියාන්විතය’’ (Operation Poomalai) දියත් කරයි! ඉන්දීය යානා ශ‍්‍රී ලංකා උතුරු ගුවන් තලයේ පියාසර කරමින් ආහාර මලු පැරෂුට් මගින් බිම හෙළයි. විනාඩි 15 ක පමණ කාලයකින් පසු යානා නැවත ආපසු ගමන් ගනී.

හදිසි පෙර දැනුම්දීමක් ලබාදීමක් තුළින් වුවද ඉන්දීය ගුවන් හමුද‌ා යානා විසින් මෙලෙස සිදු කරනු ලැබු ‘‘පූමාලෙයි’’ ක්‍රියාන්විතය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ශ්‍රී ලංකාවට දුන් අනතුරු හැඟවීමේ පියවරක් ලෙස එවකට සැලකුණි. උපාය මාර්ගික අයුරින් උතුරේ ප‍්‍රජාවගේ සිත් දිනාගැනීම වෙනුවෙන් මෙන්ම එල්ටීටීඊයේ සන්නද්ධ බලය තවදුරටත් පවත්වා ගැනීමට වක‍්‍රාකාරයෙන් සහාය දැක්වීමක් ලෙස ද ‘‘ලිබරේෂන්’’ මෙහෙයුම, ඉදිරියේ දී අන් ප‍්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා ක‍්‍රියාත්මක නොකළ යුතු බවට දෙනු ලබන පණිවිඩය ද පූමාලෙයි ගුවන් මෙහෙයුම තුළින් ඒත්තු ගැන්විණි. ‘‘පූමාලෙයි’’ යන වචනයේ අරුත ‘‘මල් මාලාව’’ යි (Flower Garland) ඒ අනුව මෙකී ක‍්‍රියාන්විතය සිදු කිරීමේ ප‍්‍රධාන එක් අරමුණක් වුයේ උතුරේ දමිළ ප‍්‍රජාවගේ ‘‘හදවත් හා සිත් දිනීමට’’ ප‍්‍රයත්න දැරීමයි. මෙහි තිබූ බැරෑරුම් තත්ත්වය ද එය විය. යුද උපායශීලීත්වයට අනුව එය ‘‘හදවත් හා සිත් දිනීමේ මානෝවිද්‍යාත්මක යුද කලාවයි (Winning / Hearts and minds campaign of Psychological Warfare) රාජ්‍ය පාලන විද්‍යාව (Statecraft) හා ජාතික ආරක්‍ෂාවට අනුව එවැනි තත්ත්වයක් අන් රාජ්‍යයක් විසින් ඇතිකිරීම රාජ්‍යයක ස්​ෙ​ෙවරීයභාවයට තර්ජනයකි.

