පළකල දිනය : Sat, Jun 24th, 2017

ලෝ ප්‍රකට යුනිලීවර් සමාගමේ දෙවෙනි තනතුරේ හිඳිමින් රටට කීරිතියක් ගෙන දෙන ශ්‍රී ලාංකිකයා

ඔබ අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කළ යුතුමයි කියලා මං කියන් නෑ. ඔබට පුළුවන් නම් ඒ වැඩ කොටස පැයෙන් කරන්න, ඔබ එහෙම කරන්න. ඉතිරි වෙලාවෙ ඔබ මොකද කළේ කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං බලන්නෙ රාජකාරිය විතරයි. ලොව සියවසකට අධික ඉතිහාසයක් ඇති සමාගමක, ශ්‍රී ලාංකේය සලකුණක් වන්නට ඔහුට හැකි විය. ඒ, බොහෝ කැපවීම් මතිනි. වැඩකිරීමේ කලාව මතිනි. තිස් වසරක් පුරා වැඩ කරමින්, ගෝල පිරිසක් බිහි කරමින් ඔහු ආ මඟ ප්‍රායෝගිකය. විටෙක ඔහු පාලනාධිකරණයේ කෙනෙකි. විටෙක සේවක මණ්ඩලයෙන් කෙනෙකි. තවත් විටෙක ඔහු වෙළෙඳ ජාලයේය.

ඔහු තමයි ලෝක ප්‍රකට යුනිලීවර් ආයතනයේ දෙවෙනි තනතුරේ හිඳිමින් රටට කීරිතියක් ගෙන දෙන අරුණ මාවිල්මඩ මහතා.

පාරිභෝගිකයන්ගෙන් කෙනෙක් වන්නට ද ඔහුට පුළුවන. මේ සෑම අංශයක ම සමීපතමභාවය තරමට ම ඔහු අගයන තවත් දෙයකි. එනම් ‘මනුස්සකම’ රැකගෙන වෙළෙඳාම් කරන හැටි සිය අලුත් පරම්පරාවට කියා දීමය.

යුනිලීවර් ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකිකයා ඔබ…

ඔව්. අවුරුදු තිහක් මේ ආයතනයට වැඩ කරපු, විදෙස් ජාතික කාල් කෲස් සභාපතිවරයාට යටින් ඉන්න අත්දැකීම් බහුල ම ශ්‍රී ලාංකිකයා මං. ඒ වගේ ම ආයතනයේ ම සේල්ස් රෙප් කෙනෙක් විදියට වැඩ පටන් අරන් රටවල් තිහකට වැඩ කළ අධ්‍යක්ෂවරයෙක් යුනිලීවර් ඉතිහාසයේ වේ නම්, ඒත් මමම යි. හැබැයි ඒ එකක්වත් මං ප්ලෑන් කරලා ලබා ගත් දේ නෙවෙයි. කරන දේ උපරිමයෙන් කිරීම හා ඒ මතින් ලැබුණු ප්‍රතිඵල.

යුනීලීවර් බහු ජාතික සමාගමක්…

එහෙම වුණාට පවතින රට තුළ දේශීයත්වය රැකගෙන වැඩකරන එකයි මේ ආයතනයේ ස්වභාවය. 1938 අවුරුද්දෙ ලංකාවේ ස්ථාපිත කරලා අද වෙනකල් ජනප්‍රිය පාරිභෝගික භාණ්ඩ 29 කට වඩා නිෂ්පාදනය කරමින් බෙදා හරිනවා. හැබැයි මුළු ලෝකෙන් ම අවුරුදු සියයක් තිස්සෙ සන්ලයිට් හදන්නෙ ලංකාවෙ විතරයි. ඇස්ට්‍රා හා උම්බලකඩ පවුඩ‍ර් තියෙන්නෙත් මෙහෙ විතරයි. එංගලන්තෙ සහ නෙදර්ලන්තෙ මව් සමාගම තිබුණට ඕනෑම රටකට ඒ ඒ රටට ආවේණික නිෂ්පාදන කරන්නත් නිදහස තිබෙනවා. ඒ නිසා යුනිලීවර් කියන්නෙ රටවල් 170 ක විහිදුණත් ‘Global Local’ සමාගමක්. අපෙන් එහාට යනවට වඩා ලැබෙන ආදායෙමන් බහුතරය, රට තුළ ආයෝජනවලටයි යොදවන්නේ.

