පළකල දිනය : Wed, Jun 28th, 2017

යුට්යුබ් එකේ රජ වැඩ දාන, කට්ට කෙල උනන කෑම හදන අත්තම්මාගේ කතාව.

අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් වන්නේ මස්තානම්මා ගැන තොරතුරු ඇසූ දුටු දාටය.

මස්තානම්මා මීමිත්ණියකි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙහි කුඩා අතුපැලක වාසය කරන ඇගේ වයස අවුරුදු 106ක් බව පැවැසේ. ඇයට වයස අවුරුදු 22 වෙත්ම සැමියා මිය ගිය හෙයින් ඇය ස්වාධීනව ජීවත්වීම අරඹා ඇත.

පසුගිය වසර තෙක්ම ඇය ඇගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ යූ ටියුබයට ඇතුළත් කර ඇත. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය ආහාරවලට ප්‍රිය කරන ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් ඇද බැඳ තබා ගැනීමට ඈ සමත්ව සිටින්නීය.
 
මස්තානම්මාගේ ඉවුම් පිහුම් කෙරෙන්නේ වහළක් යට නොව එළිමහනේමය. ආහාර රස කරන සියල්ල සකසා ගැනෙන්නේ ඇය විසින්මය. ඒවා සාම්ප්‍රදායික ඉන්දියානු රසකාරකයන්ය. එළවළු, පරිප්පු, මාළු, ඉස්සන්, බිත්තර ආදී සෑම ආහාරයක්ම ඇය සකස් කර පෙන්වන්නීය. මේ අපූරු මිත්තණිය තම ආහාර පිස ගැනීම සඳහා භාවිත කරන්නේ දර ළිපයි. ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මැනීමට කිසිදු උපකරණයක් නැත. ඒ සියල්ලට ඇගේ අතේ නෙතේ මිම්ම සෑහේ. ඇගේ ප්‍රියතම උපකරණය වන්නේ සාම්ප්‍රදායික ඉන්දියානු පිහියකි. උක්කුටිකයෙන් බිම හිඳගෙන ඇය එයින් එළවළු කපයි. එහෙත් එළවළු ශුද්ධ කිරීමට, ‍පොතු හෑරීමට ඇගේ නිය‍පොතු තරම් උපකරණයක් ඇයට නොමැති තරම්ය.

පිසින ලද ආහාර බෙදනු ලබන්නේ කෙසෙල් කොළ මතටයි. ඇගේ පාරිභෝගිකයෝ බිම හිඳගෙන බිම එලන ලද කෙසෙල් කොළවලම ආහාර බුදිති. හැඳි ගෑරුප්පු භාවිතයක් ඇත්තේම නැත. ඇතැම් විටෙක ලොකු කෙසෙල් කොළයක වෙන වෙනම බෙදන ලද ආහාර කිහිප දෙනෙකු වටේට අනුභව කරන අයුරුද දැකිය හැකිය.

මස්තානම්මා පිළිබඳ කෙටි වාර්තා වීඩියෝවක් බි.බි.සී. ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ලොව බොහෝ දෙනා ඇය ගැන සෙවීමට උත්සුක වූහ. මේ වනවිට එම වීඩියෝව නැරඹූ සංඛ්‍යාව 4,508,000 ඉක්මවා ඇත.
 
අද වනවිට මස්තානම්මා නමින් යූ ටියුබයේ චැනලයක් පවතී, පසුගිය අගෝස්තුවේ එය ආරම්භ කර ඇත්තේ ඇගේ වැඩිමහල් මුනුපුරා වන ලක්ෂ්මන් සහ ඔහුගේ මිතුරෙකු වන ශ්‍රීනාත් රෙඩ්ඩි විසිනි. ඒ දෙදෙනාම වීඩියෝ සංස්කාරකවරුන්ය. මුලින්ම ඔවුන් ආහාර පිළියෙල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන 40ක් අන්තර්ජාලයට එක් කර ඇත. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබි ඇත. ඒ අතරට මිත්තණියගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ දසුන් එක්කර ඇත්තේ අනතුරුවයි. ඒ සමගම ඔවුන් නොසිතූ විරූ ලෙස එම දර්ශන ජනප්‍රිය වන්නට පටන්ගෙන ඇත.

එක් දිනක් තුළ ලක්ෂයක පිරිසක් ඒවා නරඹා තිබුණි. තම මීමිත්තණිය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබුණු ලක්ෂ්මන් නිවාඩුවකට ගමට ගිය අවස්ථාවක තම ඉවුම් පිහුම් ඇතුළත් අන්තර්ජාල විකාශයේ තොරතුරු ගම්වැසියන් හා පවසා ඇත. සිය මීමිතණියගේ ආහාර පිසීමේ සමත්කම් ගැන සිය මවගෙන් ඔහුට අසන්නට ලැබෙන්නේ එහිදීය. එසේ නොවන්නට අතළොස්සක් දෙනා පමණක් දැන හඳුනාගෙන සිටි මේ පිටිසර ගැහැනිය ලොවට අනාවරණය නොවනු ඇත.

මස්තානම්මාගේ පළමු වීඩියෝවේ දැක්වෙන්නේ ඇය වම්බටු ව්‍යාංජනයක් සාදන ආකාරයයි. අන්තර්ජාලය ගැන කිසිවක් නොදැන සිටි ඇය තමා දැක්වෙන වීඩියෝව නරඹා මහත් සේ ප්‍රීති වන්නට ඇත.

ඉන්දියාවේ සාම්ප්‍රදායික ආහාර රැසක් සාදා ගන්නා හැටි ඇය ලොවට කියා දෙන අන්තර්ජාලයේදීම එරටට ආවේණික රසකාරක නිපදවා ගන්නා ආකාරයද ඕ පෙන්වා දෙන්නීය. මේ වීඩියෝ පටවලට අනුග්‍රාහකයන් 2,50,000ක් අනුග්‍රහ දක්වා ඇත.
 
මෑත දිනෙක මස්තානම්මාගේ උපන් දිනය සැමරූ ලක්ෂ්මන් පවසන්නේ ඇයට පාකිස්තානයේ අනුග්‍රාහකයෙකුගෙන් සාරියක් ලැබුණු බවයි. නවසීලන්තයේ ජීවත්වන ඉන්දියානු පවුලකින් තවත් ඇරයුමක් ලැබි ඇත. එහෙත් වසර 90කටත් වඩා කාලයක් ජීවත් වූ පැල්කොටය දමා යෑමට ඇයට හිතක් නැත. අල්ලපු වැටේ සිටින පුතුගේ නිවසේ සිටීමටත් ඈ මැළිවන්නීය.

වයස අවුරුදු 11 දී විවාහ වී ඇති මස්තානම්මාට දරුවන් 5කි. එහෙත් ඉන් සිව්දෙනෙකුම කොලරාව වැලඳීම නිසා මිය ගොසිනි.

මස්තානම්මා ඉන්දියානු යූටියුබ්කරුවන් අතර වයස්ග තම තැනැත්තිය වීමට ඉඩ ඇත. අන්තර්ජාලය තුළ පාඩම් උගන්වන වයස්ගතම ගුරුවරියද ඇය විය හැකිය. අන්තර්ජාලයට පිවිසුණහොත් මස්තානම්මාගේ අපූරු ඉවුම් පිහුම් රාශියක් නැරඹිය හැකි වනු ඇත.

මස්තානම්මාගේ අතින් සෑදෙන රසබර කෑමක වීඩියෝවකුත් පහතින් බලන්න. මිතුරන්ටත් දැනගන්න Share කරන්න.
 
ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී
මුලාශ්‍රය – ලක්බිම
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button