පළකල දිනය : Wed, Jun 21st, 2017

මොකක් හරි වුණ හැටියේ “ඔබට සතුටුයිද දැන්” කියලා දුව මගෙන් අහනවා

පුංචි තිරය වගේම රිදී තිරය තුළත් ජනප්‍රිය තරු බවට පත් වීමේ වාසනාව උදා වූ නළු නිළියන් සිටින්නේ අතළොස්සක් පමණයි. උදාරි වර්ණකුලසූරියත් මේ අන්ත දෙකම ජයගත් තරුවක්. මේ දවස්වල සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.00ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වන “සිහින සොයා” ටෙලි නාට්‍යය තුළින් උදාරි අපිට හමුවනවා.

“සිහින සොයා” ෂූටිං ඉවරයි. මේ දවස්වල නම් ටෙලි නාට්‍යවලට කාලය යොදනවා අඩුයි. වැඩි කාලයක් යොදවලා තියෙන්නේ සිනමාවටයි.

උදාරි රඟ පෑ “‍පෝරිසාදයා”, “අයි.ආර්.සී.” සහ “ඇලඩින්ගේ පුදුම පහන” කියන චිත්‍රපට 3ක් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.

උදාරි රංගනය ජයගත්තේ රංගන කුසලතාවය වගේම ඈ සතු සුන්දර රුව නිසා කියලා මේ රටේ ප්‍රේක්ෂකයින්ට ඉතින් අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නැහැනේ. ඇය බොහෝ නිර්මාණවලදී සුන්දර පෙම්වතියගේ චරිතය තුළින් අපූරු රංගනයන් ඉදිරිපත් කළා. “බොඳ මීදුම්” ටෙලි නාට්‍යයේ සාරංග සමගත් “ආදරණීය කතාවක්” චිත්‍රපටයේ හේමාල් සමගත් ඇය මැවූ පෙම් රැඟුම් තවත් කාලයක් අපේ හිත්වල තියේවි. ඒත් දැන් ඇය එතැනින් එහාට ගිහින්. ඉදිරියේදී ඇය ක්‍රියාදාම චිත්‍රපටයකටත් එක්වී සිටිනවා.

“‍පෝරිසාදයා” චිත්‍රපටයේ ඇය රඟපාන්නේ සී.අයි.ඩී. ඉනිස්පෙක්ටර්වරියකගේ චරිතයක් “මම සටන් නිළියක් විදියට සාර්ථකද කියලා ප්‍රේක්ෂකයන්ට තමයි තීරණය කරන්න වෙන්නේ” උදාරි එහෙම කියනවා. පහුගිය කා‍ලේ ටෙලි නාට්‍යවල අහිංසක බොළඳ පෙම් චරිත රඟ පෑ උදාරි වර්ණකුලසූරිය සිනමාවේ ගහ මරා ගන්නා හැටි ඉදිරියේදී ඇගේ රසික පිරිසට දැක බලා ගන්න පුළුවන් වේවි.

උදාරිගේ පුංචි දෝනි “ශෙනර්යා උමේරි” ගේ පස්වැනි උපන් දිනය මේ මාසේ උදා වෙනවා. ඒ වගේම ඇය පාසල් ගමනත් පටන් ගන්න සූදානම්. මේ දවස්වල උදාරි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ දියණියගේ කටයුතු වෙනුවෙන්.

“සුජිත් මේ දවස්වල විභාගයකට සූදානම් වෙන හින්දා ලංකාවට එන්න විදියක් නැහැ. ඒ හින්දා දුවගේ උපන් දිනය ලොකුවට ගන්නේ නැහැ. “බ්‍රිටිෂ් ස්කූල්” එකේ එක වසරට දුව ඇතුළත් කරන්නේ අගෝස්තු මාසයේ. මේ දවස්වල එයාගේ කටයුතුවලට තමයි කාලය වෙන් කරලා තියෙන්නේ.

පුංචි ශෙනර්යා හරිම හුරුබුහුටි දඟකාර දියණියක්. අනුකරණය හරිම අපූරුවට ඉදිරිපත් කරන්න ඇයට පුළුවන්. මතු දාක ඇයත් රංගනයට එයිද දන්නෑ.
“දැනටත් අධ්‍යක්ෂවරු දෙන්නෙක් එයාව ඉල්ලුවා. ඒත් එයා දඟයිනේ. ඒ නිසා දර්ශන තලයට ගියාම මොනවා කරයිද දන්නේ නැහැ. සමහර දාට මම එයාව ෂුටිං එක්ක යනවා. මම රඟපාන කොට පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.

අධ්‍යක්ෂ “ඇක්ෂන්” කියද්දී මෙයා “කට් කියනවා” උදාරි තමන්ගේ චූටි දෝනිගේ ක්‍රියාකාරකම් ගැන එසේ පැවැසුවා.

“මම ටී.වී. ‍ප්‍රෝග්‍රෑම්වල “ආයුබෝවන් කියන විදියට එයත් කරල පෙන්නනවා. අරහෙන් මෙහෙන් අහුල ගත්තු වචන කෑලි කියනවා. මොකක් හරි වුණ හැටියේ “ඔබට සතුටුයිද දැන්” කියලා අහනවා…..”

සමහර වෙලාවට පුංචි ශෙනර්යා දේශපාලනඥයින් විදියටත් කතා කරලා පෙන්නන බව උදාරි පැවසුවේ හිනාවෙවී.

– චන්ද්‍රලතා තන්ත්‍රිගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button