මනුෂ්‍යයෙක් හැටියට ඔබ කොහොම කෙනෙක් ද…

මං බොහොම ප්‍රායෝගික මනුස්සයෙක්. මිනිස්සු එක්ක කතා බහ කරලා ඕනෑම දෙයක් විසඳා ගැනීමේ නම්‍යශීලී කලාව මං ප්‍රගුණ කරලා තියෙනවා. මොබයිල් ටෙලිෆෝන්, කැල්කියුලේටර් මගේ ජීවිතයේ බොහොම ඈත දේවල්. ඕනෑ ම ගාණක් මනෝමයෙන් හදන්නයි මං කැමැති. සුපුරුදු රාජකාරිය තුළ වුණත් නිතර වෙනස් කිරීම් කරන්න නිර්මාණශීලීත්වයෙන් යුතු දෑ එක් කරන්න මං කැමැතියි. රාමුගත නීති රීතිවලට වඩා, මනුෂ්‍යත්වයෙන් කරන ගනුදෙනුවයි මට වටින්නේ.

ඔබ මේ ආයතනයට කළ හොඳ ම වෙනස කුමක් ද…

සේල්ස් රෙප්, ඇසිස්ටන්ට් බ්‍රෑන්ඩ් මැනේජර්, ට්‍රේඩ් මාකටින් මැනේජර් තනතුරුවලට පස්සෙ මං ඒරියා මැනේජර් වුණා. ඒ කාලෙ වෙනකොට කම්පැනියේ සේල්ස් පහළ යමින් තිබුණා. මේ වගේ ආයතනයක සේල්ස් පහළ යනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මාස හයක් ඇතුළත මං ඒ පහළ යෑම නතර කළා. ඒ එක්කම මාව ජෙනරල් සේල්ස් මැනේජර් විදියට උසස් කළා. පහළ යෑම නතර කළා වගේ ම අලෙවිය වර්ධනය කිරීමේ මහා මෙහෙයුම පටන් ගත්තෙ ඉන් පස්සෙ.

ඔබ මොනවද කළේ…

ඩිස්ට්‍රිබියුටර් නෙට් වර්ක් එක වෙනස් කළා. වැඩි වෙළෙඳාමක් නොවූ බෙදා හැරීමේ නියෝජිතයන්, හොඳ හිතත් තියාගෙන ඉවත් කළා. මාසෙට සැරයක් කඩේට බඩු දාන්න යන එක සතියකට සැරයක් කළා. ප්‍රොෆිටි මාජින් වෙනස් කළා. ණය දීමේ ප්‍රතිපත්ති වෙනස් කළා. එතෙක් අලෙවි ක්‍රමවේදය ගලා ගිය ව්‍යුහය, මං එහෙම පිටින් ම වෙනස් කළා. රෙප්ස්ලගෙ ආකල්ප හැදුවා. අවුරුද්දක් යනකොට 14%කින් අලෙවිය වර්ධනය කළා. අවුරුදු පහකට පස්සෙ මං බිස්නස් එක ඩබල් කළා.

