පළකල දිනය : Fri, Jun 23rd, 2017

මලවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු ගැන ඔබ නොදත් කතාවක්

කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා ඇසල පෙරහැර මංගල්‍යය ආරම්භ වන අතර අගෝස්තු 07 වෙනිදා දියකැපීමෙන් එය සමාප්තියට පත් කෙරේ.

කතරගම යන බොහෝ දෙනෙකු ආගම් භේදයකින් තොරව එහි දී විභූති ස්වල්පයක් නළලේ ගල්වාගැනීම සුලබ දසුනකි. එහෙත් තුන්නූරු හෝ තින්නූරු යනුවෙන් හැඳින්වෙන මේවා සම්බන්ධ අසිරිමත් රහසක් අදත් අප ජනසමාජයෙන් සැඟව පවතී.

මෙම තුන්නූරු හඳුන්වන සංස්කෘත නාමය වනුයේ ‘විභූති’ යන්නය. එහි අරුත ශුද්ධ වූ අළු යන්නයි. තුන්නූරු යන්න තිරුනූරු යන දකුණු ඉන්දීය භාෂා කිහිපයකම සඳහන් වදනක් ඇසුරින් ව්‍යවහාරයට පැමිණි වදනකි. එහි ‘තිරු’ යන්නෙන් ශුද්ධ හෝ පිරිසිදු යන අරුතද නූරු යනුවෙන් ආලෝකය ද හැඳින්වෙන බව පැවසේ.
 
බොහෝදෙනෙකු විශ්වාස කරන අන්දමට ශ්‍රී ලංකාවෙන් මෙම තුන්නූරු හමුවන්නේ එකම එක ස්ථානයකිනි. එනම් කතරගම, වල්ලිමලේ ආශ්‍රිත කටගමුව ප්‍රදේශයෙන් පමණි. ඇතැමුන් පවසනුයේ මුළු ලෝකයෙන්ම මෙම තුන්නූරු හමුවනුයේ මෙම ස්ථානයෙන් පමණක් බවය. ලක්ෂ සංඛ්‍යාත දේවාල සහිත ඉන්දියාවේද මෙම වි‍භූති හෙවත් තුන්නූරු කෘත්‍රිමව නිෂ්පාදනය කෙරෙන පසුබිමක අප රටින් ස්වභාවිකවම මෙලෙස තුන්නූරු හමුවීම මහත් ආශ්චර්යයක් සේ සැලකේ.

මෙම තුන්නූරු හමුවීම සම්බන්ධ අතිශය රසවත් ජනප්‍රවාදයක් තිබේ. ඒ මෙලෙසිනි.

ඉන්දියාවෙන් පැමිණි ස්කන්ධ කුමාර හෙවත් කඳසුරිඳුන් එවක ශ්‍රී ලංකාවේ සිටි තාරක නම් බලවත් අසුරයා සමඟ යුද වැදී තිබේ. එහෙත් ස්කන්ධ කුමාරගේ යුද සේනාවේ ප්‍රහාරවලට ලක්වන තාරක අසුරයාගේ යුද සෙනඟ කිසි ලෙසකින් හෝ අඩු නොවීම කඳසුරිඳුන්ට බලවත් ප්‍රශ්නයක් වී තිබේ. ඒ පිළිබඳව විමසා බැලීමේ දී කඳසුරිඳුන්ට දැන ගැනීමට හැකිවී ඇත්තේ භාරතයේ හිමාල වනයෙහි පවා ඉතා දුලබ ඖෂධයක් වන ‘මෘත සංජීව’ නම් ඖෂධීය ශාකය ශ්‍රී ලංකාවේ කතරගම සමීපයෙහි ඇති බවය. එය කෙතරම් බලගතු ද යත් මළවුන්ට පණ දීමේ ශක්තියක් පවා එහි තිබිණැයි පැවසේ. මෘත සංජීව යන්නෙහි අරුතද මළවුන්ට පණදීම යන්නය.

කෙසේ හෝ මේ රහස දැනගත් කඳසුරිඳුන් තම දේවබලයෙන් තනාගත් හීයකින් එම මෘත සංජීව පැලෑටිය සහිත කඳුකර වන පෙතට හී ප්‍රහාරයක් එල්ල කරයි. එහි ප්‍රතිඵලය වනුයේ එම කන්ද මුළු මනින් දැවී පිළිස්සී යාමය.
 