‘‘පූමාලෙයි ක‍්‍රියාන්විතය’’ මගින් ලබාදුන් අනතුරු ඇඟවීම කෙරෙහි රාජ්‍ය හා හමුද‌ා මූලස්ථාන මට්ටමේ කථිකාවන් සිදුවුණි. ආරක්‍ෂක අමාත්‍ය ඇතුලත්මුදලි ඇතුළු හමුද‌ාපතීන් ‘‘ලිබරේෂන්’’ මෙහෙයුමේ දෙවන අදියර වූ යාපනය නගරය මුද‌ාගැනීම දක්වා ක‍්‍රියාන්විතය කර ගෙන යා යුතු බවට තරයේ ප‍්‍රකාශ කළහ. එහෙත් ඉන්දියාව විසින් සිදු කරන ලද රාජ්‍යතාන්ත‍්‍රික බලපෑම මධ්‍යයේ එම තීරණයට එකඟවීමට නොහැකි බව ජනාධිපති ජයවර්ධන ප‍්‍රකාශ කර තිබූ බව ඇතැමෙක් කීහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපති හා ආරක්‍ෂක ඇමැති අතර යමම් මතභේදයක් ද හට ගත් බව ප‍්‍රකාශ විණි. ජනධිපති තීරණය, ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තරික කටයුතු කෙරෙහි ඉන්දීයානු මැදිහත්වීම වැළැක්වීම හා ඉන් ඇති විය හැකි අනිටු ප‍්‍රථිපල මඟහැරීමට ගත් ප‍්‍රයත්නයක් ලෙස ද තවත් කොටසක් පෙන්වා දුනි.
දිනය – 1987 ජුනි 06 වැනිද‌ාය. ‘‘ලිබරේෂන්’’ ක‍්‍රියාන්විතයේ දෙවැනි අදියර ආරම්භ වේ! ජනාධිපති මෙලෙස ආරම්භ වු ක‍්‍රියාන්විතය පිළිබඳව මුලදී දැන සිටියා ද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් අදටත් ඇත්තේ සැකයකි. මෙය හුදෙක් ආරක්‍ෂක ඇමැතිගේ අභිමතය පරිදි පමණක් සිදු වූවාද යන්න නිශ්චිතව ප‍්‍රකාශ කිරීමට සමත් කිසිවෙක් නොසිටීය යනුවෙන් කීම ඇතැම් විට නිවැරැදි විය හැක.

කෙසේවුවද භට පිරිස්, තොන්ඩමනාරු සිට ඉඩෙයිකාඩු – අච්චුවේලි දිශාව ඔස්සේ යාපනය නගරය දෙසට ප‍්‍රහාරය සිදුකරමින් ඉදිරියට ඇදේ. එල්ටීටීඊ ය භට පිරීස් වෙත දැඩි ප‍්‍රහාර එල්ල කරමින් පසු බසී. ප‍්‍රහාර වලදී 1 වැනි ගජබා රෙජිමේන්තුවේ කණ්ඩායම් නිලධාරි අණදෙන කපිතන් රාජ් නවරත්නම් සහ 1 වැනි ගැමුණු හේවා බළඇණියේ කණ්ඩායම් නිලධාරි අණදෙන කපිතාන් අජිත් උඩුගේ ඇතුළු භට පිරිසක් මිය යති. ප‍්‍රහාරය අඛණ්ඩව ඉදිරියට සිදු කෙරෙමින් පවතී.

භට පිරිස් එල්ටීටීඊය සමග ඇතිවූ ගැටුමකින් පසු අච්චුවේලි නගරය මුද‌ාගනී එහිදී එල්ටීටීඊ සාමාජිකයින් රැසකගේ මළ සිරුරු හමුවේ. කිහිප දෙනකු තුවාල වීමෙන් පසු සයනයිඩ් කරල ගිල ඇති හෙයින් මරණාසන්නව සිටිති. භට පිරිස් තම ප‍්‍රහාරය ඉදිරියට කර ගෙන යති. එල්ටීටීඊය පසු බසී! භට පිරිස් අච්චුවේලි නගරය පසු කර කි. මී. 1 ක් පමණ පැමිණ ඇත. හදිසියේ රේඩියෝ සංඥාවක් භට පිරිස් අණදෙන නිලධාරි හා කණ්ඩායම් නිලධාරි අණ දෙන්නන් හට ලැබේ. ‘‘හෙලෝ ජෙරනිමෝ ඇන්ඩ් ජගුවර් ….. දිස් මැසේජ් ඊස් ෆ්‍රොම් පැට්න් ඇන්ඩ් රොමෙල්…. ස්ටොප් ද ඇඩ්වාන්ස්….. ඩු නොට් මූවි අන්ට්ල් ෆර්දර් ඕඩස්’’….. නැවත නියෝග ලැබෙන තුරු ඉදිරියට යාම නතර කරන ලෙස ඉන් කියැවිණි. මෙහි ජෙරනිමෝ 1 වැනි ගැමුණු හේවා බළඇණි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් විපුල් බොතේජු වන අතර ජගුවර් 1 වැනි ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරි මේජර් ගෝඨාභය රාජපක්‍ෂ විය. මෙහි පැට්න් 1 වැනි බළ සේනාවේ අණ දෙන්නා වූ කර්නල් විජය විමලරත්න වු අතර රොමෙල් 3 බළ සේනාවේ අණදෙන්නා වූ බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. විනාඩි දහයක පමණ පැවති නිශ්ශබ්දතාවකින් පසුව ගුවන් විදුලි සංඥා උපකරණය මගින් මෙසේ පණිවිඩයක් ලැබේ. ‘‘හෙලො ඕල් ස්ටේෂන්ස් ….. ප්‍රෙපෙයාර් ටු විත්ඩ්‍රෝ බැක් ටු පලාලි’’. නැවත පලාලි වෙත යාමට සුද‌ානම් වන්න යන්න එහි අරුතයි. එය ශ්‍රී ලංකා යුද හමුද‌ාව විසින් සිදු කරනු ලැබු මහා පරිමාණ ක‍්‍රියාන්විත අතුරින් පළමු වැනි මෙහෙයුම වූ ‘‘ලිබරේෂන්’’ ක‍්‍රියාන්විතයේ අවසන් වාචික අණ පෙළයි!

එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් ජයවර්ධන ජනාධිපති වෙත සිදු කරනු ලැබූ දැඩි බලපෑම ‘‘ලිබරේෂන්’’ ක‍්‍රියාන්විතය යාපනය නගරය මුද‌ාගැනීම දක්වා සිදුකිරීම අත් හැර දැමීමට හේතුවූ බව පලාලි හිදී රැස්වූ උසස් නිලධාරීන් අතර පැවැති නිල නොවන කථිකාවලදී ප‍්‍රකාශ විණ. එසේම මෙම තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් ඉන්දීයානු හමුද‌ාව පලාලි ගුවන් තොටුපල වෙත ගුවනින් ආක‍්‍රමණශීලී පැමිණිමක් වුවද සිදු විය හැකි බව උපකල්පනය කෙරිණි. එහිදී ‘‘ලිබරේෂන්’’ ක‍්‍රියාන්විතය සිදුවන අයුරු අධික්‍ෂණය කිරීම සඳහා පලාලි කඳවුර වෙත පැමිණ සිටි එවකට යුද හමුද‌ාපති ලුතිතන් ජනරාල් නලීන් සෙනෙවිරත්න හා ඒකාබද්ධ ක‍්‍රියාන්විත අණදෙන නිලධාරි ජනරාල් සිරිල් රණතුංග මේ පිළිබඳව රාජ්‍ය හා දේශපාලන නායකත්වය දැනුවත් කර තබන ලෙස ද යුද හමුද‌ා ප‍්‍රධාන මාණ්ඩලික ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ලයිල් බල්තසාර් වෙත දැනුම් දුණි. එවැන්නක් සැබැවින්ම සිදු වුවහොත් ගත යුතු පියවර පිළිබඳව නිශ්චිත ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට අවැසි දේශපාලන විධානයක් ද නොතිබුණි. මෙහිදී ජනාධිපති විසින් එවැන්නක් සිදුවීම වැළැක්වීම පිණිස ඇ​ෙමරිකාව, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍යතාන්ත‍්‍රික මැදහත්වීම ඉල්ලා සිටි බවද කියැවිණි.