සේල්ස්වලදී ඔබ බලන්නෙ ‘ටාගට්’ විතරද…

මගේ රෙපින් ජීවිතය පුරාම මාත් ‘ටාගට්’ සැපිරුවා. නමුත් ටාගට් සඳහා ඔබ අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කළ යුතුමයි කියලා මං කියන් නෑ. ඔබට පුළුවන් නම් ඒ වැඩ කොටස පැයෙන් කරන්න, ඔබ එහෙම කරන්න. ඉතිරි වෙලාවෙ ඔබ මොකද කළේ කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං බලන්නෙ රාජකාරිය විතරයි. එහෙම මානසික නිදහසක් දුන්නම තමන්ගෙ skills උපරිමව යොදලා උනන්දුවෙන් වැඩ කරන්න මිනිස්සු කැමැතියි.

කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්…

වෘත්තීය ජීවිතයේ එහෙම Role Model කෙනෙක් මට නැහැ. නමුත් මගේ සීයා නුවර හිටපු උප නගරාධිපති. නම ආර්.පී. මාවිල්මඩ. දේශපාලනය කළා. ඒ පාරෙ ගිහින් තාත්තත් දේශපාලනය කළා. ඒ දෙන්නම දේශපාලනයෙන් තිබුණු දේ නැති කරගත්තු අය. හැබැයි මං මිනිසුන් අතර ජීවත්විමේ කලාව ඉගෙන ගත්තෙ මේ දෙන්නගෙන්. හැම ඉරිදම සීයා ගමේ ගෙයින් ගෙට යනවා. කහට කෝප්පයක් බිබී මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරනවා. සීයා එක්ක මේ ගම වටේ යන ගමනට මං කලින්ම ලක ලෑස්ති වෙනවා. අවුරුදු පහ හයේ ඉඳන් වයස දොළහ විතර වෙනකල් මේ සුන්දර අත්දැකීම් මට ලැබුණා. අදටත් ඕනෑම සමාජ තලයක ඕනෑ ම කෙනෙක් ඇසුරු කරන්න ගනුදෙනු කරන්න මට කිසි චකිතයක් නැහැ. ‍‍

ඔබත් රස්සාව ජීවිතය ම කර ගත් කෙනෙක් ද…

අයියෝ නැහැ. මෙතනදි රාජකාරිය මට මහ විශාල මෙහෙයුමක්. හැබැයි පඩිපෙළ බැහැලා ගියාට පස්සෙ මට වෙන ජීවිතයක් තිබෙනවා. ම‍ගේ බිරිඳ… දුව… අපේ පවුල යාළු මිත්‍රයො ඒ ජීවිතයෙ ඉන්නවා. රාජකාරියෙන් ඇතිවන පීඩා, හිත් රිදීම්… කිසිවක් මං මතක තියාගෙන වද විඳින කෙනෙක් නෙවෙයි. එහෙම සිතිවිලි මං Delete කරනවා.

ඔබ යුනිලීවර් එන්නෙ…

1985 අවුරුද්දෙ අගෝස්තු මාසෙ 04 වැනිදා, සේල්ස් රෙප් කෙනෙක් හැටියට. ඒත් බඩු විකුණන්න දෙන්නෙ නැහැ. ජ්‍යෙෂ්ඨයෙක් එක්ක ෆීල්ඩ් එකට යවනවා. ජ්‍යෙෂ්ඨ‍යා අපිට දෙන්නෙ පාප්ප බාල්දිය උස්සාගෙන ගිහින් පෝස්ටර් අලවන වැඩේ. කඩවලින් මිලදී ගන්න අපේ බඩු, රාක්කවල අහුරන වැඩේ. මුළු මාසයක් ම මේ දේවල් කළාට පස්සෙ තමයි බිල්පොත අල්ලන්න දෙන්නෙ. සුදු අත්කොට ෂර්ට් එක ඇඳලා ටයිත් දාලා, පාප්ප ගගා පෝස්ටර් අලවනකොට ඉස්කෝලෙ ඇරිලා ගෑනු ළමයි යනවා. ඒ වෙලාවට ටිකක් හැංගෙනවා. ආයේ ඒක කරනවා.