“මොනවා වුණත් ඔබ තුමා කළේ මහා විනාශයක්. තාරක අසුරයා වැනසීම පිණිස ඒ මෘත සංජීව පැළෑටිය විනාශ කර දැමීම අපරාධයක්.” කඳසුරිඳුන්ගේ සෙනෙවිරත් වරු එසේ චෝදනා කළහ.

“මෘත සංජීව පැළෑටිය නොදවා තාරකයා විනාශ කළ නොහැකියි. එනිසා ඒ පැළෑටිය දැවුණු අළු වලට මා ඒ බලය ආරෝපණය කරන්නම්.” කඳසුරිඳු කීහ.

ඒ අනුව හෙට ඔබ කතරගම ගොස් නළලේ ගාගන්නා එම තුන්නූරු වල බලය කෙබඳුදැයි සිතා ගැනීම අසීරු නොවනු ඇත.

කඳසුරිඳුන්ගේ හී පහරින් මෙසේ කන්දක් වැනසුණු පුවත හුදු පුරානෝක්තියක් යැයි ඇතැමෙක් කියති. එහෙත් කතරගම කටගමුව ප්‍රදේශයෙන් ලැබෙන මෙම පාෂාණ සංයුතිය පරීක්ෂා කළ භූවිද්‍යාඥයන් පවසනුයේ මේවා භූ ඉතිහාසයේ අනාදිමත් කාලයක දී දැවී අළුවී ගිය පස් බවය. එම දැවී අළු වී යාම ගිනි කඳු විදාරණයක් නිසා සිදුවූවක් යැයිද ඔවුහු අනුමාන කරති. ඒ කෙසේ හෝ භූ ඉතිහාසයේ කවර නම් කලෙකවත් අප රටේ ගිනි කඳු පැවති බවට අන් කිසිදු සාක්ෂියක් නොතිබීම ද අප මෙහි දී සැලකිල්ලට ගත යුතුය.

කතරගම කටගමුව ප්‍රදේශයෙන් මෙම තුන්නූරු ලබා ගැනීමද ආවාට ගියාට සිදුකරන්නක් නොවේ. එය කතරගම ඇසල පෙරහැරේ කප්සිටුවීමෙන් පසු ‍ කඳසුරිඳුන් සඳහා කරන විශේෂ පූජාවකින් පසුව අැරඹෙන්නකි. ඊට හේතුව එම තුන්නූරු වල අයිතිය තවමත් කඳසුරිඳුන් සතුව පවතින නිසා බවට විශ්වාස කෙරේ.

මෙම තුන්නූරු කැඩීමේ සහ ඒවා පෙරා භාවිතයට සුදුසු පරිදි සකස් කර ගැනීමේ වගකීම එදා මෙදා තුර ද්‍රවිඩ ජාතිකයන් සතුව පවතින අතර සිංහලයකු ඊට අතපොවන්නේ නැති තරම්ය. ඊට හේතුව සිංහලයන්ට පවරා ඇති කතරගම දේවාලයේ රාජකාරී මණ්ඩල වලට මෙම තුන්නූරු කැඩීම අයත් නොවන නිසා යැයි කියනු ලැබේ. ඒ කෙසේ හෝ කතරගම බැතිමතුන් කොකු වලින් එල්ලී හිඳින පරවා කාවඩි ආදිය නිසා ශරීරයේ ඇති වන තුවාල ආදිය මෙම තුන්නූරු ස්වල්පයක් තැවරූ පමණින් පැය කිහිපයකින් සුව වන බව ප්‍රකට කරුණකි. ඒ කෙසේ හෝ වර්තමාන සමාජයේ මිනිසුන් තුළ ඇති නොගුණ, දුර්වල කම් නිසා මෙම තුන්නූරු වල බලය අතිශය ප්‍රබල ලෙස ක්‍රියාකාරී නොවන අතර අතිශය ගුණයහපත් මිනිසුන් සම්බන්ධයෙන් මේවායේ බලය උපරිම ලෙස ක්‍රියාත්මක වන බවද කතරගම බැතිමත්හු කියති.

ඒ අනුව විද්‍යාත්මක වශයෙන් මෙතෙක් අනාවරණය නොවුවද මේවායේ ඇති ගුප්ත හාස්කම් බලය අප කිසිවිටකත් අවතක්සේරු කළ යුතු නැත.
 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button