කෙසේවුවද ඉන්දීය හමුදාවන් කුමන හෝ අන්දමේ ”ආක‍්‍රමණශීලී ගොඩ බැසීමක්” (Force /invasive landing) මුහුදින් හෝ ගුවනින් හෝ සිදු කරයි නම් එය කලාපීය මට්ටමේ යුද ගැටුමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ඉන්දියාවද දැන සිටීම හා ජයවර්ධන ජනාධිපති විසින් මේ පිළිබඳව දැනුම්වත් කර මැදිහත් වීම ඉල්ලා විදේශීය මිතුරු රාජ්‍යයන්ගේ බලපෑම මත, යනාදී කරුණු හේතු කොට ගෙන ඉන්දියාව එසේ කිරීමෙන් වැළැකී සිටි බවට පසුව පැවැති විවිධ කථිකාවන් හිදී හෙළිවිය. ඉන්දීය ‘‘රෝ සංවිධානය’’ විසින් නිර්මාණය කරනු ලැබූ මෙකී සමස්ත පසුබිම ‘‘ඉන්දියානු අාධිපත්‍ය’’ (Indina Hegemony) රැකගැනීම උදෙසා ඔවුන් විසින් සැලැසුම් කරනු ලැබූ මෙම ‘‘ශ්‍රී ලංකාවේ ඉන්දියානු මැදිහත්වීමේ උපාශීලීත්වය’’ට (Strategy of Indian Intervention in Sri Lanka) කෙසේ හෝ ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකක්වය අවනත කර ගැනීමට ඔවුහු සමත් විය. ඉන්දු – ලංකා ගිවිසුම මෙහි අනිටු ප‍්‍රතිඵලයයි! ආරම්භයේදී ආක‍්‍රමණශීලී හමුද‌ාවක් ලෙස ගොඩබැසීමට අභිලාෂයක් තිබුණ ද එය අවද‌ානම්සහගත තත්ත්වයක් ඇති කිරීමට ඉඩ තිබූ හෙයින් මෙම ගිවිසුම තුළින් ඉන්දීය හමුද‌ාව ‘‘සාම සාධක හමුද‌ාවක’’ (Peace Keeping Force) මුහුණුවරකින් පැමිණීමට අවකාශ සැලසිණි. මෙලෙස ඔවුන්ගේ පැමිණීම විවිධ අයුරින් විග‍්‍රහ කර තිබුණ ද එහි ගැබ්වූ ඔවුන්ගේ සැඟවුණු උපායශීලිත්ව අරමුණ දේශපාලනික ආරක්‍ෂක කෝණයකින් හඳුනා ගැනීමට ශ‍්‍රී ලංකාව අපොහොසත්ව ඇති බව කිවහොත් එය නිවැරැදිය.

එහෙයින්, උතුරු – නැගෙනහිර සන්නද්ධ ගැටුම විසඳීමේ මුවාවෙන්, එද‌ා ඉන්දියානු හමුද‌ාව ශ්‍රී ලංකාවට කුමන හෝ අන්දමකින් පැමිණීමට සැලසුම් කළේ තම ‘‘ඉන්දීය ආධිපත්‍යයේ බල ප‍්‍රක්ෂේපන හැකියාව’’ (Power Projection Capability of Indian Hegemony) ප‍්‍රදර්ශනය කිරීමට දැක්වූ අභිලාශයේ ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දීම නිවැරැදිය. ඉන් සැකසුණු ඉන්දු – ලංකා ගිවිසුම මීට වසර 30 කට පෙර සිදුවුවද එය ශ්‍රී ලංකාවේ වර්තමාන මෙන්ම අනාගත දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් ඇති කරන තත්ත්වයක් ලෙස පවතිනු ඇත. එසේම, අද‌ාළ ගිවිසුම මගින් බෙඳුම්වාදී අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දුන් වර්තමානයේ ‘‘සුදු අලියෙක්’’ බඳු ‘‘පළාත් සභා දේශපාලන යාන්ත‍්‍රණය’’ ශ්‍රී ලංකාව වැනි ඉතා කුඩා දූපත් රාජ්‍යයක් මත පැටවූ අනවශ්‍ය බරක් නොවේද යන්න තීරණය කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවනු ඇත.

හමුදා ප්‍රධානීන් අච්චුවේලි සටන්බිමේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button