ඕනෑම සාර්ථක මනුෂ්‍ය‍ෙයක් දවසක ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඔබ…

මම යුනිලීවර් ආවෙත් ප්‍රතික්ෂේප වෙලා. හේතුව ඉන්ටවීව් ෆේල්. අපිට තිබුණෙ සන්ලයිට් විකුණන හැටි රඟපාලා පෙන්වන්න. මගේ ම ඉස්කෝලෙ යාළුවා සහ මම. ‘එයා ආවා. මට සන්ලයිට් ගැන කිව්වා. ‘ආ දෙන්න කේස් දෙකක්…’ මම කිව්වා. යාළුවා ගොඩ. ඇයි බඩු විකිණුනානේ. දැන් මගේ වාරේ. මං එයාට සබන් ගැන කිව්වා. ‘එපා එපා බඩු තියෙනවා. අරන් යන්න…’ මිනිහා ලොකු කමින් කිව්වා. මට විකුණගන්න බැරි වුණා. මං ෆේල්. එයා තේරුණා. මාව විසිවුණා. දෙමාසෙකට පස්සෙ මට ආයෙත් ඉන්ටවීව් ලැබුණා. ප්‍රතික්ෂේප වුණත් මං යුනිලීවර් ආවා. දෑවුරුද්දක් යද්දි අර යාළුවගේ බොස් මං.

ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔබ හිතන්නේ කුමක් ද…

වෙනස් විදියකට හිතනවා. ක්‍රමය මාරු කරලා බලනවා. මං අද වුණත් සේල්ස් රෙප්ස්ලට කියන්නෙ, බඩු එපා කියන කඩේට හැමදා ම යන්න. ‘ආයුබෝං මුදලාලි, බඩු දාන්න නෙවෙයි ආවේ, මුදලාලිව බලලා යන්න, මුදලාලි ඉතින් බඩුගන්නෑනේ, කමක් නැහැ, කොහොමද ඔබ තුමා හොඳින් ද….’ මං අහන්නෙ ඔය ටික ඔහොම ගිහින් දවසක් එනවා, මුදලාලිගෙ හිත වෙනස් වන. ඒ දවස එනකල් යන්න…’ මාත් එහෙම කළා. අපි ප්‍රතික්ෂේප වෙන බව දැනෙනකොට තමයි වැඩියෙන් ම ඒ දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ.

ඔබ යටතේ වැඩ කරන අය, ඔබට සේවකයෝ පමණයිද…

නැහැ. මං මිනිස්සු ගැන එහෙම හිතන්නෑ. අපිත් එක්ක වැඩ කරන අය ‘නංගී මල්ලී, අයියා – අක්කා….’ නමින් ආමන්ත්‍රණය කරන්න මං කැමැතියි. ඒ සමීප බව තුළ ඔවුන්ගේත් ආකල්පමය වෙනසක් ඇති වනවා. අපි එකට වැඩ කරන කණ්ඩායමක්. මාත් ඒ කණ්ඩායමේ ම ඉන්න, ඔවුන්ගෙ මඟ පෙන්වන්නා. එච්චරයි.

නායකත්වය පිළිබඳ ඔබට ම ආවේණික ලක්ෂණයක් කියන්න…

මං වැරැදි කරන්න ඉඩ දෙනවා. නිවැරැදි වෙන්නත් ඉඩ දෙනවා. යමක් පවරලා, ඒක නොකර ඉන්නවට වඩා, හරියන්න හරි වරදින්න හරි ඒක කරන කෙනාටයි මං කැමැති. වැරැදුණාට කිසි ම ප්‍රශ්නයක් නැහැ. ඒවා හදන්නයි අපි ඉන්නෙ. වැදගත් වෙන්නෙ අභියෝග බාර ගන්න එක සහ නොදන්නා දේ ඉගෙන ගැනීම. මට වඩා පොඩි කෙනකුගෙන් වුණත් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් මාත් ඒ දේ ඉගෙන ගන්නවා. ඒක මදිකමක් නෙවෙයි.

ඔබේ ජාත්‍යන්තර අත්දැකීම් ගැනත් කියන්න…

මං ඉගෙනගත්තු හොඳම දේ තමයි, වෙනස් සංස්කෘතීන් එක්ක කොහොමද එකට වැඩ කරන්නේ කියන කාරණය. එකම ජාතියක වෙලත් අපේ රටේ වැඩකරද්දි මොන තරම් ප්‍රශ්න තියෙනවද. ජාතීන් තිහක් එක්ක වැඩ කරන්න ලැබුණ ම තත්වය කොහොමද…, මොන තරම් බරපතළ තියරි තිබුණත් හැම වෙලාවෙ ම මට හරි ගියේ, ‘මනුස්සකම’ මිශ්‍ර කරපු ක්‍රමවේද. එක වෙලාවක ලංකාවේ වගේ ම ඊජිප්තුවේදිත් සේල්ස් අඩුවීමේ ප්‍රශ්නය උග්‍ර වුණා. මං කළේ ලංකාවේදි මං අනුගමනය කළ ක්‍රමවේදයමයි. ඒක කරන්නත් සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මොකද ඔවුන් අහංකාර ජාතියක්. පිළිගන්න කැමැති නැහැ. එක පළාතකට මේ ක්‍රමය අනුගමනය කරලා ප්‍රතිඵල පෙන්නුවට පස්සෙ තමයි ඔවුන් එය පිළිගන්නෙ.

යුනිලීවර් සමාගමේ දෙවැනි තනතුරේ ඉන්නෙ… ඇයි ඔහොම අඳින්නෙ පලඳින්නෙ…

ටයි එකකුත් හිර කරගෙන අත් දිගට ඇඳලා පැලඳලා, සීත කාමරේකට වෙලා කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි සේල්ස් කියන්නෙ. මිනිස්සුත් එක්ක ගැටෙමින් වැඩි කාලයක් මහ පාරේ සහ කඩපිල්වල ගත කරන ප්‍රායෝගික මනුෂ්‍යයෙක් මං. සේල්ස් කියන්නෙත් ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවෙදි මනස වගේ සිරුරත් සැහැල්ලු වීම වැදගත්.

නමුත් ආයතනයක් නියෝජනය කරන ප්‍රධානියෙකුට ඔහුගේ ඇඳුම පැලැඳුම බලපෑමක් කරනවා…

ඒ ගැන මට තියෙන්නෙ වෙනස් මතයක්. ඇඳුම පැලඳුම ආ‍ටෝපයක් පමණයි. ලස්සනට ඇන්දා පැලැන්දා කියලා ගුණාත්මක භාවය හෝ හැකියාවක් නැතිනම් ඒකෙන් ආයතනයට ඇති ඵලක් නැහැ. වෘත්තීය ජීවිතයෙදි Skills උපරිම ලෙස යෙදිය යුතුයි. සෑම දෙයකම ගුණාත්මක බවක් තිබිය යුතුයි. අවුරුදු හතක් මං ඩුබායි බේස්වෙලා, රටවල් තිහක් බැලුවා. මං ඒ අවුරුදු හතට ම ඇන්දෙ ටී. ෂර්ට්. ඇඳුමෙන් පැලඳුමින් මිනිස්සු මනින ක්‍රමය දැන් හරි වෙනස් වෙන්න ඕනේ. මොකද සරල ඇඳුම පැලඳුම ඇතුළෙ හොඳ ‘වැඩකරුවෙක්’ ඉන්න පුළුවන්. දැවැන්තයෙක් ඉන්න පුළුවන්.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ…

කටුගස්තොට සෙන්ට් ඇන්තනීස්. මගේ සීයා, තාත්තා, බාප්පා හැමෝමත් ඒ පාසලේ. අපි උග්‍ර බෞද්ධයො වුණත් කතෝලික පාසලක විනය අගේ කළා. අපි අද මේ රටට වැඩක් කරන හොඳ මිනිසුන් හැටියට සමාජගත වෙලා ඉන්නවද, ඒ ගෞරවයෙන් කොටසක් පාසලටත් අයිති විය යුතුයි.

පාසල් කාලෙ ඔබ හිටියෙ දක්ෂයො ගොඩේද…

නැහැ. මම විශේෂ දක්ෂයෙක් නෙවෙයි. නමුත් නිර්මාණශීලීව හිතන්න පුළුවන් වුණා. සඳුදා රෑ වෙද්දි ‘මුවන් පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යය අහන්න සැදී පැහැදිලා බලා හිටියා. ඒ නාට්‍ය ඇහෙද්දි අපි චිත්ත රූප මවා ගත්තා. කැලේ, කදිරා, කුරුලු හඬ…. ඔය හැම දේට ම අපේ හිත් ඇතුළෙ ලොකු ඉඩක් තිබුණා. පොත පතට සීමා නොවුණට පරිසරය, ගහකොළ වගේ ම මිනිස්සු හා ගනුදෙනුව ඉතා හොඳින් ප්‍රගුණ කළා

ඒ කියන්නෙ ඔබ බොහොම නිවුණු දරුවෙක්..

අයියෝ නැහැ. මං ළමයින්ට සිහිනැතිවෙන්න ගහලත් තියෙනවා. ගුටිකාලත් තියෙනවා. මං මුරණ්ඩු චරිතයක්. මං කරපු පොඩි වරදකට ෆිසික්ස් සර් ගැහුවා. එකක් ගැහුවා මං ඉවසුවා. දෙවැනි පාර ගහද්දි මං සර්ගෙ අත ඇල්ලුවා. එදා ඉඳලා මගේ පංතිය තහනම්. මාත් එක්ක කතා කළා කියලා මගේ යාළුවො තුන්දෙනාටත් පංති තහනම්. ඒකෙ වාසිය අරන් අපි හතර දෙනා ඉස්කෝලෙන් පැනලා ගිහින් සීගිරි තියටර් එකේ පික්චර් බැලුවා. හැබැයි ටියුෂන් වැරැද්දුවෙ නැහැ. ෆිසික්ස් සර් පංති තහනම් කළාට මට වැඩි ම ලකුණු තිබුණෙ ෆිසික්ස්වලට.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු…

එහෙම ඒවා එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. ඒ වෙලාවට කරන්න තිබෙන දේ සියයට සියයක් උපරි ම ලෙස කිරීම පමණයි මට වැදගත්. කොටින් ම වැඩක් කරනකොට, ඒ වැඩේ තමයි ඒ වෙලාවට මට තියෙන ලොකු ම මෙහෙයුම. විශේෂ අරමුණු ඉලක්ක නැතිවුණාට මේ ක්‍රමයට වැඩ කළා ම ඉබේ ම ඉදිරිය හැදෙනවා. ඒත් ‘ප්ලෑන්’ කිරීම කියන්නෙ, අපිව ඉස්සරහට ගෙන යන ලොකු තල්ලුවක්… මං අද දවසේ පමණක් ජීවත් වන කෙනෙක්. මං තදින් ම විශ්වාස කරන්නෙ මේ ගත කරන මොහොත පමණයි. ඊළඟ පැය හෝ ඊළඟ දවස මට විශ්වාස නැහැ. මේ මොහොතෙ කළ යුත දේ මෙහෙයුමක් තරමට විශාල කරගෙන මහා ආසාවකින් ඉටු කරන එකයි මගේ විදිය.

අඩුම තරමේ, කොලුකමට හිතෙන ලස්සන කාර් එකක්… හොඳ රස්සාවක් වත්… කාර් එකක් තියෙන, ලීවර් බ්‍රදර්ස් එකේ ඒරියා මැනේජර් කෙනෙක් අපේ මැච් බලන්න ආවා මතකයි. සේල්ස් රස්සාවට ඒ කාලෙ ලොකු පිළිගැනීමකුත් තිබුණා. ඒ නිසා උසස් පෙළින් පස්සෙ මාත් සේල්ස් රස්සාවක් කරන්න ආසා කළා. යුනයිටඩ් ට්‍රැක්ටර්ස් ආයතනයේ ‘අලෙවි විධායක’ රස්සාවකට ආවෙ ඒ අනුව. ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද… ඉස්කෝලෙන් පැනලා ගිහින් චිත්‍රපටි බලපු පිස්සුවක් තිබුණු මං අදත් චිත්‍රපටි බැලිල්ල නම් අත් හැරලා නැහැ. සරසවිය පත්තරේ එක්ක, අවුරුදු ගණනාවක් සම්මාන උලෙළ කළා. රිදී රැයක් කළා. එකේ පන්තියේ ඉඳලා අද වෙනකල් අවුරුද්දට සැරයක් හමුවන යාළුවො විසි දෙනෙක් මට ඉන්නවා. අපි බිග් මැච් වරද්දන්නැහැ එකේ පන්තියේ ඉඳලා. දැන් අවුරුදු 55 වෙලත් අපි විසිදෙනා ලෝකෙ කොහේ හිටියත් එක දවසක හමුවෙනවා. මං සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වන කෙනෙක්.

ඔබ හැම වෙලාවෙ ම කියන මනුස්සකම ව්‍යාපාරයෙන් ඔබ්බට, සමාජයට දෙන්නෙ කොහොමද…

වතු ජනතාවගේ සෞඛ්‍ය පුරුදු නඟා සිටුවීම වෙනුවෙන් ‘Perfect Estate’ වැඩසටහන හඳුන්වලා දුන්නා. ඒක අති සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ‘සෞභාග්‍යා’ වැඩසටහනින් ගම්වල කාන්තාවන්ට ආදායමක් ලබා ගත හැකි ව්‍යාපාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා. ‘සෞභාග්‍යා’ මේ ක්‍රියාත්මක වන්නේ 14 වැනි වසරටයි. මේවා ලාභයෙන් ඔබ්බට ගිය, මනුස්සකම පිරුණු සමාජ සද්කාරක වැඩසටහන්.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක් ද…

මට ඉන්නෙ එක දුවයි. එයා ළඟදිම වෛද්‍යවරියක් විදියට වැඩ පටන් ගන්නවා. මගේ අම්මටයි තාත්තටයි ඕනෙ කළේ මාව ඩොක්ට කෙනෙක් කරන්න. අන්තිමේ මිණිබිරි තමයි ඒ ආසාව ඉටු කළේ. දුව ඉන්නෙ ඩුබායිවල. 2015, හත් අවුරුද්දක් වැඩකරලා මං මෙහෙ ආවා. බිරිඳයි දුවයි නතර වුණා. මොකද එයාගේ අධ්‍ය­ාපනය නිසා. එයා මට හුඟක් ළඟයි.

යුනිලීවර් සභාපතිවීමේ සිහිනයක් නැද්ද…

සේල්ස් රෙප් කෙනෙක් මේ ආව දුර හොඳට ම ඇති. උසස් පෙළ කරලා වෘත්තීය ජීවිතය අරඹපු මට යුනිලීවර් විශ්ව විද්‍යාලයක් වුණා. මං ඒ විශ්ව විද්‍යාලෙන් උපරිම දේ ගත්තා. අද මං ලෝකෙ විවිධ රටවලටත් දේශනවලට යනවා. එක පාර ලොකු හීනවලට යනවට වඩා හොඳින් වැඩ කළා ම, ඒ හීන වෙත අපිව ඉබේ රැගෙන යනවා.

මුලාශ්‍රය – නෙත් එෆ් එම්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button